ඒක ඉවර වෙලත් අපි තුන්දෙනා එකට බදාගෙන ඇඬුවා - සුධීක්ෂා සමාධි



සුධීක්ෂා සමාධි කියනවාටත් වඩා රෙහානා යැයි කීම කාලෝචිත යැයි හැඟුණ ඇසිල්ලේම ඒ සිතුවිල්ල ද වෙනස් වී ගියේ පසුගියදා තිරගත වුණු විලන් සිනමාපටය නැරඹීමෙනි. කටකාර, දඟකාර ගතිපැවතුම්වලින් හෙබි සමාධි එසේත් නැතහොත් රෙහානා ඉන් ඔබ්බට යමින් විලන් හරහා ප්‍රේක්ෂක මිනුම් දර්ශකය වෙනමම දිශානතියක් කරා ගෙන යන්නට සමත් වී තිබිණ. මේ සමාධිම දැයි හිතෙන තරමටම ප්‍රේක්ෂකයා අතරමං කරන රංගනයක් ඇගෙන් උකහා ගන්නට විලන්හි නිර්මාණකරුවන් වන කැලුම් ආර්යන් සහ ලස්සන ජයසේකර සමත් වී ඇත. කුලුඳුල් සිනමා අත්දැකීම උදෙසා ලැබෙන ප්‍රේක්ෂක මනාපයේ ආස්වාදය විඳින සමාධී අප හා එක්වූවාය.


“විලන් කියන්නෙ මගේ පළමු සිනමා අත්දැකීම. ඒ කාල සීමාව හරිම ආදරණීයව වෙනස්ම විදිහට ගෙවුණු කාලයක්. විලන් මගේ කලා ජීවිතයේ ලොකු මතක සටහනක් වේවි. හැමදේම ඉගෙන ගනිමින් ගිය ගමනක් නිසා ඒක මට ගොඩක් වටිනවා. සිනමාව තුළ ප්‍රේක්ෂකයා අපිව දකින්නෙ පුළුල් තිරය මත නිසා සිනමාව තුළ අපිට බොරු කරන්න බෑ . ඒක යථාර්ථවාදී වෙන්න ඕන. එතකොට තමයි ප්‍රේක්ෂකයා අපට ආදරේ කරන්නෙ. දැන් ප්‍රේක්ෂකයා බුද්ධිමත්. ඔවුන් තෝරනවා මේ ඇක්ට් එක මදි, මේක මෙහෙම වෙන්න ඕන කියලා ඔවුන් නිගමනය කරනවා. මට මගේ මුල්ම සිනමා අත්දැකීම ඇත්තටම අභියෝගයක් වුණා.


විලන් සිනමාපටයේ රශ්මි කියන්නේ හාස්‍ය, සිනහව, දුක, තරහව මේ හැමදේම සමානුපාතිකව නිරූපණය කරන්න තිබුණු චරිතයක්. ඒ වගේම මේක කාලෝචිත මාතෘකාවක් ගැන කතා කිරීමක් නිසා හැමෝම බලන්නම ඕන චිත්‍රපටයක්. දේශපානය නිසා පීඩා විඳින, ඔවුන්ගේ නිලය, බලය නිසා කාලයේ වැලි තලාවෙන් වැසී යන අනේක විධ ගැටලුවලට විලන් චිත්‍රපටය හොඳ උත්තරයක් කිවුවත් හරි. ඉහළ ‍ෙපළැන්තිය හා පහළ පෙළැන්තිය අතර පවතින සමාජ ඝට්ටනය වගේම සාමාන්‍ය පවුලක තියෙන ආදරය, සිනහව, කඳුළ ගැන හරිම ලස්සනට කතා කරන කාලෝචිත මාතෘකාවක්. විලන් චිත්‍රපටය සිනමාවේත් ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා හිතෙනවා.”


විලන් තිර පිටපත, දෙබස් හා නිෂ්පාදනය මෙන්ම ප්‍රධාන භූමිකාවට රංගන දායකත්වය සපයන්නේ ද කැලුම් ආර්යන්ය. ආදරණීය පවුලක එකම දියණිය වන රශ්මි දේශපාලන බලවතෙකුගේ සෙවණේ වැඩෙන තරුණයන් තිදෙනෙකු අතින් අතවරයට ලක්වීම හා නීතියෙන් පිහිටක් නොලත් තැන ඇයගේ එකම සොයුරා ඒ පාපතරයන්ට දඬුවම් දීමට ඉදිරිපත් වීම මෙහි අන්තර්ගතයයි.


එවන් චරිතයක් ඔස්සේ පළමු සිනමා අත්දැකීම ලැබීම අභියෝගයක් නොවේදැයි ඇසූ ප්‍රශ්නයට ඇගෙන් ලැබුණේ ඍජු පිළිතුරකි.


“මගේ පළමු සිනමා අත්දැකීම නිසා මාත් ඔය ගැන හිතුවා. මේ වගේ දේවල් කොතෙක් නම් මේ සමාජයේ වෙනවා ඇද්ද? ඒවට හරි විසඳුමක් නැතුව අසරණ වුණු මිනිස්සු කොතෙක් ඇද්ද? මේ සමාජයේම කොටසක් විදිහට අසරණ වෙලා ඉන්න ඒ වගේ චරිතයක් නිරූපණය කරන්න ලැබීමත් සමාජ මෙහෙවරක්. ඒ චරිතයේ තිබුණු බර නිසාම මං ඒ චරිතයට ආදරය කළා.”


සතුට, සිනහව, කඳුළ, වෛරය මුසුවුණු රශ්මිගේ චරිතය රූගත කිරීමේ දී බොහෝ සේ සංවේදී වූ අවස්ථාවක් ගැනත් ඇය අප හා පැවසුවා.


“එක අවස්ථාවක් තියෙනවා රශ්මි අතවරයට ලක්වෙලා අම්මගෙ ඔඩොක්කුවේ ඉඳන් අම්මයි තාත්තයි බදාගෙන අඬන දර්ශනයක්. බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාල ඒක කළේ. ඒ වෙලාවෙ ඒ චරිතය තුළ තිබුණු අසරණකම, මානුෂික හැඟීමෙන් කැකෑරෙමින් ඇවිළෙන දුක ඒ වෙලාවෙ ඇත්තටම මට දැනුණා. අපි තුන්දෙනා ග්ලිසරීන්වත් පාවිච්චි නොකරයි ඒ සීන් එක කළේ. ඒක ඉවර වෙලත් අපි තුන්දෙනා එකට බදාගෙන ඇඬුවා. ඒක කොතරම් තාත්විකව ආවද කියනව නම් අධ්‍යක්ෂවරයා පවා අසුනින් නැඟිටල අත්පුඩි ගැහුවා. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුණෙ මං ඒ තත්ත්වෙට පත්වෙලා අම්මගෙ ඔඩොක්කුවේ හිටිය නම් මට මගේ තාත්තගෙ මූණ බලන්නවත් බැරි තරම් ලැජ්ජාවක්, අපහසුතාවක් දැනේවි නේද කියන එක. ඒක තමයි මට ගොඩක්ම දැනුණ තැන.”


පුංචි තිරයේ රෙහානාට පෙම් බඳින තරුණයන් ඕනෑ තරම් ය. සුන්දර සිනහවට, රැලි ගැසුණු කොණ්ඩයට පෙම් බඳිමින් සමාධි පසුපස එන්නන්ගේ ද අඩුවක් නැතුව ඇත. ඒ ගැන විමසීමට අමතක නොකළ අපට වැටහී ගියේ ඇය ද ආදරයේ පැටලී ඇති සේයාවකි.


“මට ඕන කළේ මාව හරියට ගයිඩ් කරන, මගේ ගමනට උදවු කරන ආදරණීය කෙනෙක්. බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ විදිහට ඒක විසඳිලා තියෙනවා. මගේ තාත්ත වගේම මට ආදරේ කරන රැකවරණය දෙන කෙනෙක් එයා. මං කලාවට හරිම ආදරෙයි. පෞද්ගලික ජීවිතේට බාධාවක් නොවන විදිහට කලා කටයුතු කරගෙන යනවා කියන එක මං ආපු කාලෙම ගත්ත තීරණයක්.”


කුලුඳුල් සිනමා නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවූ මේ වසර තමාට වාසනාව ගෙන එන වසරක් වනු ඇතැයි බලාපොරොත්තු වන සමාධි තවත් සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණු බව ද පැවසුවාය. තම දෙවැනි වේදිකා නාට්‍ය අත්දැකීම ද මේ වසරේම වේදිකාගත වන බව පැවසූ ඇය නාලක විතානගේගේ නිෂ්පාදනයක් ලෙසින් බිහිවන එය බන්දුල විතානගේගේ සෙනෙහෙබර ඩොලී වේදිකා නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් බව ද පැවසුවාය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රංගනයෙන් දායක වුණු චරිතයකට පණ පෙවීමට ලැබීම වාසනාවක් ලෙස සලකන ඇය තම පළමු වේදිකා අත්දැකීම ලෙසින් පසුගිය වසරේ යෞවන සම්මාන උලෙළ මෙන්ම රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරමින් සම්මානිත වූ දුලාන් වීරසිංහගේ රැඩිකල් ප්‍රේමයක් වේදිකා නිර්මාණය ගැන ද සිහිපත් කළාය.


 



Previous Post Next Post