බාල මහලු, ගැහැනු පිරිමි භේදයක් නැතිව හැමෝගේම ආදරය සහ ආශීර්වාදය ලබන්නට ඇත්නම් මොන තරම් වාසනාවක් ද? එහෙම ආදරයක් ලැබිය හැක්කේ නිහතමානී ආදරණීය කෙනකුට විතරමයි. කටහඬට, පෙනුමට ඒ නිහතමානීකමට සැමගේ ආදරය ලබන ඒ ගීත කෝකිලාවිය කාංචනා අනුරාධි. ඇය යන යන තැන මල් පොකුරක් ලැබෙන තරමට ඇය සැමගේ හදවත් දිනාගත් තාරකාවක් වී හමාරයි. අද අප කතා කරන්නේ ඇයත් සමඟයි.
ඉතින් කොහොමද කාංචනා?
ජීවිතය කාර්යබහුලත්වයත් සමඟ ගඟක් වගේ ගලාගෙන යනවා. මගේ අධ්‍යාපන කටයුතු වගේම සංගීත ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් සමබරව කරගෙන යනවා. ඒ විදිහට තමයි මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ...
කාංචනා අනුරාධි නම් වූ නිහතමානී ගායිකාවට තරුණයන්ගේ පමණක් නොව තරුණියන්ගේ ද ආකර්ෂණය ලැබෙන බව නොරහසක්. ඉතින් කොහොමද ඔබට මේ ජනතා ආදරය දැනෙන්නේ?
මේ ලැබෙන ආදරය තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම ශක්තිය. ඒක වචනයෙන් කියාගන්න බැරි තරමේ දෙයක්. ජනතා ආදරය බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මේ සොබාදහමෙන් ලැබෙන දෙයක්. මම සසරේ ගොඩක් පින් කරන්න ඇති මේ ආදරය ලබන්න.
සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොම ද?
පාසල් කාලයේ ඉඳන්ම ගායනයට ලොකු කැමැත්තක් තිබුණා. වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය, මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල සහ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය යන පාසල්වලින් මම අධ්‍යාපනය හැදෑරුවා. මේ පාසල් තුනේදිම ඉගෙනීමේ ක්‍රියාකාරකම්වලට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට තමයි මුල්තැන ලැබුණේ. ඒ කාලේ ගායනය, රංගනය සහ නර්තනය යන අංශ තුනෙන්ම මම ජයග්‍රහණ ලැබුවා. නමුත් මම 6 වසරෙදි තෝරා ගන්නේ නර්තනය. කාලයක් යද්දි මගේ හිත නැවතුනේ සංගීතය ළඟ. ඊට පස්සේ සාමාන්‍ය පෙළටත් කළේ සංගීතය. උසස් පෙළට කරන්න හිටියේ ජීව විද්‍යාව. මොකද මට ආසාව තිබුණේ පශු වෛද්‍යවරියක් වෙන්න. අන්තිමට උසස් පෙළටත් කලා විෂයන් ධාරාවෙන් සංගීතය තමයි කළේ. එහෙම යද්දි 2016 වසරේදී වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායනා ගායිකාවට හිමි සම්මානය හිමිවෙනවා. ඒකත් එක්ක රූපවාහිනි නාළිකා කිහිපයක වැඩසටහන්වල ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඊටපස්සේ අකීකරු පෙම් කතාවක්, කාලී, දැනෙනා තුරු මා, උඳුරාවි , නාදෙන්, ඔපදා වැනි ගීත මගේම ගීත කිහිපයක් කරනවා.
නමුත් ඔබ ජනතාව අතරට මුලින්ම ගියේ කාරකාර බඳින්නට ගීතය නිසයි.
ඒ ගීතය ගැයුවේ උපාලි කන්නන්ගර මහතාගේ උපහාර උලෙළක් වෙනුවෙන්. එතුමාට කියනවාට වඩා මම කැමැති එතුමා ගායනා කළ ගීතයට මට යම්කිසි අරුතක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා. මට හරිම සතුටුයි. එතුමාගේ පවුලේ අයගේ ආරාධනයෙන් තමයි මම කරකාර බඳින්න ගීතය එතුමාට උපහාරයක් විදිහට ගායනා කළේ. ඉතින් ඒක අපි හිතුවේ නැති විදිහට මුළු ලංකාවේම වගේම විදෙස්ගත වෙලා සිටින ලාංකිකයන් පවා නොකඩවා අහපු ගීතයක් බවට පත් වුණා. එහි සියලුම ගෞරවය උපාලි කන්නන්ගර මහතාට පුදකරනවා. ඒ වගේම මම මේ වෙලාවේ එතුමාව ආදරයෙන් සිහිපත් කරනවා. වයස් භේදයකින් තොරව හැමෝම අතරට යන්න කරකාර බඳින්න ගීතය මගේ සංගීත ජීවිතයට මට ලොකු ආශීර්වාදයක් වුණා. එදා කරකාර බඳින්නට ගීතය රෙකෝඩ් කරපු එක මුලින්ම ඇහුවේ අම්මා. අම්මා ඒ සින්දුවේ බීට් එකට නටනවා. එයා නිතරම ඇහුවා අනේ මේක කවද්ද ටීවී එකේ යන්නේ කියලා. පොඩි අයගේ ඉඳන් වයස් සීමාවක් නැතුව හැමෝම මුමුනන ගීතය බවට පත් වුණා. මං ගැන ඒ හැමෝටම පුංචිම හරි ආදරයක් ඇති වුණේ ඒ ගීතය හරහා.
කාංචනා දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. ඒ බ්‍රෑන්ඩ් එක දිගටම පවත්වාගෙන යන්නේ කොහොම ද?
මගේ හැම දේකම පිළිවෙළක් තියෙනවා. අඳින අැඳුමේ ඉඳලා දවසේ කරන වැඩ, මගේ වගකීම් මේ හැම දෙයක්ම මම පිළිවෙළකට කරනවා. හැබැයි ඒ හැම දේකදිම අම්මයි තාත්තයි ඉන්නවා. ගායිකාවක් විදිහට මම සමාජයට දෙන නිර්මාණ ගැන සෑහෙන සැලකිලිමත් වෙනවා.
පවුලේ කවුද ඉන්නේ?
පවුලේ අම්මයි තාත්තයි අක්කයි ඉන්නවා. කිරි අම්මා ඉන්නවා. අක්කා කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක්. දැන් මම ගී ගයන හැම ප්‍රසංගයකදීම බොහෝ දෙනෙක් මට මල් පොකුරක් දෙන්න අමතක කරන්්නේ නැහැ. ඒ කියන්නේ එයාලට ඒ තරමට මාව දැනෙනවා. එහෙම මල් පොකුරක් ලැබුණු පළමු අවස්ථාවනම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ තාත්තා මට කිව්වේ පුතේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට මල් ලැබෙන්නේ මේ ලොකෙන් සමු ගන්න දවසට. නමුත් ඔයා ගොඩක් පින් කරලා තියෙන නිසයි ජීවත්වෙලා ඉන්න කාලෙදීම මෙහෙම මල් ලබෙන්නේ කියලා. තාත්තා කිවුවේ ඉදිරියටත් යහපත් සිතින් ඉදිරියට යන්න කියලා.
මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මම 2015, 2016 වසරවල තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් මේ තාක් දුරට මට ළඟා කරගන්න පුළුවන් වුණ හැමදෙයක් ගැනම ලොකු සතුටක් තියෙන්නේ.
කාංචනා එක්ක කතා කරන කොට නාදගම ගැනත් කතා කරන්නම වෙනවා?
නාදගම කියන්නෙත් ඇත්තටම එකම පවුලක්. නාදගම අනෙක් ප්‍රසංගවලට වඩා වෙනස් හරිම වෙනස්. පළමුවැනි නාදගම ප්‍රසංගය 2018 වසරේ දී මාතරින් තමයි ආරම්භ කළේ. මේ වෙනකොට නාදගම හැමෝටම නැතිම බැරි කොන්සර්ට් එකක් වෙලා තියෙනවා. නාදගම කියන්නේ වෙනස්ම අත්දැකීම් ගොන්නක් එකතු කරන සංගීතමය සැඳෑවක්. නාදගමේදී අපි ප්‍රේක්ෂකයන් එක්ක හරි සමීපයි.
ඔයාට තියෙන්නේ හැඟීම්බර ගීත රටාවක්. මිනිස්සුන්ට දැනෙන විදිහට හැඟීම්බර වුණේ කොහොම ද?
මම හැඟීම් ගොඩක එකතුවක්. මම සාමාන්‍ය පවුලක කෙනෙක්. අම්මයි තාත්තයි මං වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා. නමුත් මං දන්නවා එයාලා ඒ දේවල්
කරන්නේ අමාරුවෙන් කියලා. මට ඒ හැඟීම දැනෙනවා. මගෙ ඇඟ පුරාම තියෙන්නේ ඒ හැඟීම්. නෑදෑ පවුල්වල ප්‍රශ්න, සමාජයේ දේවල් ඒ හැම දෙයක්ම මගේ ගායනයට හේතු වුණා. ඒ වගේම මම අනිත් අයගේ සමහර ගීත අහද්දිත් හැඟීම්බර වෙනවා. ඒ දේවල් මට කලින් වෙලා නැතත් මට දැනෙනවා ඒ ගීත ඇතුළේ මං හිර වෙලා කියලා. ඒ ගීතයෙන් කියවෙන දුක මටත් දැනෙනවා. මම චිත්‍රපට වුණත් බලන්න බය මම ඒ තරම් සංවේදි කෙනෙක් නිසයි.
ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරය කියන්නේ මේ ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. මිනිස්සුන්ට නිවාස ඇඳුම් පැළදුම් වගේම ආදරයත් අත්‍යවශ්‍යයි. ගහ කොළටත්. මම පවුල ඇතුළේ ආදරය නොඅඩුව ලබන කෙනෙක්. අදටත් ඒ ආදරය එහෙම්මමයි.