මං තීරණය කළා මගේ හීන වෙනුවෙන් විතරක් කැපවෙන්න - දිලින්ද තාරුක




දිලින්ද තාරුක මේ දිනවල අපට හමුවන්නේ තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ අමෝද් නමැති සෙල්ලක්කාර පෙම්වතා ලෙසිනි. රංගන ශිල්පියකු වීමේ කිසිදු සිහිනයක නොසිටි දිලින්ද ඒ වෙත යොමු කරනු ලබන්නේ ද ඔහුගේම දෛවය විසිනි. කුඩා කල පටන් ක්‍රීඩාවට පෙම් බැඳි දිලින්ද ක්‍රීඩාවෙන් බැබළෙන්නට මැවූ සිහිනය බොඳ කරමින් ඔහුගේ දෛවය විසින් ඔහු කලාවට යොමු කළෙන් ඒ ඔස්සේ හෝ තම ඉලක්කය කරා යෑමට උත්සාහ කරන බව ඔහු අප හා පැවසීය.


දිලින්ද තාරුක කියන්නෙ මොන වගේ චරිතයක් ද?


මම කවදාවත් රංගන ශිල්පියෙක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. පොඩි කාලෙ ඉඳන්ම මගෙ ජීවිතේ වුණේ ක්‍රීඩාව. කෙටි දුර ධාවන ඉසව්වෙන් සමස්ත ලංකා, පළාත් වගේම ජාතික ක්‍රීඩා උලෙළ නියෝජනය කළ ක්‍රීඩකයෙක්. දකුණු ආසියානු තේරීම් තරගවලටත් ඉදිරිපත් වුණා. ක්‍රීඩාවෙන් රටේ නම දිදුලවන්නයි මට ඕන කළේ. ඒත් අවාසනාවකට වගේ කකුලේ ඇතිවුණු ආබාධයක් නිසා මට ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒ වගේම මම දෙයක් හිතුවොත් ඒ දේ කොහොම හරි කරන්න උත්සාහ කරන කෙනෙක්. ක්‍රීඩාවෙන් රට දිදුලන තරුවක් වෙන්න බැරි වුණත් කලාවෙන් හරි ඒ දේ කරනවා කියන තැන ඉඳන් ඒ සඳහා කැපවෙන කෙනෙක්.


ක්‍රීඩකයෙක් රංගන ශිල්පියෙක් වෙනව කියන එක ටිකක් අමාරු වැඩක් නේද?


ඔව්. ඒ කාලෙ අව්වෙම ඉඳලා කිසිම පෙනුමක් තිබුණෙ නැහැ. ක්‍රීඩාවෙන් ඉවත් වුණාට පස්සෙ මම පෙනුම ගැන හිතුවා. හැමෝම කිව්වා ඔයා ගැළපෙන්නෙ කලාවට කියලා. ඒ නිසාම අවුරුදු කුමරා තරගවලට ඉල්ලුම් කළා. හිරු කුසලතා පූර්ණ කුමරා විදිහට ජයග්‍රහණය කරද්දි ඉදිරිපත් කළ ඇක්ට් එක නිසා තමයි මට රංගනය පැත්තට කැමැත්තක් ඇතිවෙන්නේ. ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් විදෙස්ගත වුණත් එහේදිත් මං ක්‍රීඩාවේ නියැළුණා. ආයිම ලංකාවට ඇවිත් රංගනය පැත්තට යොමුවෙන්න තීරණය කළා.


කොහොමද කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ?


2019 සිරස වසන්ත කුමරා තරගයට ඉදිරිපත් වෙලා අවසන් දොළොස්දෙනා අතරට ආවා. 2020 හිරු අවුරුදු කුමරා අවසන් වටයට තේරුණා. ඊට පස්සේ 2022 සංජානා ගමාරච්චි විසින් සංවිධානය කරන සූර්ය අභිෂේකයෙන් තුන් වැනි ස්ථානය ලැබුණා. ඒ වගේම 2023 හිරු අවුරුදු කුමරා තරගයට නැවතත් ඉදිරිපත් වෙලා හිරු කුසලතා පූර්ණ කුමරා ටයිට්ල් එක දිනා ගත්තා. ඒ හරහා තමයි තුෂාර තෙන්නකෝන්ගේ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මුල්ම රංගන අත්දැකීම අමෝද්. ඒ කියන්නෙ වින්සුකීගෙ පෙම්වතා. ඒක ආදරයේ මුවාවෙන් ඒ කෙල්ල රවටගෙන තමන්ගෙ අභිමතාර්ථයන් ඉටුකර ගන්න වෙහෙසෙන සල්ලාල පෙම්වතෙකුගේ චරිතයක්.


මුල්ම රංගන අත්දැකීම මොන වගේද දැනුණේ?


මුල්ම අත්දැකීම මේ වගේ චරිතයක් වෙනව කියන්නෙම එක්තරා අභියෝගයක්. මුලින්ම අධ්‍යක්ෂවරයා චරිතය ගැන පුළුල් අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම සෙට් එකේදිත් හරිම මිත්‍රශීලීව ලොකු සපෝට් එකක් දුන්නා. අනෙක් ශිල්පීන්ගෙනුත් ලොකු සහායක් ලැබුණා. ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නැහැ. ඔයා හොඳට ඒ චරිතය කරනවා කියල හොඳ ප්‍රතිචාර දක්වන අය අතරේ චරිතයේ මිම්මෙන් බලලා බණින අයත් ඉන්නවා. නිකිණි කුසුම් රූගත කිරීම් පටන් අරන් මාස තුනක් විතර යද්දි හර්ෂ උඩකන්දගේ රෝස ආදරේ සිනමා පටයටත් ආරාධනා ලැබුණා. කුලුඳුල් ටෙලි අත්දැකීම වගේම කුලුඳුල් සිනමා අත්දැකීමත් හොඳම අධ්‍යක්ෂවරු යටතේ ලබාගන්න හැකිවීම මගේ වාසනාවක්. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට මේ වෙද්දි ආරාධනා ලැබිල තියෙනවා.


පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු නේද?


මට ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි. එයාල ඉන්නෙ ඉතාලියේ. මං පොඩි කාලෙ ඉඳන්ම හැදුණෙ ආච්චි ළඟ. ඒ නිසා මං අම්මටත් වඩා ළං වුණේ ආච්චිට. ඇය හැමවෙලේම මාව දිරිමත් කළා. මීගමුව ශාන්ත මරියා මහා විද්‍යාලය සහ මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය තමයි මාව අධ්‍යාපනයෙන් පෝෂණය කළේ. පොඩි කාලෙ ඉඳන්ම මගේ ජීවිතය වුණේ ක්‍රීඩාව.‍


ඔබේ ජීවිතේ ආදරේට තියෙන්නෙ මොන වගේ තැනක් ද?‍


පාසල් කාලෙ ඉඳන්ම ආදරය ගැන අත්දැකීම් ලබල තියෙනවා. ඒ ඒ අයගෙ ඉලක්කවලට යන්න මං උදවු කරලත් තියෙනවා. සමහර සබඳතා නැති වුණේ නොගැළපීම් නිසා. මං විදෙස්ගත වෙලා ඉඳල එද්දි වෙනස් වුණු අයත් ඉන්නවා. මං එච්චර කැපවීම් කරලත් මට එහෙම කළානෙ කියන සිතුවිල්ල නිසාම මට ආදරය ගැන එපාවීමක් වුණා. ඊට පස්සෙ මං තීරණය කළා මං මගේ හීන වෙනුවෙන් විතරක් කැපවෙනව කියලා.


එතකොට ඔබ හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?


එහෙමත් නෙවෙයි. ආදරයෙදි කෙනෙක් ළඟ අංක එකට තියෙන්න ඕන විශ්වාසය. ඒ වගේම ජීවිතේ ගැන ප්ලෑන් එකක් තියෙන්න ඕන. ජීවිතේ ගැන හිතන්න පුළුවන් හොඳ කෝණයකින් බලන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේට ආවොත් ඒ ගැනත් හිතනවා. මම සාමාන්‍යයෙන් ඕවර් තින්කින් කියන එක තියෙන කෙනෙක්. මම ප්‍රශ්නෙත් දැකලා ඒකට එන උත්තරෙත් ඒ කියන්නෙ ඒකෙන් වෙන ඉෆෙක්ට් එක ගැනත් හිතන කෙනෙක්. සමහර වෙලාවට ඒක මටම ගැටලුවක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඒක ඉතින් එක එක කෙනා හිතන විදිහ අනුව තමයි තීරණය වෙන්නේ.



Previous Post Next Post