කුසුමාසන දේවි චරිතය තරමක් අභියෝගාත්මකයි-උදාරි වර්ණකුලසූරිය




මේ දිනවල විකාශය වන අළුපාට දේදුනු ටෙලිනාට්‍යයේ ප්‍රාර්ථනාගේ චරිතයෙන් ඔබ හමුවට එන මේ අපූරු රංගන ශිල්පිනිය නමින් උදාරි වර්ණකුලසූරිය. පුංචි තිරයේ වගේම රිදී තිරයේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් මේ දක්ෂ රංගන ශිල්පිනිය මෙවර  අදහස් එක් කළේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ.


මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරි මහත්මා අධ්‍යක්ෂණය කරන කුසුමාසන දේවී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වෙලා තිබෙනවා. ඒ වගේම අළුපාට දේදුනු ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.


මොනවද අලුත් වැඩකටයුතු?


මේ වසරේ මම රංගනයෙන් දායක වුණු නිර්මාණ කිහිපයක්ම එන්න නියමිතව තිබෙනවා. චමින්ද පතිරණ මහත්මා අධ්‍යක්ෂණය කළ සිටුවර පුවත ටෙලිනාට්‍ය වගේම ඇය ලියවිය කෙටි ටෙලිනාට්‍යයත් මේ වසරේදී එන්න නියමිතව තිබෙනවා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවායේ නම් ගම් යථා කාලයේදී පවසන්නම්.


මේ දිනවල විකාශය වන නිර්මාණවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ වනවිට කුසුමාසන දේවී චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වෙලා නිසා ප්‍රේක්ෂකයන් නිර්මාණය එන තුරු බොහොම ආසාවෙන් බලන් ඉන්නවා. මේක මටත් හොඳ අත්දැකීමක්. කුසුමාසන දේවියගේ චරිතය තරමක් අභියෝගාත්මක චරිතයක්. නමුත් මම හිතනවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා බලාපොරොත්තු වන ආකාරයට මම ඒ චරිතය වෙනුවෙන් සාධාරණයක් කරනවා ඇති කියලා.


ඔබ නිතරම ඓතිහාසික චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද?


මගේ පැත්තෙන් කියන්න ඇත්තටම විශේෂ හේතුවක් නැහැ. නමුත් කුමක් හෝ විශේෂත්වයක් ඇති මට නිතරම ඓතිහාසික  චරිත ලැබෙන්නට. එදිනෙදා යථාර්ථවාදී චරිත ලැබෙන්නේ නැතිවමත් නෙවෙයි, නමුත් සාපේක්ෂව ඓතිහාසික චරිත ලැබෙනවා වැඩියි. මම ආදරවන්තියගේ චරිත වගේම, මවකගේ චරිත, බිරියකගේ චරිත, අතීත ක්‍රියාදාම චරිත වගේම වර්තමාන ක්‍රියාදාම චරිතයක් ලෙස පොලිස් නිලධාරිනියගේ චරිත වැනි විවිධ චරිත කරලා තිබෙනවා. ඒ නිසා මගේ රංගනය රාමුවකට කොටුවෙලා කියන්න බැහැ.  ඓතිහාසික චරිතවලට වැඩි වශයෙන් ආරාධනා ලැබුණත් මම හිතන්නේ නැහැ මගේ රංගනය රාමුවකට කොටුවෙලා කියලා. පෞද්ගලිකව මම රංගනයේදී තෘප්තිමත්. මොකද මට කැමැති ආකාරයට රඟපාන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මට ඒ අවස්ථාව අධ්‍යක්ෂවරුන් දීලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.


ආසු චිත්‍රපටය වැනි බයෝග්‍රැෆි නිර්මාණයකට පණ පෙවීම මොන වගේ අත්දැකීමක්ද?


ඇත්තටම ඒක මට ලොකු අභියෝගයක්. මොකද මට අවශ්‍ය ආකාරයට ඒ චරිතය ඉදිරිපත් කරන්න බැහැ. මොකද ඒ වන විටත් ඒ චරිතය ජීවත් වෙමින් සිටි චරිතයක්. ඉන්දිරා ජයසූරියගේ චරිතය තමයි ඒ චිත්‍රපටය තිබෙන්නේ. ඒක අපි හැමෝම දන්නවා. ඉතින් මට අවශ්‍ය ආකාරයට ඒ චරිතය හසුරුවන්නට බැහැ. මම කරූ ජයසූරිය මහත්මයා සහ ලංකා ජයසූරිය මහත්මියගේ අනුදැනුම ඇතිව ඇය පවුලේ අයත් සමඟ ගනුදෙනු කළේ කොහොමද? ඇගේ ළමා කාලය ගතවුණේ කොහොමද? ඒකේ ජීවන චර්යාව කොහොමද? යන දේවල් හදාරලා තමා මට ඒ චරිතය කරන්න වුණේ. ඉතින් ඒක මට ලොකු අභියෝගයක්. එතැනදී මට අනුකරණය කිරීමක් තමයි කරන්න තිබුණේ. මම හිතනවා ඒ චරිතය තුළ යම්තාක් දුරකට හෝ මම සාර්ථකයි කියලා.


ආසු චිත්‍රපටයේදී ලොකු වේශ නිරූපණයක් කරලා තිබුණා. ඒ අත්දැකීම මොන වගේද?


ඇත්තටම ඒක මට අමතක නොවන අත්දැකීමක්. ලස්සන තරුණිය, යුවතිය, ගැහැනිය, බිරිය තැන ඉඳලා බලන්න බය හිතෙන විරූපී තැනටම යන චරිතයක් ඒක. ලස්සන කියන දෙයක් නැති වී යන ආකාරය පියවරෙන් පියවර මේ චිත්‍රපටය තුළින් පෙන්වා දී තිබෙනවා. ඉතින් ඒකට වේශ නිරූපණය ලොකු උදව්වක් වුණා. හිසකෙස් ගැලවී තට්ටයේ කෙස් ගස් කිහිපයක් ඉතිරිවී තිබුණු මේකප් එක දැම්මේ මගේ කොණ්ඩය දණහිසටත් වඩා දිගට තිබියදී. ඉතින් මේ මේකප් එක දාන්න පැය 12ක් ගියා. මේ චිත්‍රපටය ඇතුළේ මේ වගේ අමතක නොවන සිදුවීම් තිබුණා. මේ මේකප් එක කළේ නාරද ධනංජය තොටගමුව අයියා. නාරද අයියාත් ආදරයෙන් මතක් කරනවා. මොකද මේ චිත්‍රපටය ඇතුළේ මගේ චරිතයේ යම් සාර්ථකත්වයක් තිබුණද එම සාර්ථකත්වයේ කොටස්කරුවන් තමයි ධනංජය අයියාත්, නාරද අයියාත්.


විදෙස් රටක ජීවත්වන ගමන් ලංකාවේ කලා නිර්මාණවලට දායක වීම අපහසු නැද්ද?


අවුරුදු දාසයක් තිස්සේ මම ඒ දේ කරනවා. ඒ නිසා මට ඒක දැන් පුරුදු වෙලා. රූපගත කිරීම් තිබෙද්දී ලංකාවට එනවා. නැති කාලයට ‍ෙදා්ණි ගාවට යනවා. ඇය දැන් ලොකුයි. අවුරුදු ‍ෙදාළහක්. ප්‍රේක්ෂකයන් තවමත් මාව බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට මඟ බලා හිඳින්නට දෙන්නේ නැහැ මම කවදාවත්. ඔවුන් මාව බලාපොරොත්තු වන තාක් මගේ නිර්මාණ ඔවුන්ට ලබා දෙනවා.


ඔබ ජනප්‍රිය වුණේ ටෙලි නිර්මාණයකින්. නමුත් අද වෙද්දී ඔබ වැඩි අවධානය යොමු කරන්නේ සිනමා නිර්මාණවලට. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම එහෙම විශේෂ හේතුවක් නැහැ. මම මුලින්ම රංගනයට ආවෙත් සිනමා නිර්මාණයකින්. ඒ, උදකාන්ත වර්ණකුලසූරිය මහත්මයාගේ “පායා එන්න හිරු සේ” කියන නිර්මාණයෙන්. නමුත් මාව ජනප්‍රිය වුණේ බොඳ මීදුම් ටෙලිනාට්‍යයෙන්. ඉතින් මට පුංචි තිරයයි රිදී තිරයයි කියන දෙකෙන් එකකටවත් කෙනෙහිලිකමක් කරන්න බැහැ. මොකද ඒ දෙකම මට එක හා සමානයි.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මේ වසරේ භාරගත්තු නිර්මාණ හොඳින් කරන්නත්, මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් පිනවන්නත් බලාපොරොත්තු වෙනවා. මගේ එකම දුව දැන් එන්න එන්නම ලොකු වෙනවා. ඉතින් ඇයව ලෝකෙට බරක් නැති දියණියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දියණියක් සිටින මවක් වීම ලොකු වගකීමක්. ඇයටත් හොඳ මවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙනයන සියලු මාධ්‍යවේදීන්ටත් මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post