මේ දවස්වල ආදරයකට ආදරණීය ඉඟි ලැබෙනවා -චමුදි අබේකෝන්




සිදූ ටෙලි නිර්මාණයට කුලුඳුල් දායකත්වය සපයමින් කලාවට පිවිසි ඇය සද්ධා – සිවා සුසංයෝගයේ ජනප්‍රියම ටෙලි අත්දැකීමක් වූ නාඩගම්කාරයෝ මෙන්ම බොනිකර තරු, දිව්‍යාදරී හා ප්‍රේක්ෂක මනාපය ඉහළින්ම දිනාගත් රාජිනී වැනි ටෙලි නිර්මාණවලින් පුංචි තිරයේ අත්දැකීම් රැසක් තම රංගන ජීවිතයට එක්කර ගත්තාය. මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ ටීෂා ලෙසින් ඔබ හමුවට එන ඇය චමුදි අබේකෝන්ය.


ඉස්කෝලේ ටෙලි නිර්මාණය මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. කොහොමද ටීෂාට ලැබෙන ප්‍රතිචාර ?


ඉස්කෝලේ ටෙලි නිර්මාණය සමන් එදිරිමුණිගේ තිර රචනයක්. මේ වෙද්දි අධ්‍යක්ෂණය කරන්නෙ සාලින්ද රත්නායක. වයස් භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙන ජනප්‍රියම ටෙලි නිර්මාණයක්. විශේෂයෙන්ම ගම්බද ජනතාවගේ ආදරය ගොඩක් ලැබෙනවා. ඒකෙ සුනෙත් ඇමතිගෙ සෙකට්‍රි විදිහට තමයි මං රංගනයෙන් එකතු වෙන්නේ. සුනෙත් කියන්නෙ සාධාරණ විදිහට වැඩ කරන ඇමති කෙනෙක් නෙවෙයි. තමන්ගෙ වාසිය වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්. ඒ නිසා මිනිස්සු ඒ චරිතයට බණිනවා. ඔහු ටීෂාට කැමැත්තෙන් ටීෂා වටේ කැරකෙමින් ඉන්නෙ. සුනෙත්ගෙ වයිෆ් බණින්නෙ ටීෂාට. ඒත් ටීෂා කියන්නෙ අහිංසක තරුණියක්. ඒ නිසා ප්‍රේක්ෂකයන් ටීෂා දිහා බලන්නෙ ආදරෙන්.


චමුදි ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් වෙනව නේද?


ඔව්. මගේ මුල්ම ටෙලි අත්දැකීම වුණේ සිදූ. ඒක ලොකු චරිතයක් නොවුණත් මතක හිටින චරිතයක් වුණා. මට තිබුණෙ යකෙක් ආරූඪ වුණු ගමේ තරුණියකගේ චරිතයක්. ලොකු වෙහෙසක්, ශක්තියක් අරන් කරන්න වුණු චරිතයක්. ඒක ලඳ බොළඳ චරිතයක් නෙවෙයි. ගිරිය යටින් කෑගහන්න, දඟලන්න තිබුණෙ. ඒක නම් අමතක වෙන්නැති අත්දැකීමක්. අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහායක් ලැබුණා. ඒකෙන්ම මං තේරුම් ගත්තා රංගනය කියන එක ලේසි කාර්යයක් නෙවෙයි කියලා.


ඊට පස්සෙ නාඩගම්කාරයෝ, බොනිකර තරු, දිව්‍යාදරී, රාජිනී වගේ ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකක්ම වගේ හොඳ අධ්‍යක්ෂවරුන්ගේ ජනප්‍රිය ටෙලි නිර්මාණ. තිළිණ බොරලැස්සගේ රාජිනී ටෙලි නිර්මාණයේ වාසනා ටීචර්ගේ චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. එයා ඩාන්සින් ටීචර් කෙනෙක්. ඒකත් අහිංසක චරිතයක්. පළවෙනි පත්වීම අරන් ඒ පාසලට එන ගුරුවරියක්. ළමයි එක්ක හැසිරෙන්නෙත් යාළුවො වගේ. ඒ චරිතයෙන් තමයි ප්‍රේක්ෂකයන් මාව අඳුනගත්තෙ. මේ දිනවල විකාශය වෙන්නේ ඉස්කෝලෙ ටෙලි නිර්මාණය.


ඔබ රංගනයෙන් දායක වන මියුසික් විීඩියෝ කිහිපයක්ම ජනප්‍රිය වුණා නේද,?


මියුසික් වීඩියෝ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. නව පරපුරේ ආකර්ෂණීය හඬක් විදිහට ප්‍රේක්ෂකයන් ආදරේ කරන මිලින්ද සඳරුවන්ගේ ‘සිහිනයකි ඔබ‘ ගීතය වගේම නදීජ දුක්ගන්නාරාළගේ ‘පෙනුමෙන් මනින්න බෑ‘ කියන ගීතයත් ප්‍රේක්ෂකයන් අතරට ගියා.


නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට චමුදිට අමතක නොවන අත්දැකීම් ඇති?


මුල්ම ටෙලි අත්දැකීම වගේම රාජිනී ටෙලි නිර්මාණයත් මට අමතක නොවන අත්දැකීමක් වුණා. රාජිනී ෂූටින් කළ පළමුවෙනි දවසෙ මුලින්ම ඇක්ෂන් කියද්දි මට එකපාරටම බය හිතුණා. ඊට පස්ස මොනවත්ම කරගන්න බැරි වුණා. මං මුලින්ම කැමරාවට මුහුණ දෙන අවස්ථාව නොවුණත් මට බය හිතුණා. එතැනදි අධ්‍යක්ෂවරයා පුදුම ඉවසීමකින් මට ලොකු සහායක් දුන්නා. එදා සීන් පහක් තිබුණා. දවසම මම අවුලෙන් හිටියේ. ඒකෙ වාසනා කියන ඩාන්සින් ටීචර් නිසා තාලම්පට ගහන්න, නටන්න මේ හැමදේම කරන්න ඕන. කොහොම හරි දවස ගෙවෙද්දි සාමාන්‍ය තත්ත්වයට පත්වුණා.


ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?


ඉදිරියේදී සිනමා නිර්මාණයකින් මාව දකින්න ලැබේවි. ප්‍රියන්ත කොළඹගේගේ ‘සූරිය සුළඟ‘ සිනමා නිර්මාණයට දායක වුණා. ඒ මගේ කුලුඳුල් සිනමා අත්දැකීම. මේ වන විට ප්‍රදර්ශනය සඳහා සියල්ල සූදානම්. ඉක්මනින්ම චිත්‍රපටය තිරගත වේවි කියල බලාපොරොත්තු වෙනවා. තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා.


චමුදිගෙ අලුත්ම බිස්නස් එකත් දැන් ජනප්‍රියයි නේද?


ඒක ඔන්ලයින් බිස්නස් එකක් විදිහටයි කරගෙන යන්නේ. රූපලාවණ්‍ය කටයුතු කරන අයට තමයි විශේෂ. දැනට රූපලාවණ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙ වගේම පිටරටත් යවනවා.


රංගන ශිල්පිනියක් කියන්නෙම සමාජයේ කතාබහට ලක්වන චරිතයක්නෙ. ප්‍රේක්ෂකයන් කැමති ඇති ඔබේ පෞද්ගලික තොරතුරුත් දැනගන්න?


මගේ ගම මාතර. මාතර ශාන්ත තෝමස් උසස් බාලිකාවෙ අධ්‍යාපනය ලබන කාලෙ ගොඩක් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. පාසලටත් වඩා මගේ කලා කටයුතුවලට තෝතැන්නක් වුණේ මගේ දහම් පාසල. මම ඉගෙන ගත්තේ මාතර මිදෙල්ලවල සිරිපැනතිස් දහම් පාසලේ. මට ඉන්නෙ අම්මයි, තාත්තයි මල්ලියි විතරයි. වැඩ කටයුතු කරගන්න පහසු නිසා දැනට අපි හැමෝම පදිංචි වෙලා ඉන්නෙ පිළියන්දල.


චමුදිට ආදරය දැනෙන්නෙ කොහොමද?


දැනට නම් ආදරවන්තියක් නෙවෙයි. මේ දවස්වල ආදරණීය ආරාධනාවකට ඉඟි පළවෙමින් තියෙනවා. ආදරණීය අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. මට ආදරය ගැන තියෙන්නෙ යම්කිසි කලකිරීමක්. මම ආදරය ගොඩක් ඕන කෙනෙක්. ඒ වගේම අනිවාර්යයෙන්ම මං ගැන හොයලා බලන කෙනෙක් වෙන්න ඕන. එයා කොතරම් කාර්යබහුල වුණත් මං වෙනුවෙන් පුංචිම කාලයක් හරි වෙන් කරන්න ඕන.


නාමලී ගමගේ



Previous Post Next Post