ඉවසීමෙන් ගිය ලස්සන ආදර කතාවක් අපට තියෙන්නෙ -චිලී තිලංක


ගායකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔහු මේ වන විට රංගන ශිල්පියකුගේ භූමිකාව දක්ෂ අයුරින් රඟ දක්වයි. මේක පුදුම කතාවක් සිනමාපටය සේම මේ දිනවල තිරගත වන රයිඩර් එය තවදුරටත් තහවුරු කරයි. ඔහුගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ටියුලිප් මල් කැකුළී ගීතය යැයි සිතෙන්නේ එය ඔහු වෙත ගෙනා ජනප්‍රියත්වය නිසාවෙනි. මෙම ගීත ජනප්‍රිය වන්නට එක් හේතුවක් වූයේ ඔහු ගීතවලට එක් කළ මනරම් රංගනය යැයි කිව හැකිය. ගැයුමෙන් නැටුමෙන් ප්‍රේක්ෂකයා තම වසඟයට ගත් චිලී තිලංක නම් ගායකයා යටපත් කරමින් ඔහු තුළ සැඟව සිටි රංගන ශිල්පියා ඉස්මතු වී ඇතැයි විටෙක සිතේ. සිය රංගන, ගායනය දිවිය ගැන ඔහු අප හා කළ කතාබහයි මේ.


කලක් තාරුණ්‍යය වසඟයට ගත් චිලී තිලංක කියන ගායකයට මොකද වුණේ?


රංගන කටයුතු නිසා මේ දවස්වල ගායකයා පොඩ්ඩක් විතර යටපත් වෙලා මිසක් අතහැරල නෙවෙයි. ප්‍රේක්ෂකයන් මාව හඳුනාගන්නෙත් ගායකයෙක් විදිහට. දිගටම රංගනයට ලැබුණු අවස්ථා නිසා ගායකයා නිහඬවම ඉදිරි සැලසුම් කළා මිසක් ගායනය අමතක කළේ නැහැ. ඉතාම නුදුරේදී ලොකු වෙනසක් එක්ක මම ගායකයකු විදිහට නැවතත් කරළියට එනවා.


ඔබ ක්ෂේත්‍රයට ඇවිත් වසර පහළොවක් වෙනවා. ඒත් ඔබ දායක වෙලා තියෙන්නෙ නිර්මාණ අතළොස්සකට විතරයි. ඒකට හේතුව?


මං කොහොමත් ළඟ ළඟ නිර්මාණ කරන්නෙ නැහැ. අවුරුද්දකට එකක් හෝ දෙකක් වගේ තමයි නිර්මාණ කරන්නෙ. රංගනයට වැඩිපුර යොමුවෙන්න වුණු නිසා ගායනය ටිකක් අතපසු වුණා. ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තෙ ටියුලිප් මල් කැකුළී ගීතයෙන්. ඒ වගේම ලා රෝස, හීන තටාකයට, ඔබගෙන් තරම් ඇතුළු ගීත ගණනාවක්ම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ගී ජනප්‍රිය වෙන්න මගේ රංගනයත් ඒකට හේතුවක් වෙන්න ඇති. මං දන්න තරමින් ඒ වෙද්දි කවුරුවත් ගීතවලට පෆෝම් කරල තිබුණෙ නෑ. මුලින්ම ඒ වගේ දෙයක් කළේ මං වෙන්න ඇති. මම සාමාන්‍යයෙන් ගීත එකක් දෙකක් වගේ තමයි අවුරුද්දකට එළියට දාන්නෙ. ගීත සංඛ්‍යාව අඩු වුණාට ප්‍රේක්ෂක ආදරයේ අඩුවක් වෙලා නෑ.


එතකොට ඔබ රංගනයට යොමු වෙන්නෙ?


ගීත ජනප්‍රිය වෙමින් තිබුණු කාලෙමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නෙ. මුලින්ම සම්බන්ධ වුණේ ස්වර්ණවාහිනියේ විකාශය වුණු ආසයි මං පියාඹන්න ටෙලි නිර්මාණයට. ටෙලි නිර්මාණ පහකට වගේ දායක වෙලා තියෙනවා. ගායකයකු විදිහට කාර්යබහුල වුණු නිසා සමහර නිර්මාණ මඟහැරුණා. මෑතකදි සම්බන්ධ වුණේ සුරාජ් මාපාගේ නොනිමි නාට්‍යයට. ඉදිරියෙදි රංගනයයි ගායනයයි දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.


සිනමාවට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ඔබේ උස විලන් කැරැක් ටර්වලට ගැළපෙන නිසාද?


එහෙමම කොටුවෙලා නැහැ. මං අඩි හයයි අඟල් හතරක් උසයි. සමහරු කියනවා මං ගැළපෙන්නෙ ඇක්ෂන් ෆිල්ම්වලට කියලත්. මේ දවස්වල තිරගත වෙන රයිඩර් සිනමා පටයේ මං කරන්නෙ විලන් කැරැක්ටර් එකක්. විලන් කිවුවට අවසානයේ තමයි ඒක විලන් බව තේරෙන්නෙ. මේක පුදුම කතාවක් එකේ මං ගෙවල්වල වැඩට තියාගන්න පොඩි ළමයි ගැන ඉන්වෙස්ටිගේට් කරන පොලිස් නිලධාරියෙක්. මේ දවස්වල ඉන්දියාවේ ලයිකා ප්‍රොඩක්ෂන් සමාගමෙන් කෙරෙන ජයන්ත චන්ද්‍රසිරිගේ දේවී කුසුමාසන සිනමාපටයේ වෙනස්ම චරිතයකින් එන්න සූදානම් වෙනවා. රන්මිණිතැන්නෙ ඒකෙ ෂූටින් කෙරීගෙන යනවා. තවත් සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. චරිතය ප්‍රධාන ද නැද්ද කියන එක නෙවෙයි මට යමක් කරන්න පුළුවන් ද කියන එක විතරයි මට වැදගත්. මං කැමති චරිතාංග නළුවෙක් වෙන්න. මට හිතෙනව තාමත් මගේ ඇඟේ තියෙන දේ කවුරුවත් එළියට ගත්තෙ නෑ කියලා. අවස්ථා ලැබෙනව නම් මට පුළුවන් සිනමාව වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න.


චිලී කියන්නෙ ‘මල්ටි ටැලන්ට් කොල්ලෙක්‘ කියල සමහරු කියන කතාවෙ ඇත්තක් තියේද?


මටත් හිතෙනවා මට හැම හැකියාවක්ම වගේ පිහිටල තියෙනව කියලා. ඉස්කෝලෙ කාලෙ ඉඳන් ක්‍රීඩාවට දක්ෂතාවක් තිබුණා. ගායන හැකියාවෙන් ක්ෂේත්‍රයට ආවට රංගනයත් ඇඟේ තිබුණ නිසා වෙන්න ඇති මට රංගනයට ආරාධනා ලැබුණේ. ඊට අමතරව මං ජනප්‍රිය නාළිකාවල නිවේදකයෙක් විදිහටත් කටයුතු කළා. ඒ වගේම නර්තන තරගවලට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණේ ඒ හැකියාවත් තිබුණ නිසා. එහෙම බලද්දි ඒ කීමට එකඟ වෙන්න වෙනවා.


යාළුවො ආදරේට දාපු නම නේද අන්තිමට රෙජිස්ටර් වුණේ? ඒ ගැන මොකද හිතෙන්නෙ?


ඉස්කෝලෙ යන කාලෙ ගොඩක්ම මං ක්‍රීඩාවට යොමුවෙලා හිටිය නිසා යාළුවො ආදරේට මට කිවුවෙ චිලී කියලා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ ක්ෂේත්‍රයේ අයට මාව හඳුන්වල දුන්නෙත් චිලී කියලා. කොහොමහරි ඒක අතෑරගන්න බැරි වුණා. ඒකම ඉදිරියට ගෙනාවා.


ඔබ දිගු කාලීන ආදරයක් ජයගත් ආදරවන්තයෙක්. ඒ අතීතයත් සිහිපත් කළොත්?


ඔව්. දැන් එයා මගේ බිරිය වෙලත් වසර තුනක්. අපිට බබාල දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 14ක් ආදරේ කරලා අපි විවාහ වුණේ. එයාගෙ නම රීනි ඉමාෂා. එයා රූපලාවණ්‍ය ශිල්පිනියක්. ගායකයෙක් විදිහට මං ක්ෂේත්‍රයට ආව දවස්වලමයි එයා මගේ ගීතවලට ආස වෙලා හඳුනගත්තෙ. ඒ දවස්වල එයා හිටියෙ විදෙස් රටක. ලංකාවට ආපු වෙලාවක අපි හමුවෙලා ඒ දැනහැඳුනුම්කම ආදරයකට පෙරළුණා. ජයග්‍රහණ වගේම කඩාවැටීම් හමුවේත් එයාට පුදුම ඉවසීමක් තිබුණා. විවාහයකට යන්න පුළුවන් කියන තැන හිටිද්දිත් මගේ කාර්යබහුලත්වය නිසා ඒක ටික ටික ප්‍රමාද වුණා. ඒ හැමදේම දරාගෙන විදෙස් රැකියාව අතෑරල එයා මගේ ළඟට ආවා. ජය පැරදුම්, කඩාවැටීම් හමුවේ ඉවසීමෙන් ගිය හරි ලස්සන ආදර කතාවක් අපිට තියෙන්නේ.




Previous Post Next Post