රිහසල් එකක් විදිහට හරි තනිවෙන්න හුරුවෙන්න -ජයනි වීරසිංහ



“අනුන්ව කියවන එක පැත්තකින් තියලා තමාම කියවන්න හෙමින් එවිට ඔබට බොහෝ දේවල් අවබෝධ වනු ඇත.” ගැහැනියකට දැනෙන්න ආදරය කළ හැකිනම් ඇය සෙවණැල්ලටත් පියවර කිහිපයක් ඉදිරියෙන් ඔබ වෙනුවෙන් සිටියි.ඇය සුරූපිනියකි දක්ෂතාවයේ හැකියාව අඩු නැතුව පිහිටා තිබීම හේතුවෙන් ලංකාවෙන් ඔබ්බට ඇගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ඉන්දියාව පවා ජයගන්නට සමත් වූ ශිල්පිනියකි. මෙරට 2007 වසරේ වෙළඳ දැන්වීම් කලාවෙන් ආරම්භ කළ ගමනේ සිට අද සිනමාව දක්වා ද ඉන් ඔබ්බට කොලිවුඩ් සිනමාව දක්වාද ගමන් කළ ඇය රංගනයේ මෙන්ම නර්තනයේද ක්‍රීඩාවටද උපන් හපන්කම් ඇති ශිල්පිනියකි. 2011 වසරේ රූපවාහිනි අපුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සටහනක් තබමිනි. 2007 සිට පටන් ගත් කලා ජීවිතය නොනැවතී ගමන් කරන්නේ අද අපේ ප්‍රින්සිපල් සිනමාපටයේ යමුනා ටිචර් ලෙස අන් කවරෙකුත් නොව දුවා දරුවන්ගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ ජයනි වීරසිංහයි. මේ ඇය සරසවිය සමඟ කළ කතාබහයි.


ඔබේ ජීවිතය මුලින් කියවනවාම් කැමතියි?


මගේ කුඩා අවධියේ සිට උසස් අධ්‍යාපනය දක්වාම ගෙවෙන්නේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයයි. මගේ කුඩා අවධියේම තිබුණ සිහිනයක් තමයි රංගන ශිල්පිනියක් වෙනවා කියන එකයි. මේ සියලු දේට මුලපෑදුණේ කහවත්ත මධ්‍යම හා විද්‍යාලයෙන් තමයි මම මුලික අධ්‍යාපනය සිට වාණිජ අංශයෙන් උසස් පෙළ අවසන් කරන්නේ. සබරගමු විශ්වවිද්‍යාලීය ප්‍රවේශය ලැබුණත් මම ප්‍රවේශය අතහැර දමනවා 2007 වසරේ වෙළෙද දැන්වීම් කලාවට මම ප්‍රවිෂ්ට වෙනවා. මගේ පියාගේ ජීවිතයේ තිබූ ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරන්න. ඒ නිසා 2008 වසරේ නිල්වලා ජාතික අධ්‍යාපන පීඨයට ඇතුළත් වෙනවා. 2010 වසරේ අධ්‍යයන කටයුතු සියල්ල ඉවර කරලා 2010 වසරේම මාතර සාන්ත තෝමස් විද්‍යාලයට සීමාවාසික ගුරුවරියක ලෙස පැමිණෙනවා. පසුව 2011 වසරේ පත්වීම ලබාගෙන ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ ගුරුවරියක් ලෙස රාජකාරී කටයුතු ආරම්භ කරනවා. ඒ සියලු දරුවන් මාව ආමන්ත්‍රණය කරන්නේ "මුතු පිහාටු" ටෙලි නාට්‍යය නිල් සුරංගනාවිය ලෙසටයි. මේ වසරේ මගේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සටහන් තබමින් රූපවාහිනී අවුරුදු කුමරිය ලෙසත්, රාජකාරී ජීවිතයට ප්‍රවිෂ්ට වීමත්, විවාහය සිදුවීමත් යන සියලු දේවල් යම් කෙනෙකුට ලැබෙන්නේ කලාතුරකින් කියලයි මම දකින්නේ. එතනින් පටන් ගත් ගමන තමයි දැන් මේ අපේ ප්‍රින්සිපල් දක්වා ඇවිත් ඉන්නේ.


කවුරුහරි යමුනා ටිචගෙන් ඇහුවොත් ගෑනියෙක් ගොඩක්ම ලස්සන කොයි වෙලාවටද මොනවගේද කියලා?


මම කියන්නේ කඳුළු එක්ක හිනාවෙනකොට කියලා. මොකද දන්නවද දරාගන්න අමාරුම තැනකදි උණත් විසඳගන්න බැරිම ප්‍රශ්නෙකදිත් ඔළුව ගහන් කෑ ගහල අඬනවා වෙනුවට ලස්සනට හිනාවෙනවා.


කාටවත් එයා ඉන්නේ ප්‍රශ්නෙකද කියලා හිතා ගන්නවත් බැරි විදියටයි. ඉතින් ගෑනු ලස්සනම දිලිසෙන ඇස් එක්ක හිනාවෙන කොටයි. සමහර ගැහැනු හරිම අඩම්බරයි. සමහර පිරිමි හිත් ළඟ හරිම සුන්දරයි. සමහරක් අය කියනවා මතුපිටින් බලන හැම තැනකම ගැහැනු හරිම දරුණුයි කියලා. ඇය තේරුම් ගත හැකි තැන්වල හරිම අසරණයි. ඇයට ලෝකයේ දරුවෝ තරම් ආදරයේ කිසිවෙක් ඇගේ ළඟ නෑ. හරියට කතා ගොඩකින් එකතු වුණු පොතක් වගේ. ඒ පොත කියවන්න හැමෝම දන්නෑ. කියවපු හැමෝම කතාව ගැන හරියට දන්නෙත් නැහැ. හැබැයි කතාව දන්න තේරුම් ගත්ත පිරිමි ඒ පොත හරි ලස්සනට පරිස්සම් කරනවා.


ඔබ කියන පොතේ විදිහට ගැහැනියෙකුට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඕනෑම අවස්ථාවකදී ?


ඕනැම කෙනකු වෙනස් වීම් කරනවානම් ඒවාට ගරු කරන්න. අද ඉන්න මම හෙට වෙනස් වෙන්න පුළුවන්. හෙට ඉන්න මම ලබන සතියෙ වෙනස් වෙන්නත් සමහරවිට පුළුවන්, අපි පිළිගත්තත් නැතත් ශාරීරිකව වගේම මානසිකවත් අපි වෙනස් වෙනවා. අතීතයේ දිහා බලලා කතා කළොත් ඉතින් හැමදාම ආදරේ කරපු කෙනා වෙනස් වුණා, ළඟම හිටපු කල්‍යාණ මිත්‍රයා සතුරා වීම, තුළ පුදුම වෙන්න දෙයක් අද නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය එහෙම වෙන්න පුළුවන් දෙයක්. අද රහ ට කාපු, බිපු, දැනිච්ච දෙයක් හෙට විෂ වගේ දැනෙන්නද පුළුවන්, මොන තරම් තදට බැදිම් තිබුණත්, බැන්දත් සම්බන්ධතා, ලිහින්නත්, ලෙහෙන්න පුළුවන්. මිනිස්සු වෙනස් වෙනවා. මම නම් හිතන්නේ ඒනිසා ඉතින්, උපේක්ෂාවෙන් දරාගන්න කියන එකයි. මේ ලෝකය තුළ පහළ වූ සියලු ශාස්තෘවරයාන් මේ බව මනාව වටහා දුන්නා.


ජීවිතේ කියන්නේ අම්බලමක්. තමන්ගේ වැඩේ කරගෙන හැමෝම යනවා. එහෙම නොයන අයත් ඉන්නවා. හැබැයි කව්රු ගියත් කවුරු නැවතුණත් අපිට අපේ ගමන යන්නම වෙනවා. ඒ නිසා රිහසල් එකක් විදිහට හරි තනිවෙන්න හුරුවෙලා ඉන්න එක වටිනවා ජිව්තයට වටිනවා. ඒ වටහා දීම මම නම් නිවැරදිම වටහා ගැනීමයි සිදු සිදුකරන්නේ.


පසුගිය කාලයේ ඉන්දියානු නිර්මාණ කිහිපයකටම දායක වුණා නේද?


මම මුලින්ම ඉරානි ඉන්දියානු නිර්මාණයත් සමඟ සම්බන්ධ වෙන්නේ 2022 වර්ෂයේදී.එතනින් ආරම්භ කළාට පසුව මේ වසරේ දී මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. තවම ඒවාට ස්ථිර පිළිතුරක් දීලා නෑ මගේ ගුරු වෘත්තිය සහ ලොකුම බැඳීම මගේ පවුල නිසා. නිර්මාණවලට දායක වෙනවා නම් රාජකාරී නිවාඩු දැමීම ටිකක් අපහසුයි. අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරුත් සමඟ සම්බන්ධ වෙලා මගේ නිවාඩු කාලයත් එක්ක නිර්මාණවලට දායක වෙන්න අවස්ථාවක් උදාකර ගන්න බලාපොරොත්තු වෙන්නේ.


දැවැන්ත කර්මාන්තයක් ලෙස ක්‍රියාත්මක වන ඉන්දියාව වැනි රටක නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


ඒක හරිම අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. මේ කාලේ තුළ අහිමි කියලා ටෙලි නාට්‍යයට රංගනයේ නිරත වුණා. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ තුෂාර අයියා තමයි මුලින්ම මේ ආරාධනය කරන්නේ. මට නෙවෙයි ඒ ආරාධනාව කරන්නෙත් මගේ පුතාටයි. පුතාගේ ෆොටෝස් සහ මගේ ෆොටෝස් එවන්න කියලා එහි අධ්‍යක්ෂකවර ලෙස කටයුතු කළ ජෙගන් සුප්‍රමනියම් මහත්යා තුෂාර අයියව දැනුම්වත් කරලා තියෙනවා. තුෂාර අයියගේ ආරාධනාව අහක දමන්න බැරි තැන මම අපි දෙන්නගේ පින්තූර යැව්වා. අධ්‍යක්ෂකවරයා එහිදී මගේ පින්තූර දැකලා මගේ විස්තර අහලා තියෙනවා. පසුව යවපු ෆොටෝ අතරින් පුතාගේ ෆොටෝ එක රිජෙක්ට් වුණා. මම ඒ සිනමා පටයට තේරුණා. මුලදී සිනමා පටයට තෝරගෙන තියෙන්නේ ඉන්දීය නිළියක්. ජෙගන් සුභ්‍රමණයම් අධ්‍යක්ෂකතුමා මගේ ෆොටෝස් බලලා ශ්‍රී දේවිගේ හැඩරුව තියෙනවා කියලා ජයනිව ගමු කියලා යොජනා කරලා තියනවා. අවසානයේ පුතාට හිමි වෙන්න තිබ්බ තැන අම්මට හිමි වුණා කියන එක තමයි කියන්න තියෙන්නේ. කොහොම වෙතත් පෙනුමට අවස්ථාව ලැබුණා කියලා කියන්නත් අමාරුයි. වෙළෙඳ දැන්වීම් කලාවේ මම ගොඩක් නිරතවීමත්, ටැලන්ට් එක වගේම යුනික් කියන දේ සොයනවා. මම හිතන්නේ ඒ දේවල් තමයි බලපාන්න ඇත්තේ. කොහොම වෙතත් හැම දේකටම වාසනාව තියෙන්න ඕන ඕනෑම කෙනෙකුට.


ජයනි වීරසිංහ ශ්‍රී දේවී නමින්ම ඉන්දියාවට ගිහිල්ලා ඊළඟ තරුව වෙයිද?


මම දන්නෑ ඉදිරියේදී වැඩකටයුතු කොහොම සිද්ධ වෙයිද කියලා. කොහොම වෙතත් ඉරානි සිනමා පටයේ ලතා කියන චරිතය ප්‍රධාන චරිතය බවට පත්වුණා එහෙම අවස්ථාවක් ලැබුණොත් අපේ රටේ ඉන්න හැම කෙනෙක්ටම මේ ලංකාවෙන් එළියට ගිහින් අන්තර්ජාතික තලයේ තමන්ගේ දක්ෂතා පෙන්වන්න ලැබෙන්න කියලයි මගේ එකම ප්‍රාර්ථනාව. අපි ඕනෑම නිර්මාණයකට දායක වුණෝත් ඒ නිර්මාණය ලාංකික ප්‍රේක්ෂකයාට පමණයි සමීප වෙන්නට අවස්ථාව ලැබෙන්නේ.නමුත් ලෝකයේ වෙනත් රටවල නිර්මාණ හා ඔවුන් ඉදිරියෙන් සිටින්නේ ඔවුන්ගේ නිර්මාණ වෙනත් රටවල ජනප්‍රියතාවයෙන් ඉහළ නිසයි. ඒ නිසා ඔවුන්ට ලොකු ඔඩියන්ස් එකක් හැදෙනවා. ඒ හරහා ඔවුන්ගේ ආදායම් මාර්ගද පුළුල් වපසරියක් වෙනවා. මේ තුළින් මම දකින්නේ අපේ ක්ෂේත්‍රයේ තුළ සිටින අධ්‍යක්ෂකවරයාගේ සිට සියලුම කාර්මික ශිල්පීන් සිට සියලුදෙනා ඔවුන්ගේ දක්ෂතාවයන් ලෝකයේ ඉදිරියට රැගෙන යා යුතුයි.


ඉන්දියානු හා ලාංකික සිනමා කර්මාන්තය අතර ඇති වෙනස ඔබ දකින්නේ කොහොමද?


අපේ රටේ නිර්මාණයක් කරද්දී බජට් එක්ක අපිට යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තියෙනවා. බොලිවුඩ් කොලිවුඩ් සිනමා පටවලට බජට් එක නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ නිර්මාණයේ ගුණාත්මක බවයි. ඉන්දියාව වගේ ලොකු ජන ඝනත්වයක් නැති නිසා අපේ රට කුඩා ජනගහනයක් තුළ සිනමා නිර්මාණය තිරගත කරලා තමයි නිෂ්පාදකවරු ආදායම උපයන්නේ. ඒත් ඔවුන් එක සිනමා පටයක් භාෂා කීපයකින් ලෝකය පුරා මුදා හරිනවා. ඒ ස්ථාවරය තුළ ඉඳගෙන තමයි නිර්මාණයකට අත ගහන්නේ. අපේ නිෂ්පාදකවරයෙකු සහ ඉන්දීය නිෂ්පාදකවරු අතර ගත්තම අහසට පොළොව වගේයි.අපේ නිෂ්පාදකවරයෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයක් ඇතුළේ තමයි නිෂ්පාදන කටයුතු සියල්ල සිදු කරන්නේ. ඉන්දියාව වැනි රටක නිෂ්පාදන ධාරිතාවය සීයට සීයයි. ඒ වගේම ඉන්දියානු සිනමා කර්මාන්තය ඇතුළේ වෘත්තිය ගරුත්වය ඇතුළු සියලු දේ පවත්වාගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය වෙලා අවසන්ය.අපේ වගේ කුඩා රටක ඒ වගේ අවස්ථාවන් සැකසිය යුතුයි.


ලාං⁣කේය සිනමාකරුවන් ඔබෙන් ප්‍රයෝජන ගත්තා මදි කියලද හිතන්නේ?


ඔව්, ඇත්තටම මම හැමවෙලේම හිතනවා. වෙන රටකට ගිහින් වැඩක් කරනවාට වඩා මගේ රට ඇතුළේ මගෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, කොච්චර හොඳයිද කියලා හිතුණ වාර අනන්තයි. මම දැන් කලාවට ඇවිල්ලා වසර දාහතක් විතර වෙනවා. වෙළඳ දැන්වීම් හතළිහකට වැඩිය නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මේ කාලය තුළ ටෙලි නාට්‍ය හයකට හතකට විතර දායකත්වය දීලා තියෙනවා. මගේ රාජකාරී ජීවිතයත් එක්ක මම තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වීම තමා සිදු කරන්නේ.නමුත් මේ කාලසීමාව තුළදී අපේ නිර්මාණකරුවන් මගෙන් හරියට ප්‍රයෝජන ගත්තාද කියන ප්‍රශ්නය පැන නඟිනවා. පසුගිය කාලය තුළ මුතු පිහාටු, අහිමි, ළංවි කා අතරත් කතාබහට ලක්වුණා, මම හිතනවා මීට වැඩිය මගේ ලාංකේය සිනමාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියල හිතුණා.


ඔබ කළ නිර්මාණ අතර කාගෙත් කතාබහට ලක්වන යමුනා ටිචර් ආපු ගමන මතක් කරන්න කැමතිද?


මේ චරිතයට මට කතා කරන්නේ ලලිත් අනුර රාජපක්ෂ අයියා. මට මුලින්ම කිව්වේ නංගි නංගිගේ වෘත්තියට ගැළපෙන චරිතයක් තියෙනවා කරන්න කැමතිද කියලයි ඇහුවා. මගේ වෘත්තියත් එක්ක චරිතයක් කරන්න බාරගන්නකොට හරිම පරිස්සම් වෙන්න ඕන නිසා මම අහන්නත් ඉස්සෙල්ලා අයියා මාව දැනුම්වත් කළා. ඔහු කිව්වේ මේක සමාජයට යන හොඳ පණිවිඩයක් දරුවන් රැකබලා ගන්න දෙමව්පියෝ සහ ගුරුවරුන් කැපවෙලා ඔවුන්ව සමාජගත කරන්න දඟලන උත්සාහය තුළ වැරදි දේකට යොමු වුණොත් ළමයා නොමඟ යන ආකාරය පිළිබඳව ලස්සන තිර පිටපතක් කියලයි. ඒ දේ ස්ථිරවම කළ යුතු නිසා ඔයා ටීචර් කෙනෙක් නිසා ඔයා හොඳටම ගැළපෙනවා කියලයි. එනිසා මම හරි කැමැත්තෙන් ඒ චරිතය බාර ගත්තා. ඒ තෝරා ගැනීම තුළ අපේ ප්‍රින්සිපල් කියන්නේ ගොඩක් වටිනා සිනමා නිර්මාණයක් කියලා මම කියනවා. ඇත්තටම කියන්න සතුටුයි යමුනා ටීචර්ට හොඳ ප්‍රතිචාර මේ වනවිට ලැබෙනවා.දැන් මම උගන්වන තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් මාව යමුන ටීචර් ලෙසයි අමතන්නේ.


වෙළෙඳ දැන්වීම් කලාවත්, ඉන්දියානු සිනමාවෙත් නියැළුණු ඔබට මේ වගේ ප්‍රතිචාර ලැබේයි කියලා බලාපොරොත්තු වුණාද?


ජීවිතයේ මම කවදාකවත් ජනප්‍රියත්වය පසුපස හඹාගෙන ගියේ නැහැ. ජනප්‍රියත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක් කියලයි මම හිතන්නේ. මගේ ජනප්‍රියත්වය වෙනුවෙන් මම කිසිම දෙයක් කැප කරන්න කැමති නැහැ. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් නැතුව ක්ෂේත්‍රයට එන පිරිසද වැඩියි. මේ වන විට සිනමාපටය ලංකාව පුරාම තිරගත වීම් සිදුවෙනවා. මේ විදිහට කලින්ම මේ සිනමාපටය තිරගත කරයි කියලා මගේ අදහසක් තිබුණේ නැහැ. ඒත් ඡ්ඒර්‍ථ සිනමා වසන්තේ යටතේ අපේ ප්‍රින්සිපල් සිනමාපටයේ තිරගත කිරීම හොඳ ආරම්භයක් ලෙස මම දකිනවා. මේ ගෙවී යන්නේ දින 65 කටත් වැඩි කාලසීමාවක් සිනමාපටය තිරගත කරමින්.පාසල් දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නැරඹීමට හැකි සිනමාපටයක් වීම විශේෂත්වයකි. ඒ හරහා ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි කියල තමයි මට කියන්න තියෙන්නේ.


ඔබේ වෘත්තියත් එක්ක කාලය කළමනාකරණය කරන්නේ කොහොමද,වෙළඳ දැන්වීම් කලාවට වැඩි වශයෙන් යොමු වෙලා නේද?


මම දැනට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය ගුරුවරියක් වශයෙන් කටයුතු කරනවා. මම පාසල් යන කාලේ ඉඳන් නෙට්බෝල් ක්‍රීඩාවටයි ඇලුම් කළේ නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව වෙන්නෙත් මමයි. දැන් මම බොක්සිං ක්‍රීඩාව බාරවයි කටයුතු කරන්නේ. මොන දේ භාර දුන්නත් දරුවන් ඉදිරියට ගෙනයාම තමයි මගේ ඉලක්කය හා අරමුණ වෙන්නේ. විෂය පථය හරියට දන්නවා නම් ඕනෑම ඉලක්කයක් කරා ගමන යා හැකියි. මගේ රාජකාරි සේවා කාලය තුළ මම කිසිම දෙයක් බාර ගැනීමට කටයුතු කරන්නේ නැහැ. නිවාඩු කාල සීමාවන් තමයි හැම නිර්මාණයකටම දායකත්වය ලබා දෙන්නේ.ළමයින්ගේ අධ්‍යාපන කටයුතුත් මගේ කලා කටයුතුත් සමබරව කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසාය. වෙළඳ දැන්වීම් කළාට වැඩි ඉඩක් දීලා තියෙන්නේ උදේ ගිහින් හවස එන්න පුළුවන් හැකියාව තියෙන නිසා කාලසීමාව ඉතාම කෙටි නිසයි. මගේ වෘත්තීය ජීවිතය තුළ වෙළෙඳ දැන්විම් කලාවට යොමු වීම ඉතාම පහසුයි.


පූර්ණකාලීනව රංගනයට එකතු වෙන්න අදහසක් තියෙනවද?


2011 වසරේදී මම රූපවාහිනී අවුරුදු කුමාරිය වීමත් සමග ක්ෂේත්‍රයෙන් ලැබුණු ආරාධනා ගොඩයි.ඒ හරහා තමයි ක්ෂේත්‍රයේ ගොඩක් නිර්මාණවලට දායක වෙන්නේ.ඉන් පස්සේ 2021 වසරේ මම මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙනවා. එහිදී මට බෙස් හේයා මිනිටයිල් එක හිමි වෙනවා. කැරලයින් ජුරි හමුවිමත් සිදුවන්නේ මේ පැජෙන්ට් එකේදීය.ඇය මට කියන්නේ වසර ගණනාවක් නිවාඩු අනුමත කරගෙන මගේ රූපෙත් එක්ක ක්ෂේත්‍රයේ නිරත වෙන්න කියලයි. නමුත් මට අදටත් එවැනි ආසාවක් නැහැ ඉදිරියටත් එහෙමම තමයි. ගුරු වෘත්තිය සහ කලා ක්ෂේත්‍රය දෙකම කාලය කළමනාකරණය කරගෙන නිරතවීමටයි අදහස් කරන්නේ.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කතා කළොත්?


දැනට අලුතින්ම තිරගත වීමට තියෙන නිර්මාණය තමයි ඉරානී සිනමා පටය. ඒ වගේම අලුතෙන් සිනමා පටයකට ආරාධනාවක් ලැබුණා. ඒය ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා කොස්ටියුම්වල ප්‍රශ්නයක් හේතුවෙන්. වෙළෙඳ දැන්වීම් කිහිපයකම රූගත කිරීම් වලට දින වෙන් කරගෙන තියෙනවා. ඉදිරියේදී රූපගත කිරීම් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍ය කලාවට නම් මම වැඩිය ප්‍රියතාවයක් දක්වන් නෑ. නමුත් සිනමා පටවලට මගේ දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල් දරුවන් එක එක කාලෙට මගේ නම වෙනස් කරන්නටත් වෙළෙඳ දැන්වීම් කලාව අද උපයෝගී කරගෙන. ඒකත් මම ලබන හරිම ආශ්වාදයක්. දරුවන්ගේ ලෝකය හරිම සුන්දරයි ඔවුන් සමඟ කාලය ගත කරන කොට දින මාස යනවා දැනෙන්නේ නැහැ.


නව පරම්පරාවත් සමඟ නිර්මාණකරණයේ යෙදෙන්න ලේසිද?


වත්මන් තරුණ පරම්පරාව හරිම දක්ෂයි. ඔවුන් ඩිජිටල්කරණයත් සමඟ තමයි ජීවිතය ගෙනයන්නේ. ඒ නිසා කාලයට උචිත අයුරින් අපි හැඩගැහෙන්න ඕන. ඔවුන්ට හරියන දේවල් උචිත පරිසරයක්. ඒවගේම නැවුම් නිර්මාණ ප්‍රේක්ෂකයාට බලන්න ඉඩ සලසා දියයුතුව තියෙනවා. ඒ නිසා රියැලිටි කලාවෙන් ඉදිරියට ආපු ගායක ගායිකාවන් නිසා සංගීත ක්ෂේත්‍රයේ හිඩැස් ගොඩක් පිරවී ගියා. ඒ සියලු දෙනාගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන මම ක්ෂේත්‍රය තුළ මගේ කටයුතු කරගෙන යනවා. ක්ෂේත්‍රයේ නියැළීම තමයි වැදගත් කියලායි මම හිතන්නේ. අපේ පරම්පරාව ක්ෂේත්‍රයෙන් යනකොට නව පරම්පරාවක් එන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ගමනත් ඔවුන්ගේ ගමනක් සාර්ථක වෙන්නේ.


ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි උපතින් උරුම කරගෙන එන වාසනාව දක්ෂතාවය හා හැකියාව තුළ පරිපූර්ණ වුණොත් ඒ ගමන කිසිවෙකුට නවත්තන්නට අවශ්‍යතාවයක් නොවන බවයි. එනිසා මගේ ස්වාමියාගෙන් ඇතුළු තාත්තා අම්මා සියලු දෙනාගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ ආශාව තේරුම් අරගෙන මගේ පිටුපසින් හැම වෙලේම මගේ තාත්තා ඉන්නවා දැන්. මේ අන්දමින් කලාවේ හිදිමින් ගෘහණියක් බිරිඳක් දරුවන් තිදෙනෙකුගේ මවක් විදිහට යුතුකම් ඉටුකරමින් මගේ ගමන මම හිමින් යනවා.


ඔබ ආදරය ප්‍රේමය හොඳට විඳීන්න ඇති නේද?


මගේ ජීවිතයේ මම ආදරය ප්‍රේමය හොඳටම විඳපු කෙනෙක්. ඒත් මගේ ප්‍රේමය මම තාම හොයනවා. ආදරේ කියන්නේ අපි හිතන විදියට කසාද බැඳීමක් පමණක් නොවේ. සෙනෙහස උණුහුම, විශ්වාසය තුළ තමයි මේ සියලු දේවල් සිදුවන්නේ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් දේවල් තමයි අද ආදරේ සෙනෙහස තුළ සොයන්නේ.ආදරය සෙනෙහස සංස්කෘතිය තුළ බද්ධ වෙච්ච පරිසරයක් අපිට තිබුණේ. ඒ තුළ ආදරය සෙවීම තරම් උණුහුමක් මටනම් නැහැ. මට මගේ ගෙදරින් පවුලෙන් ලැබෙන ආදරය තරම් තවත් ආදරයක් ලෝකේ නැහැ කියලයි මම දකින්නේ. නිර්මාණ තුළ ජීවත්වන ඕනෑම පුද්ගලයකුට ආදරේ තියෙනවා. ඒ ආදරේ මම උපරිමයෙන්ම විඳීනවා.


 


Previous Post Next Post