හොඳ කෙනෙක් ලැබුණොත් විතරයි මං විවාහ වෙන්නේ -පියුමි බොතේජු



එදා දෙදහස් එක (2001) වසරේ දී ලක්හඩ අයි.ටී.එන්. (ධ්.ඊ.ව්.) අවුරුදු කුමරිය වැඩසටහන ඇයගේ ජීවිතයට වාසනාව ගෙනාවාය. එයින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමෙන් පසුව ඇයට රංගනය සදහා අවස්ථාව උදාවූවාය. එහිදී රංගනයෙන් දායක වීමට ලැබුණු ප්‍රථම නිර්මාණය වන ‘නෝනාවරුනි මහත්වරුනි’ එය විකාශය නොවුණද ඇය කිසිසේත් එයින් සැලුනේ නැත. ඉදිරියෙන් ඉදිරියටම යන දිරිමත් යෞවනියක් ලෙසින් තම ශක්තීන් උපරිමයෙන් රංගන දිවිය මෙන්ම තම සැබෑ ජීවිතයද ගොඩ නගාගෙන අද වන විට යම් ස්ථාවර තැනකට පැමිණ ඇත. උපතින්ම හොද සිංහල බෞද්ධ පසුබිමක් ඇති ඇ ආගම දහමට ළැදි සාර්ථක දිවියක් ගෙවයි. මා ඇයව මේ කතා බහට සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අවස්ථා කිහිපයකදීම ඇය තමා පදිංචි ප්‍රදේශයේ විහාරස්ථානයේ කඨින පිංකම මුළුමනින්ම භාරගෙන එහි වැඩකටයුතුවල කාර්ය බහුලව නිරත වූවාය. අවසානයේ ඒ කටයුතු නිමාවීමෙන් දින දෙක තුනකට (2-3) කට පසුව මෙලෙස අප හා කතා බහට මුලපිරුවාය. මේ දිනවල සිරස ටී.වි. ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 8.30ට යන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වින්ද්‍යා සහ හිරු ටී.වී. (හිරු රූපවාහිනී නාලිකාව) ඔස්සේ රාත්‍රී 7.30ට විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ලලිතා නම් ඉංග්‍රීසි ගුරුවරියගේ චරිතයෙන් ද, එමෙන්ම හිරු නාලිකාවෙන්ම සතියේ දිනවල සවස 6.30ට විකාශය වන ඕකේ බොස් ටෙලි නාට්‍යයේ ප්‍රහසන රංගනයකින්ද ඇය අපේ ආලින්දයට ගොඩවන්නීය. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුය.


ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල් වෙනවද?


අවුරුදු විස්සක් (20) වෙනවා


පියුමි රංගනයෙන් දායක වුණු ප්‍රථම නිර්මාණය මොකක්ද ?


නෝනාවරුනි මහත්වරුනි කියන ටෙලි නාට්‍යයේ ඒත් ඒක විකාශය වුණේ නෑ. මම රගපාපු කොටසේ.


ඊට පස්සේ,


ඔව් මට ඊට පස්සේ විකට් කියලා ඩ්‍රාමා එකක රගපාන්න අවස්ථාව ලැබෙනවා.


ඒ කොයි කාලේ වගේද?


දෙදහස් හතර(2004)/ දෙදහස් පහ වගේ (2005) වගේ කාලේ.


මේ දක්වා පියුමි රංගනයෙන් දායක වුණු නිර්මාණ ගණන කියන්න පුළුවන්ද?


ටෙලි නාට්‍ය නම් සියයක (100) විතර චිත්‍රපට හයක (06) වේදිකා නාට්‍ය නම් පහක (05) යනාදී වශයෙන් මම රංගනයෙන් දායකවෙලා තියෙනවා.


රඟපෑ චරිත අතරින් ඔබේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ?


ස්වාධීන රූපවාහිනියේ (ITN)) ගියපු "පබා" ටෙලි නාට්‍යයේ හිමාලි කියන චරිතය අහම්බෙන් තමා මට ඒ අවස්ථාව ලැබෙන්නේ.ඒක මතක හිටින චරිතයක් බවට පත්වුණා. මං හිතන්නේ හිමාලි චරිතයද ඇතුළුව මම කරපු සියලු චරිත ඉතා සාර්ථකව කරන්න ලැබීම දෙවියෝ මට දීලා තියෙන තෑග්ගක් ලෙස තමයි මම දකින්නේ පබා ටෙලි නාට්‍යයේ කොටස් පන්සිය පනස් දෙකකින් (552) අවසන් වුණා. ඒකේ පනස් දෙවැනි කොටසේ ඉදලා තමා මගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණේ. ඒ චරිතය අමතක වෙන්නේ නම් නැ ප්‍රේක්ෂකයින්ට අදටත්. පබා ටෙලි නාට්‍යයේ ඒ හිමාලි නම් මේ චරිතය ගැන අදටත් ගොඩක් දෙනා කතා කරනවා ඒ චරිතය මට අසීමිත ජනප්‍රියත්වයක් ළගාකර දුන්නා.


පියුමි ඔයා මෙතෙක් විවිධ නිර්මාණවල රගපැ චරිත දිහා බලද්දි හිතෙන්නෙ නැද්ද ඉදිරි නිර්මාණයක මට මෙන්න මේ විදිහේ චරිත‍යක් කරන්න ලැබුණොත් හොදයි කියලා වගේ.


එහෙම කියලා නෑ මට ඒ ලැබුණු විවිධ චරිත දිහා බලනකොට ඒක මට හරියනවද ඒ තුළින් මට යමක් කරන්න පුළුවන්ද කියලා තීරණයකට ඇවිත් වැඩේ කරන්න භාර ගන්නවා. මං හිතන්නේ මට දෙවියෝ ඒ විදියට තමා වැඩ කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ.


ඔබේ කතා බහේදී දෙවියන් ගැන වැඩියෙන් කිව්වා. පියුමි දෙවියන් පිළිබදව ලොකු විශ්වාසයකින් කටයුතු කරන කෙනෙක්ද?


ඒක මගේ පෞද්ගලික දෙයක්, මම බුදුන්, දෙවියන් හොඳට අදහනවා ඒ පිළිබද දැඩි විශ්වාසයකින් පසු වෙනවා.


මේ දවස්වල පියුමිව අපිට දකින්න ලැබෙන්නේ?


සිරස රූපවාහිනියෙන් රාත්‍රී 8.30ට යන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වින්ද්‍යා චරිතයෙන් හා හිරු රූපවාහිනියෙන් රාත්‍රී 7.30ට යන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ඉංග්‍රීසි ටීචර් ලලිතා තවත් විදියකින් කිවොත් අපේ ටීචර් චරිතයෙන් ද, හිරු නාලිකාවෙන්ම සතියේ දිනවල සවස 6.30ට යන ඕකේ බොස් ටෙලි නාට්‍යයෙන්ද ප්‍රේක්ෂකයින් අතරට එනවා.


මේ නිර්මාණවල රඟපාන්න ඔබට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද ?


කියා දෙන්න ආදරේ තරම් එකේ ඩිරෙක්ටර් අධ්‍යක්ෂධනුෂ්ක ඒ වගේම වසන්ත/මහේෂ් යන අයියලා තුන්දෙනාම මට කතා කරනවා ඊට පස්සේ ඒ අය කිව්වා මෙන්න මේ විදිහේ චරිතයක් කරන්න තියෙන්නේ කියලා. මම ඔවුන්ව හමුවෙන්න ගියාට පස්සේ ඩිරෙක්ටර් ධනුෂ්ක අයියා ලොකුවට මේ චරිතය ගැන විග්‍රහ කරලා කරුණු කියා දුන්නා.අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ඉංග්‍රීසි ටීචර්ගේ චරිතයට ඒ සෙට් එකේ අය මගේ නම යෝජනා කරලා තිබුණා. පස්සේ මෙ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂ ඉත්තෑපාන මහත්තයත් මාව යෝජනා කරලා තියෙනවා. මේ චරිතයට හරියන්නේ පියුමි බොතේජු තමයි කියලා. මේකේ ලලිතා නම් ඉංග්‍රීසි ටීචර්ගේ චරිතය හරිම ජනප්‍රියයි. අපේ ටීචර් කියලා තමයි හැමෝම කියන්නේ දැන් සුදත් දේවප්‍රිය අයියා තමා ඒකේ සහය අධ්‍යක්ෂක ඒයා මේ චරිතය ගැන මට කරුණු පෙන්වලා දෙනවා.


ඔබ මීට පෙර ගුරුවරියකගේ චරිතයක් රගපාලා නැද්ද?


තියෙනවා. ඒත් ප්‍රහසනයත් එක්ක යන මේ වගේ ගුරුවරියකගේ චරිතයක් මං කරලා තිබුණේ නෑ. මේ නාට්‍ය බලන අය දන්නවා ඒක. මට හරිම සතුටුයි මේ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර වලට අනික තමයි ළමයි එක්ක එකතු වෙලා මේ වැඩේ කරගෙන යන එක ගැනත් මම පුදුම විදිහේ සතුටක් ලබනවා.


පියුමි ප්‍රහසන චරිතවලටම කොටුවෙලා වගේ කියලා හිතෙන්නේ නැද්ද?


ඒක මේ ක්ෂේත්‍රයේ හැටියක්නේ යම් විදිහක චරිතයක් කළාම ඒ කෙනාට දිගටම ඒ වගේ චරිත කරන්නම තමා කතා කරන්නේ එහෙම කළාට මටත් ඕනෑම විදිහෙ චරිත රගපාන්න පුළුවන්.


ඉදිරියට පියුමිව දැකගත හැකි විකාශය වීමට නියමිත නිර්මාණ මොනවා හරි තියෙනවද?


ඔව්. මට කවීතා කියලා බුද්ධිනි ජයවර්ධන මහත්මියගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉදිරියේදී එය විකාශය වීමට නියමිතයි.


මේ දිනවල පියුමි අපිට චිත්‍රපටයෙකුනුත් දකින්න ලැබෙනවා නේද?


ඔව්. ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ කතුරු මිතුරු චිත්‍රපටයෙන් මේ වෙනකොට ඒ චිත්‍රපටය දින සියය (100) ඉක්මවලා ප්‍රදර්ශනය වෙනවා. මම ඒකේ පොඩි දර්ශනයකට තමා පෙනී සිටියේ. කොහොම වුණත් ගිරිරාජ් අයියා මේකට ප්‍රොෆෙෂනල් (Professional)  පිරිසක් තමා තෝරගෙන තිබුණේ ඔහු ඇත්තටම දක්ෂයෙක්.


පියුමිගේ වයස කියන්න පුළුවන්ද?


සාමාන්‍යයෙන් නිළියක් වයස කියන්නේ නෑනේ.


විවාහකද?


නෑ.


පෙම්වතෙක් ඉන්නවද?


ඒත් නෑ.


ඇයි තවමත් ඒකට ප්‍රමාද?


අද අපිට සමාජය දිහා බැලුවාම අපි හිතන විදිහේ අය නොවෙයි ඉන්නේ. ඒ අයගේ සැබෑ තත්ත්වය පසුව තමයි දකින්න ලැබෙන්නේ. අපිට අවබෝධ වෙන්නෙත්. සල්ලිවලට ජනප්‍රියත්වයට අවස්ථාවාදි ලෙස කටයුතු කරන ඒ දේවල්වලට ආදරය කරන අය තමා අද වැඩි හරියක් ඉන්නේ. එහෙම වුණාම මං ඒ වගේ අයට කැමති නෑ. ආදරයට අවංකව ආදරය කරන කෙනෙක්ට මම කැමතියි. ඉතින් මට ගෙදරින් අම්මාගේ ආදරය ලැබෙනවා. ඉතින් මම සතුටින් ඒ ආදරය ලබමින් ජීවත්වෙනවා.


පියුමි කලකිරීමෙන් වගේ කතා කරන්නේ?


ඒ විදිහේ දේවල් වුණාම කවුද කලකිරෙන්නෙ නැතුව ඉන්නේ කියලා හිතන්නකෝ.


කවදා වගේද පියුමිගේ විවාහය සිදු වෙන්නේ?


ඒක කියන්න අමාරුයි බලමු දෛයිවය අනුව ඒක සිදුවෙයි මට හොඳ කෙනෙක් ලැබුණොත්. එහෙම නොවුණොත් අම්මා ඇතුළුව ගෙදර අයගේ ආදරය ලබමින් මං මේ විදිහටම ඉදිවි.


අවසාන වශයෙන් මෙතෙක් කලාවේ පියුමි ආ ගමන් මඟ දෙස ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?


මට මේ කලාව හරහා ලැබුණු දේවල් බොහොමයි.අසීමිත ජනප්‍රියත්වය මිනිසුන් සියලු දෙනාගේ ආදරය මේ රටේදි නෙවෙයි පිටරටකට ගියා වුණත් මේ පියුමි බොතේජු නේද කියලා අඳුරගෙන මගෙන් අහනකොට මාත් එක්ක කතා කරනකොට හරිම සතුටුයි මට හරිම ආස හිතෙනවා එහෙම. තව දෙයක් තියෙනවා මේ වගේ අපි කරන දේවල් ගැන මාධ්‍යවල යනවා අඩුයි. මං මීට දින ගණනාවකට පෙර ඉදලා මට අයිති පන්සලේ කඨින පින්කම වෙනුවෙන් සම්පූර්ණයෙන්ම මං මගේ කාලය, ශ්‍රමය, මුදල් වියදම් කරලා මුළුමනින්ම භාර අරගෙන ඒ පින්කම මට හැකි උපරිමයෙන් සිදු කළා. සමහර මගේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අය මං මේ වගේ දෙයක් කරනවා කිව්වාම "උඹට පිස්සුද බන් ඔය සල්ලි වියදම් කරලා පිට රටක ටුවර් එකක් ගිහින් හොදට කාලා බීලා සතුටු වෙලා වරෙන් කීවා". නමුත් මමනෙ දන්නේ මේ පින්කමේ ආනිසංසය. ඒ අවබෝධයත් එක්ක මම මගේ දෙමව්පියන් වෙනුවෙන් තමා මම මේක කළේ. මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් වගේ වෙනවා එයාට ඒ වෙනුවෙන් මං පිංකමකුත් කළා. මම මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ පිළිමයක් හදලා පින්කමට අමතරව ඒකත් පූජා කලා තාත්තා වෙනුවෙන්. ඒකට ලක්ෂ තුනක් විතර ගියා.ඊට පස්සේ තමා මේ කඨින පිංකම කරන්න මං භාර ගත්තේ. ඒ දැන් ජීවතුන් අතර මාත් එක්කම ඉන්න මගේ අම්මා වෙනුවෙන් තමා මේ කඨින පින්කම සිද්ධ කළේ. ඒ පින්කම තුළින් මමත් අම්මත් ගොඩක් ලොකු සතුටක් ලැබුවා. මටත් ගොඩක් සතුටුයි ඇය (මගේ මව) ජීවතුන් අතර ඉන්න කාලය තුළදීම ඒ වගේ දෙයක් කරන්න ලැබීම ගැනත්.




Previous Post Next Post