යෝජනාවකින් පටන් ගත්ත කතාව ආදර කතාවක් විදිහට වෙනස් කළේ එයා- ශාශ්වී බාලා




සුභාෂිණි බාලසුබ්‍රමනියම් ලංකාවෙන් ඉන්දියාවට යන්නේ සිය රංගන ජීවිතේ අලුත් පියවරයන් තබන්නට. එතැනදී ඇය ශාශ්වී බාලා නමින් වෙනස් වෙනවා. කොහොම නමුත් මේ වෙද්දී ශාශ්වී බාලා ඉන්දියානු සිනමා නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ අතර ශාශ්වී බාලා පසුගිය දිනෙක ලංකාවට ඇවිත් තිබුණා. ඒ ඇයගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරන්නට. ඒ ගැන වගේම ජීවිතේ ගැන  කළ සොඳුරු කතාබහයි මේ…..


ශාශ්වී කොහොමද ජීවිතේ?


ජීවිතේට විශේෂ දේවල් මේ දවස්වල ගොඩක් සිද්ධ වෙනවා. ඒ දේවල් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා.


පහුගිය කාලයේ ඉන්දියාවේනේ හිටියේ?


දැන් අවුරුදු 8ක් වගේ වෙනවා ඉන්දියාවට ගිහින්. ඒ කාලය තුළ අතරින් පතර ලංකාවට ඇවිත් ගියා. වැඩිපුරම ඉන්නේ ඉන්දියාවේ. ජීවිතේ ඉදිරි කාලයේත් ඉන්දියාවේ ඉන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.


කවදද ලංකාවට ආවේ?


ලංකාවට ඇවිත් දවස් 10ක් වගේ වෙන්නේ. ඒ ආවෙත් විශේෂ කාරණාවක් තිබ්බ නිසා.


කවදද ආයේ යන්න හිතන් ඉන්නේ?


මම අද (පෙබරවාරි 01දා) රෑට චෙන්නායි යනවා. මේ ලිපිය පළවෙද්දී මම ඉන්නේ ඉන්දියාවේ. මගේ ඉදිරි වැඩ කටයුතු ටික ඔක්කොම ඉන්දියාවේ සැලසුම් වෙලා තියෙන්නේ. ඒ නිසා මම පදිංචියට එහේ යනවා.


ලංකාවට ඇවිත් තියෙන්නේ ජීවිතේ අලුත් පිටුවක් පටන් ගන්න නේද?


ඔව්. ජීවිතේ විශේෂ ගමනක් පටන් ගන්න එහි මූලාරම්භයට තමා ලංකාවට ආවේ. ඒ මගේ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන්. මගේ ජීවිතේ දෙවැනි ආරම්භය වෙන්න පුළුවන් මේ පටන් ගත්තේ.


කොහොමද මේ ආදරේ මුණ ගැහෙන්නෙ?


හැමෝම හිතන් ඉන්නේ මේක ආදර සම්බන්ධයකින් ඇතිවුණු විවාහ ගිවිස ගැනීමක් කියලා. නමුත් ඇත්තටම මේක යෝජිත විවාහයක්. ජීවිතේ හැමෝටම ලැබීම නොලැබීම් තියෙනවා. අපි ආස දේවල් ඒ විදියටම වෙන්නේ නැහැ. අපිට ලැබෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. ඒ විදියට ආරම්භ වුණු දෙයක් මේ ආදර කතාව. අවුරුද්දක් විතර තිස්සේ මට ගෙදරින් කිව්වා විවාහ වෙන්න කියලා. අන්තිමට නැත්නම් මම තනි වෙයි කියලා ගෙදර අය කිව්වා. හැබැයි මම ඒත් කිව්වා මම බබෙක් අරන් හදාගන්නම් කියලා. ඒ දේවල් වලට ගෙදරින් යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. අන්තිමට එයාලා මට විවාහ යෝජනා අරන් ආවා. මගේ අයියාගේ මාර්ගයෙන් ලැබුණු යෝජනාවක් මත තමයි මගේ ඉදිරි ගමන පටන් ගත්තේ.


ඔහුත් ඉන්දියාවේ කෙනෙක්, ඔහු ගැන කිව්වොත්?


ඔව්. එයාගේ නම බිබින් චන්ද්‍රා. එයා ඉපදිලා තියෙන්නේ කේරළයේ වයනාඩුවල. ඔහු මලයාලම් කෙනෙක්. දැන් එයා පදිංචි වෙලා ඉන්නේ ඉන්දියාවේ බැංගලෝර්වල. එයා IT බිස්නස් වෙන කම්පැනි එකක ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදියට සහ ඒ ආයතනයේම සාමාන්‍යාධිකාරිවරයෙක් විදියට වැඩ කරනවා. මම හිතන්නේ මගේ සෝල් මේට් එයා වෙන්න ඇති.


ශාශ්වීට ඔහුව දැනුණේ කොහොමද?


යෝජනාවකින් පටන් ගත්ත මේ කතාව අද වෙද්දී ආදර කතාවක් විදියට වෙනස් කළේ එයා. මොකද වෙඩින් එකක් ගැන ආසාවක් නොතිබුණු කාලයක මට මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න හේතු වුණේ බිබින්. මගේ අයියාගේ මාර්ගයෙන් යෝජනාව ඇවිත් කාලයක් යනකම් අපි ෆෝන් එකෙන් විතරයි කතා කළේ. එයා ඉන්නේ බැංගලෝර්වල මම හිටියේ චෙන්නායිවල. එයා මාව මුණගැහෙන්න එනකොටම එයා තීරණය කරලා ඉවරයිලු එයා මැරි කරන්නේ මාව කියලා. හැබැයි මම තීරණයක් අරන් තිබ්බේ නැහැ. මුලින්ම අපි කැෆේ එකක හමුවෙලා ඊට පස්සේ දවසේ සාරියක් ඇඳන් එන්න කියලා අපි කෝවිලකට ගියා. ඇත්තටම ඒ හමුවීමත් ෆිල්ම් එකක් වගේ. පළවෙනි දවසෙම මට හිතුණා එයාට කැමති වෙනවා කියලා. දෙවැනි දවසේ කෝවිලට එන්න කියලා කෝවිලේදී තමයි මට රින්ග් එකක් දාලා අපි දෙන්නා විවාහ වෙමු කියලා කිව්වේ. මම කැමති වුණා. එතැනදී තමයි යෝජිත විවාහය ආදරයකට පෙරළුණේ.


ජීවිතේ ඉදිරි ගමනට හොඳම සහකරු විදියට ඔහුව තෝරා ගන්න හේතු වුණේ මොනවද?


මම ඔහුගෙන් ආදරේ ආරක්ෂාව සහ තේරුම් ගැනීම කියන මේ හැමදේම දැක්කා. ඒ නිසා මගේ ජීවිතේ සහකාරයා විදියට තෝරා ගත්තා. ඒ තෝරා ගැනීම ගැන අද මම සතුටු වෙනවා. සමහර වෙලාවට එයා මගේ හස්බන්ඩ් කියන තැනටත් වඩා මගේ හොඳ යාළුවෙක් වෙලා තියෙනවා. එයා ගොඩක් නිවුණු කෙනෙක්. මට හැමදාම ඕනේ වුණේ මගේ අයියා වගේම මාව තේරුම් ගත්ත කෙනෙක්ව විවාහ කර ගන්න. මම දකිනවා මගේ අයියා එයාගේ වයිෆ් එක්ක දරුවන් එක්ක සතුටින් ජීවිතේ බෙදා ගන්න විදිය. ඒ නිසාම අක්කි කොයිතරම් නම් සතුටින් ද කියන එක මම දකිනවා. ඒ නිසාම මම හිතුවා අයියා වගේ කෙනෙක් නම් හොඳයි කියලා. ඒ අයියා සතු ගුණාංග මම බිබින්ගෙන් දැක්කා. මම ඉන්න විදියට, මම අඳින විදිය මම කරන ජොබ් එක ඒ දේවල් ඒ විදියටම මෙයා භාර ගත්තා. විවාහයෙන් පස්සේ වුණත් රඟපාන්න කිසිම බාධාවක් නැහැ. එයාගේ ෆැමිලි එකත් හරිම සුන්දරයි. එයාගේ අම්මා තාත්තා වුණත් මා එක්ක ඉතාම සමීප වුණා. මම මේ විවාහයට කැමති වෙන්න මුල්ම හේතුව එයාගේ අම්මා.


විවාහ මංගල්‍යය ගන්න ඉන්නේ කොයි කාලෙද, කොහෙද?


අප්‍රේල් මාසයේ ගන්න අපි සැලසුම් කරන් ඉන්නේ. විවාහ ගිවිස ගැනීම ලංකාවේ ගත්ත නිසා විවාහ මංගල උත්සවය ඉන්දියාවේ කේරළයේ එයාලගේ සංස්කෘතියට අනුව මලයාලම් විදියට ගන්න හිතන් ඉන්නේ. එයා මලයාලම් වුණාට හින්දු කෙනෙක්. ලස්සන වෙඩින් එකක් ගන්න තමයි සැලසුම් කරන් ඉන්නේ.


ඉන්දියාවේ කොයිතරම් නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණ ද?


ඉන්දියාවේ කරපු වැඩ දෙකක් රිලීස් වෙන්න තියෙනවා. එකක් Yaar alaipadu කියන ෆිල්ම් එක. ඇක්සස් ෆිල්ම් ෆැක්ටරි එකෙන් කළේ. එහි ලංකාවෙන් ආව ලොසියා කියන කෙනත් රඟපාලා තියෙනවා. ඉතාම අභියෝගාත්මක එකක්. මම ඉන්නේ ආබාධිත තරුණියකට. ගොඩක් ආසාවෙන් කැපකිරීමෙන් කරපු ෆිල්ම් එකක්. එය අප්‍රේල්වලින් පස්සේ රිලීස් වෙන්න නියමිතයි. තව මලයාලම් ෆිල්ම් එකක් කරලා තියෙනවා. ඒකත් එන්න නියමිතයි. ඊට අමතරව මම වැඩ මුකුත් භාර ගත්තේ නැහැ. වෙඩින් එකේ වැඩවලට නිතරම ලංකාවට එන්න වෙනවා. කේරළ සහ බැංගලෝර් යන්න වෙන නිසා.


ලංකාවේ නිර්මාණවලට දායක වෙන්න ආස නැද්ද?


ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේ වැඩක් කරන්න භාර ගත්තා. යූ-ටියුබ් එකේ ජනප්‍රිය වෙලා ඉන්න ලකයි සිකයි එක්ක එයාලගේ අලුත්ම වැඩකට මම සම්බන්ධ වෙලා ඉන්නවා. මහරාජා එකෙන් තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. එහි මාධ්‍යවේදිනියකගේ චරිතයක් මට ලැබුණේ. ඒ හැරෙන්න මම සම්බන්ධ වුණා ප්‍රභාත් අයියගේ මියුසික් වීඩියෝ එකකට. ලංකාවේ ද ඉන්දියාවේද කියලා වෙනසක් නැහැ හොඳ නිර්මාණ ලැබුණොත් මම කරන්න ආසාවෙන් ඉන්නවා.



Previous Post Next Post