දැන් නළුවෙක් වුණාට පටන් ගත්තෙ සින්දුවෙන්-සුගත් ජනක




පුරා වසර විසි පහකට අධික කාලයක් ටෙලි නාට්‍ය එකසිය පනහකට එමෙන්ම චිත‍්‍රපට පනහකට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දී ඇති ඔහු මේ දිනවල විකාශය වන මේකපුදුම කතාවක් චිත්‍රපටය හරහාද ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන්නට සමර්ථ වී තිබෙනවා. මේ සොඳුරු කතාබහ ඒ ආදරණීය කලාකරුවා සමඟයි. ඔහු නමින් සුගත් ජනක.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දිනවල මම රංගනයෙන් දායක වුණ චිත්‍රපට දෙකක විකාශන කටයුතු සිද්ධ වෙනවා. එකක් ශ්‍රි වික්‍රමරාජසිංහ රජුගේ කතාව ඇසුරින් නිර්මාණය වූවක්. අනිත් චිත්‍රපටය මේක පුදුම කතාවක් නමින් තමයි මේ දිනවල ප්‍රදර්ශන කටයුතු සිදු වෙන්නේ. ඉතිං ඒ කටයුතුත් සමඟ මේ දිනවල සතුටින් ජීවිතේ ගත වෙනවා.


ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප‍්‍රතිචාර ගැන කතා කළොත් ?


එදා වගේම අදටත් මට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. විශේෂයෙන්ම මේ චිත්‍රපට දෙකට ලැබෙන ප‍්‍රතිචාර ගැන කතා කළොත් ඇත්තටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වන විටත් ලැබෙමින් පවතිනවා කිවුවොත් මම නිවැරදියි.


ඔබ චරිත තෝරා ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කරනවද?


මම පාසල් අවියේදී තමයි රංගන ක්ෂේත්‍රයට ප‍්‍රවේශ වෙන්නේ. මුල් කාලීනව නම් මම චරිත තෝරා ගැනීමක් සිද්ධ කළේ නෑ. නමුත් දුෂ්ඨයාගේ චරිතය පසුකාලීනව මම ප්‍රතික්ෂේ‍ප කළා. ඒකට හේතුව මම එක රාමුවකට කොටු වෙන්න කැමති රංගන ශිල්පියෙක් නෙමෙයි.


සුගත් ඔබ රංගන ශිල්පියෙක් නොවුණා නම් ඔබේ වෘත්තිය කුමක් වේවිද?


මම පාසල් අවධියේදීත් රංගන ශිල්පියෙක් වීමට සිහින දැක්ක කෙනෙක්. මුල් කාලීනව මම පාසල තුළ ජනප්‍රිය වුණේ ගායන අංශයෙන්. අදටත් පාසලේ යාළුවෝ සහ මගේ ගමේ ගොඩක් අය මට කතා කරන්නේ ජෝති කියලා. පාසල් වේදිකාවේ ජෝතිපාල මහත්මයාගේ ගීතයක් ගායනා කළ නිසා තමයි මට මුල් කාලයේ මේ ජෝති කියන නම ලැබෙන්නේ. පුංචි කාෙල් ඉදන්ම කලාවට තිබ්බේ ලොකු කැමැත්තක්. ඒ නිසාම මම අනිවාර්යයෙන්ම වෙනත් වෘත්තියකට නොයා මේ ක්ෂේත්‍රය මගේ වෘත්තිය විදියට තෝරා ගනීවි.


2019 වසරේ ඔබ ඉන්දියානු සිනමා නිර්මාණයක් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙනවා අපි ඒ ගැන මතක් කරමු?


ඉන්දියාවේ නිර්මාණය වුණ බොම්බේ වෙල්වට් සිනමා පටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් 2019 ලංකාවේ පැවැත්වුණු වර්ල්ඩ් අවෝඩ්ස් අයිකන් 2019 සම්මාන උලෙළේදී මගේ රංගනය වෙනුවෙන් සම්මානයක් ලබා ගන්න අවස්ථාව ලැබුණා.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?


බොඳවූ සිහිනය නමින් මම ප‍්‍රධාන චරිතයෙන් දායකවන චිත්‍රපටයක් ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. ඒ වගේම මේ වෙනකොට මගේම ගීත දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියේදී මගේම තවත් ගීත නිර්මාණ හරහාත් සංගී ප්‍රසංග, ඒ වගේම රංගනය හරහාත් මගේ ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දසුනි වත්සලා වික‍්‍රමසිංහ





Previous Post Next Post