ගමේ ලස්සනම ලේලි ගැන පියත් කියයි




මේ දිනවල කාගෙ කාගෙත් මුවඟ රැව්දෙන කතාවක් පිළිබඳව තමයි මේ කතා බහ කරන්නට යන්නේ. ඔන්න සුදාව බඳින්නයි ලෑස්තිය කියලා අපිට ආරංචි වුණා. ගමේ ලස්සනම ලේලි ගෙදරට කැන්දන් යන්න ආපු කතාවක් තමයි ඒ කතාව. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී පියත් රාජපක්ෂ. මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරනවා නම්?


බඳිමු සුදා ගීතයේ වැඩ කටයුතු සමඟ තමයි මේ දවස් ගෙවී යන්නේ. හිතා ගන්න බැරි විධියේ ප්‍රතිචාර රාශියක් මේ වන විට ලැබෙමින් පවතිනවා.


ඔබේ නවතම ගීයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


සමාජ මාධ්‍ය ජාලාවල මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ප්‍රේක්ෂකයන්ගෙන් දුරකථන ඇමතුම් එනවා මැසේජස් එනවා. එළියට බැස්සම ගීතය ගැන හොඳ කමෙන්ට්ස් ලැබෙනවා. මේ වනවිට බඳිමු සුදා ලංකාවේ යූටියුබයේ ට්‍රෙන්ඩින් #1 වෙලා.


මෙම ගීතය ට්‍රෙන්ඩින් #1 වීම පිළිබඳව මොකද හිතෙන්නේ?


ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් පිටතත් මේ ගීය ට්‍රෙන්ඩින් වෙලා. මේ ගීතය පිටරටවල ට්‍රෙන්ඩින් ලිස්ට්වලටත් ඇවිල්ලා. මම දන්න තරමින් ඩුබායි, ඕස්ට්‍රේලියා, නවසීලන්තය කියන රටවල මේ ගීය ට්‍රෙන්ඩින් වෙලා. ඒක නම් හිතා ගන්න බැරි දෙයක්. මේ ගීතය එක දවසින් නැරඹුම්වාර මිලියනයක සීමාව පසු කළා. ඒ ගැන මට ඉතා සතුටුයි.


බඳිමු සුදා ගීතය නිර්මාණය වුණේ කොහොමද?


මේ ගීතයේ තනුව තමයි මගේ අතින් මුලින්ම නිර්මාණය වුණේ. මම කාලෙක ඉඳන් වේග රිද්ම ගීතයක් නිර්මාණය කරන්න ඕන කියන අදහසක හිටියා. මාත් එක්ක එකට නටන්න පුළුවන් ගීයක් තමයි මට නිර්මාණය කරන්න ඕන වුණේ. මම මේ වෙනකල් නිර්මාණය කළ ගීත පැත්තකට වෙලා නිදහසේ අහන්න පුළුවන් ගීත. අනික් දෙය තමයි මට පොඩි ඩ්‍රාමා කෑල්ලක් ගීතයට ගේන්න වුවමනා වුණා. වර්තමානයේ නිර්මාණය වන බොහෝ ගීතවල නාට්‍යමය ලක්ෂණ අපිට දකින්න නැහැ. ඒ නිසාම මම ඒ නාට්‍යමය ගතිය ගේනවා. මම පොඩි කාලේ හැදුණේ ඒ වගේ පරිසරයක. මගේ තාත්තා ලලිත් රාජපක්ෂ. එයා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඒ නිසා මට යම් නාට්‍යමය නැඹුරුවක් තිබුණා.


මෙහි පද රචනාව නිර්මාණය වුණේ කොහොමද?


මම මේ ගීතයෙ තනුව දාලා ඉවර වුණාට පස්සෙ මේ වචන ටික නිරායාසයෙන්ම ගලාගෙන ආවා. මම කල්පනා කර කර දවස් ගණන් හිටියේ නැහැ. මට එහෙම ඉන්න වුණේ නැහැ. ඔය ගීතයේ අන්තරා කොටස ඉතා ඉක්මනින් ලියැවුණා. මම මේ ගීතය ලිව්වේ හිනහ වෙවී. මටම හිනා ලියන ඒවාවලට. ඔහොම තමයි ඔය ගීතය ලියැවුණේ.


මේ ගීතයේ රූප රචනාව නොස්ටැල්ජික නැඹුරුවකින් ප්‍රති නිර්මාණය කළේ ඇයි?


ඇත්තටම මේ කතාව ගමක නිර්මාණය කරනවා කියන එක මගේ අදහසක්. මම මේ කන්සෙප්ට් එක මේ ගීතයේ Video Directo සහන් වික්‍රමාරච්චිට කිව්වා. ඊට පස්සෙ එයා විවිධ දේ එකතු කරමින් එය ගොඩනැඟුවා. ඔහු තමයි මේ ගීතයට අනුව මාව තැපැල්කරුවෙක් බවට පත් කළේ. ඒවගේම ජීවිතයේ විවිධ අවස්ථා ළමයට මොට්ටුවක් තබන එක, අද නැහැ හෙට බෝර්ඩ් එකක් එල්ලන එක වගේ දේවල් එකතු කළේ අපි කතා බහ කරමින්.


ලහිරු දි කොස්තාගේ දායකත්වය පිළිබඳව කතා කරමු?


මට යම් කිසි ගීතයක් නිර්මාණය කරද්දී මෙන්න මෙවැනි ගීයක් නිර්මාණය විය යුතුයි කියන දළ අදහස ඔළුවෙ තිබෙනවා. ලහිරු දි කොස්තාට මම මගේ අදහස කිව්වහම ඔහු එය නිර්මාණය කරනවා. මගෙයි, ලහිරුගෙයි සංගීත සංකලනයන් සමානයි. මේ ගීතයේ සංගීතය හදන්න ඔහු විසල් දායකත්වයක් ලබා දුන්නා. ලහිරුට දෙයක් කියපු ගමන් එයා දන්නවා කරන්න ඕන දෙය මොකක්ද කියලා.


සංයුක්ත තැටියක් කරන්න අදහසක් නැද්ද?


ඇල්බම් එකක් කරන එකේ වෙනම විනෝදයක් තිබෙනවා. නමුත් මම මේ මොහොතේ එහෙම දෙයකට ෆෝකස් වෙලා නැහැ. මම ගීතයෙන් ගීතය නිකුත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ගීත විස්සක් විතර නිර්මාණය කළාට පස්සෙ ඇල්බම් එකක් කරන එක ගැන හිතාවි.


ඔබ ප්‍රිය කරන වෙනත් සංගීත ෂානරයන් සහ කලාකරුවන් ගැන කතා කරමු?


මම රොක් සංගීතයට ඉතා කැමැතියි. ඒවගේම රාගධාරී සංගීතයටත් ඉතා කැමැතියි. ඉදිරියේදී මගේ අතින් රොක් ගීත කිහිපයකුත් නිර්මාණය වෙයි. මම කලාකරුවෙක් විධියට Bruno Marsf ගොඩක් කැමැතියි. මම Daughtry කියන රොක් ගායකයාට ගොඩක් කැමැතියි. පොඩි කාලෙදි ඔහුගේ ගීතවලින් මම ලොකු අනුප්‍රාණයක් ලැබුවා. මම කාලයක් AC/DC පිස්සුවෙන් වගේ ඇහුවා. ඒ වගේම Guns N Roses කියන සංගීත කණ්ඩායමට මම ගොඩක් කැමැතියි.


ලාංකික සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස කොහොමද?


ලංකාවේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ලොකු පැහැදීමක් සහ සතුටක් තිබෙනවා. නව පරම්පරාවෙ නිර්මාණකරුවන් ඉතාම දක්ෂයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ බොහෝ දේවල් සිස්ටමයිස් වෙනවා. දැන් එන බොහෝ ගීතවල ගුණාත්මක බව ඉතා ඉහළයි. ඒ වගේම විවිධ ශානරයන්වල නිර්මාණ බිහි වෙනවා. ඉස්සර ලංකාවේ සංගීත ශානරයන්වල විවිධත්වයක් තිබුණෙ නැහැ. අද එහෙම නැහැ විවිධ රසයන්ගෙන් යුතු සංගීතයන් අද නිර්මාණය වෙනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


ඉදිරියේදී මගේම ගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙනවා. ගිය වසරට වඩා ගීත ප්‍රමාණයක් මේ වසරෙදි නිකුත් වෙනවා. ඒ වගේම මගේ සංගීත කණ්ඩායම වන එඥර්ථීතභඵ සංගීත කණ්ඩායමෙත් ඔරිජිනල්ස් ගොඩක් නිකුත් වීමට නියමිතයි.


ගිහාන් සචින්ත




Previous Post Next Post