චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් ඉන්නවා-කව්මිණි සත්සරණී




එදා දෙදහස් විසි එක(2021) වසරෙද්දී ජාතියේ නාලිකාවය හෙවත් ජාතික රූපවාහිනිය මඟින් පැවැත්වූ අවුරුදු කුමරිය වැඩසටහනින් ඇ ජයග්‍රාහී කිරුළ හිමිකර ගත්තාය. ඉන් අනතුරුව රංගනයට මෙන්ම නිවේදිකාවක් ලෙසත් කටයුතු කිරීමට අවස්ථාව උදා වූවාය. ඒ ජාතික රූපවාහිනියෙන් නුග සෙවණ නම් ජනප්‍රියතම වැඩසටහනේ නිවේදිකාවක් ලෙස දායක වෙමින්ය. මේ දිනවල අපේ සමාජ මාධ්‍ය තුළත් වඩාත් ආකර්ෂණීය යොවුන් නිළියද ඇයයි.


සතියේ දින පහේම ස්වර්ණවාහිනියෙන් ඇය අපේ ආලින්දය සරසන්නීය. ඒ රාත්‍රී නවයට (9.00) විකාශය වන උන්මාදිනි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන උන්මාදිනී ලෙසින් රංගනයට දායක වෙමිනි. නවක ජනප්‍රිය යොවුන් නිළි කව්මිණි සත්සරණී නම් ඇය මෙවර අපේ කතා බහට එකතු වූවාය.


මුලින්ම කව්මිණීගේ පවුලේ විස්තර කිව්වොත්?.


ඔව් අයියේ මගේ පවුලේ අම්මායි, තාත්තයි, අයියයි, නංගිලා දෙන්නයි.


ඉගෙනගත් පාසල?


කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය, උසස් පෙළ හැදෑරුවේ, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන්.


උසස් පෙළට කළේ මොනවද?.


වාණිජ්‍ය අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. හැබැයි ඒ වුණත් මම කලාව එක්කම තමා හිටියේ. පාසලේ කලා සංගමයේ වැඩසටහන්වලට සම්බන්ධ වෙලා සමස්ත ලංකා මට්ටමින් නාට්‍යය තරඟවලින් ජයග්‍රහණ පවා හිමිකර ගත්තා. පාසලේදී වේදිකා නාට්‍ය එහෙමත් කළා.


ඒ කාලේ ඉඳලම ඔබට අරමුණක් තිබ්බද කලාවෙන් ඉදිරියටම යනවා කියලා?


එහෙමත් නෑ. නිළියක් වෙනවා කියලා අදහසක් පවා තිබුණේ නෑ.


එතකොට ඔබ කලාවට එන්නේ කොහොමද ?


මම ජාතික රූපවාහිනිය මඟින් පැවැත්වූ දෙදහස් විසිඑක (2021) වසරේ අවුරුදු කුමරිය වැඩසටහනෙන් ජයග්‍රාහී කිරුළ හිමිකර ගන්නවා.


ඊට පස්සේ?


ඒකෙන් පස්සේ තමා මට ජාතික රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඊටත් පස්සේ රංගනයටත් අවස්ථාව ලැබුණා.


ප්‍රථමයෙන් ඔබ රඟපෑවේ ?


වලවෙට්ටුව කියලා ටෙලි නාට්‍යයක.


කව්මිණි ඇස් කියන ටෙලිනාට්‍යයෙන් නේද වඩාත් ජනප්‍රිය වුණේ?


ඔව් අයියා ඒ ගැන නම් හරිම සතුටුයි. අදටත් මට හමුවෙලා මාත් කතා කරන අය ඒ චරිතය ගැන කියනවා. තවමත් ගොඩාක් අයට මතකයි ඇස් ටෙලි නාට්‍යයේ මං රඟපෑ සයුරි කියන ඒ චරිතය හරිම ආදරණීයයි. ලොකු පිරිසක් ඒ වටා එකතු වුණා.


ටෙලි නාට්‍යයේ රඟපෑමට ඔබට ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?


හසුන් සමීර අයියා තමයි මට ඒ අවස්ථාව සඳහා කතා කරන්නේ. එයාලගේ හසුන් සමීර ප්‍රඩක්ෂන් ටීම් එකේ අයත් හරිම හොඳයි.එයාලගෙ ප්‍රඩක්ෂන් ටීම් එකෙන් තමයි ඒක කළේ. අපිට එයාලා ගොඩාක් ආදරෙයි. කැන්ඩිවල තමා ඒකෙ රූගත කිරීම් තිබුණේ. මම හරිම ආස පළාතක්.


මේ දවස්වල කව්මිණි, උන්මාදිනී ලෙස අපේ අලින්දයට එනවා නේද?


ඔව්, ඒ ටෙලි නාට්‍යයේ උන්මාදිනී කියන ප්‍රධාන චරිතය(සනශා) තමා මං රඟපාන්නේ.


උන්මාදිනී ටෙලි නාට්‍යයට අවස්ථාව ලැබුණේ කොහොමද ?


ඒකත් අර ඇස් ඩ්‍රාමා එකේ ප්‍රඩක්ෂන් කරපු ටීම් එකේ අයම තමා කරන්නේ. ඒ අයම තමා මට මේ සදහා කතා කළේ අධ්‍යක්ෂ හසුන් සමීර අයියා.


ටෙලි නාට්‍ය රූගත කිරීම් වලදී විශේෂ දේවල් එහෙමත් සිදුවෙලා තියෙනවාද?


අමතක නොවන දේවල් කියන්න තරම් එහෙම විශේෂ දෙයක් මතකයේ නැ. තරුණ පිරිසත් එක්ක එකතුවෙලා මෙහි වැඩ කටයුතු කිරීම හරිම සතුටින් කරගෙන යනවා.


උන්මාදිනි එකේ රූගත කිරීම් කරන්නේ කොහේද?.


කොළඹ අවටම තමා රූගත කිරීම් සිදුවෙන්නේ.


 


චිත්‍රපට, වේදිකා නාට්‍යවලට එහෙම කව්මිණීට අවස්ථාව ලැබිලා නැද්ද?


චිත්‍රපටවලට නම් නෑ. එහෙම අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවා. ඒකේ පිටපත එහෙම බලලා වේදිකා නාට්‍ය‍ නම් මං මුල්ම කාලයේ පාසලේදී කළා මෑතකදී ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ට්‍රොජන් කාන්තාවො කියන වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා.


රංගනය ගැන හැදෑරීමක් කරන්න අදහසක් නැද්ද ?.


නිර්මාණවලට දායක වෙමින් ඒවායෙන් යම් යම් දෙවල් ගැන ඉගෙන ගනිමින් ඒවගේම ප්‍රවීණයන්ගෙන් ලැබෙන හා උපදෙස් මඟ පෙන්වීම්වලින් මේ ගැන වැඩි දුරටත් ඉගෙන ගන්නවා. ඉස්සරහට එහෙම හැදෑරීමක් තවදුරටත් කරන්න හිතන් ඉන්නවා.


වෘත්තීය රංගනය ශිල්පිනියක් වෙන්නද හිතන් ඉන්නේ?


නැහැ අයියා මේ රංගනය මම දිගටම කරන්නේ නැතිවේවි. මම ව්‍යාපාර අංශයෙන් මේ වෙනකොට උපාධියක් හදාරනවා. ඒකට වැඩි කාලයක් යොදවනවා.


මේ ව්‍යාපාර උපාධියෙන් පස්සේ තමන්ගේම ව්‍යාපාරයක් කරන්නද අදහස?


ඔව් එහෙම දෙයක් කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ.


එහෙම වුණොත් රංගනයෙන් ඈත් වෙලා පූර්ණකාලීන ව්‍යාපාරිකාවක් ලෙස වැඩ කටයුතු කරගෙන යනවා. දෙකම බැලන්ස් කර ගන්නවා හැබැයි ව්‍යාපාරය පැත්තට නම් වැඩි කාලයක් මං යොදවනවා. ඒ අතරතුර හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙනුත් දායක වෙනවා.


කව්මිණි හරිම ආකර්ෂණීයයි. අපිට ඔයාගේ වයස කියන්න පුළුවන්ද?.


පුළුවන් අයියේ මට වයස අවුරුදු විසිහතරයි (24).


දැන් පෙම්වතෙක් එහෙමත් ඉන්නවද?


ඉස්සරහට බලමු.


විවාහ වෙන්නේ කවදා වගේද?.


ඉස්සරහට බලමු මට තාම වයසත් තියෙනවනේ අයියේ.


ගෙදර අය ඒ සඳහා කව්මිණිට යෝජනා ගෙනාවේ නැද්ද?.


එහෙමත් අවස්ථා තිබුණා මට හරි ගිය නෑ ඒවා එකක්වත්..


අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද?.


මේ පාරෙන් කලාවට එන්න මට උදව් කරපු හැමෝටම මුලින්ම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම උන්මාදිනී ටෙලි නාට්‍යයේ ප්‍රඩක්ෂන් ටීම් එකට ඒ ආයතනයට ඒකේ ඩිරෙක්ටර් හසුන් සමීර මහතාට. ඒ වගේම මගේ ප්‍රේක්ෂක ජනතාවත් මතක් කරන්න ඕනී මේ වෙලාවේ.


 

Previous Post Next Post