සනාෂා නපුරු වුණාට ගොඩක් අය ආදරෙයි-කෞමිණී තත්සරණි




ඇය බොහොම සුරූපී තරුණියකි. දහස් ගණනක් වූ රූමතියන් අතරින් අවුරුදු කුමාරියක වී කිරුළු පලඳින්නට වරම් ලැබෙන්නේ ඒ රූමත්කම නිසාමයි. රූමත්කම තරමටම රංගන හැකියාවද උපතින් ගෙනා ඇය මේ දිනවල ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන්ට වඩාත් සමීප වී හිඳින්නේ උන්මාදිනී ටෙලි නාට්‍යයේ සනාෂාගේ චරිතය හරහායි. නමින් කෞමිණී තත්සරණි වන ඇය තම රංගනය සම්බන්ධයෙන් හදගැස්ම සමඟින් කළ කතාබහයි මේ. 

මුලින්ම ඔබ ගැන තොරතුරු ටිකක් කියලා ඉමු?


මම කෞමිණී තත්සරණි, පදිංචි වෙලා ඉන්නේ ගම්පහ. 2021 අවුරුද්දේ ජාතික රූපවාහිනියේ රූ කිරුළ දිනා ගනිමින් තමයි මම කලා ක්ෂේත්‍රයට එන්නේ. මේ දිනවල මම රංගනයෙන් දායක වන උන්මාදිනී ටෙලි නාට්‍යය විකාශය වෙනවා.


සනාෂාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?


උන්මාදිනී බලන ප්‍රේක්ෂකයන් එක එක විධියට ප්‍රතිචාර දක්වනවා. හොඳ-නරක දෙකම ඔවුන් කියනවා. නමුත් ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. සනාෂා කියන්නේ ටිකක් නරක නපුරු කෙනෙක් කියලා පෙනුණට ඒ චරිතයට ගොඩක් අය ආදරය කරනවා. ඒක මමත් බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුණු චරිතයක්. පාරෙදි දැක්කත් ආදරෙන් කතා බහ කරන ලොකු පිරිසක් ඉන්නවා.


ඔබ වැඩි වශයෙන් ප්‍රේක්ෂකයා අතරට අරගෙන ගියේ උන්මාදිනී ටෙලි නාට්‍යය. කොහොමද ඒ අත්දැකීම?


උන්මාදිනී හරහා තමයි ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට යන්නේ. නමුත් මම ක්ෂේත්‍රයට එන්නේ හසුන් සමීර අධ්‍යක්‍ෂවරයාගේම ඇස් ටෙලි නාට්‍යයෙන්. අදටත් සමහර ප්‍රේක්ෂකයන් ඒ ටෙලි නාට්‍යයේ මම රංගනය දක්වපු චරිතය වන සයුරු කියන චරිතයේ නමින් මට  කතා කරනවා. ඒ වගේම උන්මාදිනී ටෙලි නාට්‍ය නිසා ලොකු පිරිසක් මාව අ¾දුරගන්නවා. අ¾දුරගෙන කතා බහ කරනවා. ඇත්තටම ඒක හොඳ සතුටු අත්දැකීමක්. මේ ටෙලි නාට්‍ය තෝරා ගැනීමේ ඉඳලම මට ඒක ලොකු අත්දැකීමක් වුණා. මොකද උන්මාදනී කියන්නේ මම රංගනයෙන් දායක වෙන හතර වැනි ටෙලි නාට්‍යය. ඒ වගේම මේ තමයි මම ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව. ඉතින් ඒ අත්දැකීම් බොහොම වටිනවා.


ආධුනික රංගන ශිල්පිනියක් ලෙස චරිතයට අනුගත වීමේදී මුහුණ දුන් අභියෝග මොන වගේද?


මම පාසල් වේදිකාව හරහා ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි වෙන්න පෙර සිටම රංගනයට සම්බන්ධවෙලා සිටියා. නමුත් වේදිකාවට හුරුපුරුදු වුණාට කැමරාවක් ඉදිරියේ රඟපාන්න පොඩි චකිතයක්, තිගැස්මක් තිබුණා. ඒත් ඒක ලොකුවටම බලපෑවේ නැහැ. මොකද මුල සිටම මේ ක්ෂේත්‍රයේ මට වැඩ කරන්න ලැබුණේ හොඳ නම්‍යශීලී, ප්‍රවීණ පිරිසක් එක්ක. එතැනදි මට ඔවුන්ගෙන් උපදෙස්, ගුරුහරුකම් ලැබුණා. මෙතැනදි මම විශේෂයෙන් හසුන් සමීර අධ්‍යක්‍ෂවරයාව සිහිපත් කරනවා. මොකද මම ඇස් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවිටත් රංගනය සම්බන්ධයෙන් බොහොම පුංචි දේවල් පමණයි දැනගෙන සිටියේ. රූගත කිරීම්වලදී ඔහු අපිව හසුරවන විධියෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. චරිතයකට අනුගත වීම ලෙහෙසි නැහැ. තවමත් බොහෝ දේවල් ඉගෙන ගනිමින් යනවා. නමුත් ලොකු අභියෝගයක් වුණා කියලත් කියන්න බැහැ, මොකද මම රංගනය පිළිබඳව යම් තරමකට දේවල් දැනගෙන සිටිය නිසා.


උන්මාදිනීහි රංගනයේදී අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබෙන සහාය ගැනත් දැන ගන්න කැමැතියි?


ඇත්තටම ඔවුන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒ නාට්‍යයේ ප්‍රවීණයන් රැසක් ඉන්නවා. ඔවුන්ගේ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්නවා. මගේ පුංචි පුංචි අඩුපාඩුකම් හදාගන්න උදවු කරනවා. ඇත්තටම හරිම ආදරණීය පිරිසක් එක්ක තමයි උන්මාදිනී එකේ රංගනයෙන් දායක වෙන්නේ. රංගන ශිල්පීන්ගේ වගේම අධ්‍යක්‍ෂවරයා, කැමරා ශිල්පීන්, පසුතල නිර්මාණ ශිල්පීන් මේ සියල්ලගෙන්ම හොඳ සහායක් මට හිමිවෙනවා.


ඔබට රංගනය පිළිබඳව හැදෑරීමක් තිබෙනවද?


රංගනය සම්බන්ධයෙන් උපාධිය දක්වා හදාරලා නැහැ. නමුත් වේදිකාව පිළිබඳව තරමක හැදෑරීමක් තිබෙනවා. මම හිතන්නේ පුහුණුව සහ අත්දැකීම් තමයි වැදගත්. මම  මාත්  එක්ක වැඩ කරන රංගන ශිල්පීන්ගෙන්, අධ්‍යක්‍ෂවරයාගෙන් මේ සියල්ලගෙන්ම ඔවුන් රංගනයේ යෙදෙන ආකාරය, ලබා දෙන උපදෙස් වගේ දේවල්වලින් රංගනය පිළිබඳව ඉගෙන ගන්නවා.


රංගනයට එක් වෙන්න සිහිනයක් තිබුණු නිසාද, අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙන්නේ?


නැහැ මම අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙන්නේ මගේ අම්මගේ ආසාවකට. මම උසස් පෙළ කරන කාලයේදි මම අධ්‍යාපනයට මුල් තැන දෙන්න අවශ්‍ය නිසා වේදිකා නාට්‍ය කරන එකත් නැවැත්තුවා. නමුත් අවුරුදු කුමාරි වෙන කාලයේදී පාසල් අධ්‍යාපනය අවසන් කරලා සමාජයට ගිහින් හිටියේ. ඒක නිසා ලැබුණු අවස්ථා භාර ගත්තා.


රංගන දිවිය සම්බන්ධයෙන් ඔබට බොහොමයක් සිහින ඇති, ඒ ගැනත් කතා කරමු?


රංගනයට එද්දී නම් ලොකුවට සිහින දැක්කේ නැහැ. නමුත් ටික ටික ඉදිරියට යද්දී අපේ ජීවිතයට සිහින එකතු වෙනවා. මම ආසයි විවිධාකාර චරිත නිරූපණය කරන්න. චිත්‍රපට කරන්න ආසාවක් තිබෙනවා. ටෙලි නාට්‍යවලට වඩා ලොකු ආසාවක් තිබෙන්නේ චිත්‍රපට හරහා ඉදිරියට යන්න.


ඉදිරියේදී තවත් නිර්මාණ එන්න තිබෙනවද කියන කාරණය ගැනත් මතක් කරමු?


ඉදිරියේදි ටෙලි නාට්‍යවලට එකතු වෙන එක ගැන මම තවදුරටත් කල්පනා කරනවා. මොකද දේවල් තෝරලා බේරලා අරගෙන ඉදිරියට යන්න අවශ්‍ය නිසා. ඒ වගේම චිත්‍රපට කලාව පැත්තෙන් එන්න ඉඩ තිබෙනවා. ඒ වගේම මම මෙතැනදි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා උන්මාදිනී ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ හසුන් සමීර මහත්මයාට උන්මාදිනීහි සනාෂාගේ චරිතය මට ලබාදීම සම්බන්ධයෙන්.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post