අපි තාම විවාහ වෙලා නෑ ,විවාහ වෙද්දි අනිවාර්යයෙන්ම කියනවා-ගිත්මා බණ්ඩාර




චැම්පියන් ස්ටාර් කියන්නේම සිනා සාගරයක් මැද විනෝදය ගෙනෙන ආකර්ෂණීය වැඩසටහනකි. පේශල සහ මාධවට නොදෙවෙනි අයුරින් කතාවෙහි උපන් සචිනිගේ අඩුව මේ දිනවල පුරවනු ලබන්නේ ගීත්මා බණ්ඩාරයි. චැම්පියන් ස්ටාර් තම ප්‍රථම ඉදිරිපත් කිරීම බව පවසමින් අප හා කතාබහට එක්වුණු ගීත්මා මේ වනවිට පේශල, මාධව, ගීත්මා එකතුව ද ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනිමින් සිටින බව ද පැවසුවාය.


චැම්පියන් ස්ටාර් වැඩසටහන මේ දිනවල මෙහෙයවන්නේ පේශල, මාධව සහ ඔබ. සචිනිව ආදරයෙන් වැලඳ ගත්ත ප්‍රේක්ෂක පිරිසගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරය කොහොමද?


වැඩසටහන බාර ගනිද්දි ලොකු බයක් දැනුණා. පේශල, මාධව, සචිනි කියන්නේ ගොඩක් ප්‍රේක්ෂක ආදරය ලැබුණු තිදෙනෙක්. මම වුණත් චැම්පියන් ස්ටාර් බලන්න ගත්තෙ ඒ තුන්දෙනා නිසා. එක පාරටම තමන් ආදරය කරන චරිතයක් මාරු වුණහම ප්‍රේක්ෂකයන් අවුල් වෙන එක සාධාරණයි. චැම්පියන් ස්ටාර් කියන්නේ ලංකාවෙ විතරක් නෙවෙයි විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අතරෙත් ජනප්‍රිය වැඩසටහනක්. ඒ නිසා මට මේක කරගන්න පුළුවන් වෙයිද කියන බයත් තිබුණා. මීට කලින් මං මේ වගේ වැඩසටහනක් කරල තිබුණෙත් නෑ. ඒ නිසා ලොකු අභියෝගයක් එක්ක තමයි මං මේක බාර ගත්තෙ. මට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ගෙන් හැමදාම මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක මට ලොකු ශක්තියක් වුණා. මුලදී සචිනිට ආදරේ කරපු ගොඩක් දෙනාගෙන් බෑඩි කමෙන්ට්ස් තමයි ලැබුණේ. ඒත් මේ වෙද්දි ඔවුන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒක මට ලොකු සතුටක්. ඒ වගේම පේශල, මාධව ඇතුළු කණ්ඩායම මට ලොකු සහායක් ලබාදුන්නා.


සචිනි දැන් ආයෙත් කලාවට ඇවිත්. නැවතත් චැම්පියන් ස්ටාර් වැඩසටහනේ වෙනසක් වේවිද?


මම සචිනි අක්ක ආපු ගමන්ම කිවුවා නැවතත් එන්න කියලා. ඉදිරියෙදී මොනව වෙයි ද කියන්න මං දන්නෙ නැහැ ඉතින්.


කොහොමද ඔබට වැඩසටහනට ආරාධනා ලැබෙන්නේ?


වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ‍ධර්මරාසා ෆොන්සේකා මහත්මිය තමයි මට ආරාධනා කළේ. පේශල සහ මාධව හරිම ආදරණීය විදිහට මාව පිළිගත්තා. මේක වෙනස් වැඩසටහනක්. ඇත්තම කිවුවොත් මං කොහොමත් වැඩිය සමාජශීලී චරිතයක් නෙවෙයිනෙ. මං කියන දේකින් කාගෙ හරි හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මට මේක අභියෝගයක් වුණා.


පේශල කියන දේවල්වලට සචිනි නම් ඒකටම හරියන්න මොනවහරි කියනවා. ඒත් ගීත්මා කියන්නෙ කටකාර චරිතයකුත් නෙවෙයිනෙ. අපහසුතාවට පත්වෙලා නැද්ද?


ඉස්සර ඉඳන්ම මං පේශල අයියට බයයි. මොකද එයා මොනව කියයිද? මොනව අහයිද? දන්නෙ නෑනෙ. දැන්නම් ඒ බය නෑ. මට හිතාගන්නත් බැරි තරම් ප්‍රොපෙෂනල් විදිහට එයා මාව හරිම ආදරෙන් පිළිගත්තා. නිතරම මාව ඇදල අරන් කතා කරවනවා. ඒ දෙන්නගෙන් ලැබෙන සපෝට් එකෙන් ෂේප් එකේ වැඩේ කරගෙන යනවා. තාම නම් අපහසුතාවට පත්වෙන දෙයක් වෙලා නෑ.


ගීත්මගෙ ක්ෂේත්‍රයට පිවිසීම ගැනත් මතක් කරමු?


වෙළෙඳ දැන්වීමක් හරහා තමයි මං කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ 2015 වගේ. ඒත් පාසල් යන නිසා ගෙදරින් කැමති වුණේ නැහැ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවට. හිරු අවුරුදු කුමරිය හරහා අහස් මාළිගා ටෙලි නාට්‍යයෙන් තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ.


මේ වෙද්දි සංගීතේ අසෙනි වගේම සංසාරිණීහි අනගි හරහාත් ඔබ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහළින්ම දිනාගන්න සමත් වෙලා. ඒ ගැනත් කතා කරමු?


සංගීතේ ටෙලි නිර්මාණයේ අසෙනි තමයි මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය. ප්‍රේක්ෂකයන් මාව හොඳින්ම හඳුනගත්තෙ අසෙනි නිසා. පටන් ගත්ත දවසෙ ඉඳන් මේ දක්වා එකවිදිහටම ප්‍රේක්ෂක ආදරය ලැබෙන චරිතයක්. මේ වෙද්දි සංසාරිණී ටෙලි නිර්මාණයේ අනගිටත් ඒ වගේම ආදරයක් ලැබෙනවා.


ගීත්මා තාම සිනමාවෙ පේන්න නැත්තෙ ඇයි?


සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථා කිහිපයක්ම ලැබුණත් යම් යම් හේතු නිසා ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. ඒ නිසා සිනමාවට සම්බන්ධ වෙන්න තාමත් බැරි වුණා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.


ගීත්මා රමිත් කියන්නෙ හරිම ආදරණීය යුවළක් විදිහට දැන් ක්ෂේත්‍රයේ ජනප්‍රියයි. කොහොමද ඒ හමුවීම සිදු වෙන්නේ?


එයා රමිත් ජයසූරිය. මට එයා හමුවෙන්නෙ යාළුවන්ගෙ මාර්ගයෙන්. එයාගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. එයත් එක්ක මේ පටන් ගත්ත ජීවිතේ, මං හිතනව මගේ ජීවිතේ ගත්ත හොඳම තිරණය කියලා.


ගීත්මා රමිත් විවාහය සිදු වුණා කියල පහුගිය දවස්වල කතාවක් ගියා. ඒක ඇත්ත ද?‍


ඒ මගේ යාළුවෙක්ගෙ වෙඩින් ෂූට් එකේ ගනිපු ෆොටෝ වගයක් ෂෙයාර් වුණේ. ඒක වයිරල් වෙලා තිබුණා මමයි රමිතුයි විවාහ වෙලා කියලා. නෑ… නෑ… අපි තාම විවාහ වෙලා නෑ. විවාහ වෙද්දි අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා.




Previous Post Next Post