අහම්බයකින් හමු වුණත් ඒ තමයි මගේ ජීවිතේ හොඳම තේරීම-මහේෂී මධුශංකා




රංගන ශිල්පිණියක් හැටියට කටයුතු කරන මහේෂී මධුශංකා දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට දකින්න ලැබෙනවා. අලුත් වෙනසකින් දකින්න ලැබෙන ඇය ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගෙන. කුඩා කල දුටුව සිහිනයක් සැබෑ කර ගත් ඈ ඒ ගැන වගේම පුංචි පවුලේ තොරතුරු ගැන බෙදා ගත්තේ මෙහෙමයි


මහේෂී දැන් රඟපෑම පැත්තකින් තියලා ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙලා නේද ..?  


මට ස්වර්ණවාහිනියෙන් ආරාධනාවක් ලැබුණා ප්‍රවෘත්ති කියන්න එන්න කියලා. ස්වර්ණවාහිනියෙන් අලුත් වෙනසක් කරනවා ඒ වෙනසට මමත් නිව්ස් රීඩර් කෙනෙක් විදිහට දායක වුණා. මට ආරාධනා කළේ එහි සාමාන්‍යාධිකාරි දම්මික තෙන්නකෝන් මහතා. මම ලංකාවෙන් යන්න හිටියේ, විදෙස්ගත වෙන්න අදහස් කරමින් ඉන්න වෙලාවක තමයි කතා කළේ මගේ හස්බන්ඩ් සම්පත් කිවුවා ඒක වටිනා අවස්ථාවක්. ඒ නිසා සම්බන්ධ වෙන්න මඟ හරින්න එපා කියලා. මම හරිම ආසාවෙන් ඒ ආරාධනාව භාර ගත්තා.


රටේ ලෝකෙ තොරතුරු ජනතාවට රැගෙන යන එක හිතන තරම් ලෙහෙසි දෙයක් නෙමෙයි , නිළිකමට පළපුරුද්ද තිබ්බට නිව්ස් කියන්ණේ ඔබට වගකීමක් ..?


ලොකු වගකීමක්. ලෙහෙසි දෙයක් නෙමෙයි. මට ආරාධනා කළාම මම ටිකක් ගැස්සුනේ ඒකයි. ඒත් විශ්වාසයක් තිබ්බා මට කරන්න පුළුවන් කියල. මොකද මම ඒ විෂයට ආස නිසා. මට ඇහුණා කෙනෙක් කියනවා ලස්සනට ඇඳලා ඒසී රූම් එකේ කැරකෙන පුටුවේ ටිකක් එහාට මෙහාට වෙන්න විතරයි තියෙන්නේ නිව්ස් කියද්දි කියලා. පිටින් පෙනෙන කෙනෙකුට එහෙම හිතෙන්නේ ඇයි කියන්න දන්නෙ නැහැ. නමුත් මාධ්‍ය ආයතනයක නිව්ස් රූම් එකක් කියන්නේ පහසුවෙන් කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ වගේම නිව්ස් ටික විකාශය වෙනකල් කරන කැපකිරීම් පෙනෙන්නෙ නැහැ. ඒක ලොකු වගකීමක්. ලෙහෙසි නැහැ . මේ අවස්ථාවේදි මම චවිකා ගුණසේකර අක්කා මතක් කරන්න ඕන. ප්‍රවීණ සම්මානලාභී ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණත් ඈ නිහතමානීව මට උදවු කළා. සාරිය ලස්සනට අඳින එකේ ඉඳලා ප්‍රවෘත්ති අවසන් වෙනකල් කොහොමද කරන්නේ කියන දේ කියලා දීලා ඈ ලොකු සහායක් දැක්වූවා. ඈට බොහෝම ස්තූතියි කියනවා. ඒ වගේම මාත් එක්ක නිව්ස් රීඩ් කළේ නිමේෂ්. ඔහු මගේ අඩුපාඩුකම් පෙනෙන්න නොදී සජීවී විකාශය සාර්ථක කර ගන්න උදව් කළා. ඒ වගේම නිෂ්පාදක සංජය කුරේ, ජානකි විජේරත්න, උදාර විජේසිංහ, තුෂාරි අක්කා සහ එහි වැඩ කරමින් හිටිය සියලු ම ප්‍රවෘත්ති නිවේදකයින් ආදරෙන් මමත් කරනවා. මාව ශක්තිමත් කළාට.


ඔබත් ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න හීන මවපු කෙනෙක් ..?


ඔව්. මට අවුරුදු 19 දී තමයි ස්වර්ණවාහිනියේ දැයට කිරුළ යන්නෙ. ඒක ප්‍රවෘත්ති නිවේදනයට බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. මාත් ගියා. ඒත් අවසන් දෙන්නට තේරුණේ තිළිණි පෙරේරා හා මම. අවසානයේ ඇය තේරුණා. මට අවස්ථාව ලැබුණේ නැහැ. ඇය දැන් දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඇයත් මට සුබ පැතුවා. ඊට පස්සේ මම නිළියක් වුණා. ඒ කාලේ නළු නිළියන්ට ප්‍රවෘත්ති කියන්න බැහැ. ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණොත් වෙනත් දේ කරන්න බැහැ. ඒ නිසා මම රංගන ශිල්පිනියක් හැටියට ඉදිරියට ගියා. නිවේදනය යට ගියා. යට ගිය හීනය අවුරුදු ගාණකට පස්සේ ඉටු වුණා. ඒක වාසනාවක්


කොහොමද අලුත් වෙනසට ඔබට ලැබෙන ප්‍රතිචාර ..?


මම නිව්ස් එක ෆේස්බුක් එකේ ශෙයාර් කළා. ඒ වීඩියෝ එක හොඳටම වයිරල් වෙලා. ඒක බලලා හැමෝම කතා කළා. මම අඳුරන වෙනත් චැනල්වල වැඩ කරන නිවේදක නිවේදිකාවන් පවා කතා කරලා සුබ පැතුවා. පළපුරුද්දක් තියෙන කෙනෙක් වගේ නිව්ස් රීඩ් කළා කිවුවා. ඒ වගේම ෆේස්බුක් එකට දාපු වීඩියෝ එකට පැයක් ඇතුළත කමෙන්ට් දෙදහසක් ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් ලංකාවේ ජනතාව හොඳ නරක දෙකටම බණිනවා. නරක විදිහට කමෙන්ට් කරනවා. ඒත් මට කමෙන්ට් දෙකක් හැර ඉතුරු හැම කමෙන්ට් එකකම සුබ පතලා තිබුණේ ලස්සනට වැඩේ කළා කියලා දාලා තිබුණා. මම ඒ සතුට තවම විඳිනවා. මොකද ඒ වගේ භාරධූර කටයුත්තක් මම වගේ නිළියක් විශ්වාස කරලා දුන්න එකම වටිනවා. ඔවුන්ගේ වගකීම් හා බලාපොරොත්තු යම්තාක් දුරට හෝ ඉටු කරා කියලා ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතෙනවා


හොඳම ප්‍රතිචාරය ලැබුණේ නිවසින්ලු..?


ඔව්නේ. මගේ දරුවෝ දෙන්නා පොඩියි. පුතාගේ වයස අවුරුදු හයයි. එයා තෙනුල්. දුව කිනුලි. එයගේ වයස අවුරුදු තුනයි. එයාලට බරපතළ දේ තේරෙන්නේ නැහැ. ඒත් ගෙදර ගිය ගමන්ම සතුට ප්‍රකාශ කළා. මගේ අම්මා ඇඬුවා. ඒ වගේම මගේ සැමියා සම්පත් තමයි මට හොඳ නරක දෙකම කියන කෙනා. මම රිහසල් කරපු වීඩියෝ එයාට කලින් යැවුවම එයා කිවුවේ තාම මදි, ඔයා බයෙන් වගේ කියන්නේ තව පුරුදු වෙන්න කියලා. මම මුලින්ම නිව්ස් කිව්ව වෙලාවේ එයත් ලොකු විභාගයකට මුහුණ දෙමින් හිටියේ. එයත් ඒ විභාගෙන් පාස්. ගෙදර ආවේ පාන්දර දෙකට. ආව ගමන් සතුට ප්‍රකාශ කළා. එයා කිවුවේ බලාපොරොත්තු නොවුණටත් වඩා පළපුරුද්දක් තිබ්බ කෙනෙක් වගේ වැඩේ හොඳට කළා කියලා. එයා මට හැමදාම හයියක්. ඒ නිසයි විවාහ වෙලත් මම ආදරේ කරන කලාකටයුතු එක්ක තවම මම ඉන්නේ. මගේ සැමියා සම්පත් දිසානායක තමයි මගේ හොඳම විවේචකයා.


ඒ නිසාද මෙතුවක් කල් භාවිත කළ නම වෙනස් කරමින් ඔබේ නම අවසානයේ ඔහුගේ වාසගම භාවිත කළේ?


මගේ ආදරණීය ජනතාව මාව දන්නේ මගේ වාසගම භාවිත කළාම. ඒත් මම මුල්ම වතාවට ප්‍රසිද්ධියේ මගේ සැමියාගේ නමේ කොටසක් භාවිත කළා. මහේෂි දිසානායක කියලා. ඒක මගේ සැමියාට කරන ගෞරවයක් හැටියට.


ඔබට ඔහු දැන් සහාය දුන්නට ඔබව හඳුනා ගද්දි ඔබ නිළියක් බව ඔහු දන්නෙ නැහැ. උඩු ගුවන තමයි ඔබ දෙදෙනා ව මුණ ගස්වන්නෙ..?


මම සහ තවත් කලාකරුවන් කිහිප දෙනෙක් කොරියාවේ ටුවර් එකක් ගියා. එතකොට එයා වැඩ කළේ ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ. අපි ගිය ෆ්ලයිට් එකේ එයා කැප්ටන්. එයාර් ලයින් එකෙන් කලාකරුවන්ට හොඳින් සලකනවා. එදත් අපි ගුවන් ගමන අවසන් කරලා ගුවන් යානයේ සේවකයින් එක්ක හොඳින් කතා කළා. අපි ආසයිනේ ගුවන් යානයේ ඇතුළ බලන්න. එදා අපි එහි ඇතුළට ගියා. එතකොට තමයි සම්පත් දැක්කේ. එයා ටීවී බලන කෙනෙක් නෙමෙයි. තියෙන කාර්‍යබහුලකම එක්ක එයාලට ටීවී බලන්න වෙලාවක් නැහැ. එයා දන්නෙ නැහැ මම නිළියක් කියලා. නිකන් කතාබහ කරලා ටුවර් එක අවසන් වෙලා ගෙදර ගියා. දුරකතන අංකය හුවමාරු කර ගත්තා. හඳුනා ගද්දි මම නිළියක් කියලා එයාට ගුවන් සේවිකාවක් කිවුවා. ඒ කතාබහ දුර ගිහින් තමයි ආදරේ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ විවාහ වුණා. අහම්බයකින් හමු වුණත් ඒ තමයි මගේ ජීවිතේ හොඳම තේරීම.


ඔහු ගුවන් නියමුවෙක් විදිහට ගුවන් යානය මෙහෙය වන අවස්ථාවක ඔබත් ඔහුත් එක්ක ගුවන්ගත වෙලා තියෙනවා ද ..?


අවස්ථා කිහිපයක එයා කැප්ටන් විදිහට වැඩ කරද්දී ඒ ගුවන් යානයේ මාත් ගිහිං තියෙනවා. එයාගේ සේවා කාලය අවුරුදු 16ක්. එයා වගේ දක්ෂ කෙනෙක් බිහි කළේ ශ්‍රී ලංකා ගුවන් සේවය. දැන් සම්පත් වැඩ කරන්නේ එමිරේට්ස් ගුවන් සමාගමේ. ලංකාවෙන් එයා තමයි මුලින්ම 380 ඩිරෙක්ට් එන්ට්‍රි කැප්ටන් වුණේ. එහි සියලු ගෞරවය ශ්‍රී ලංකා එයාර් ලයින් එකට හිමි වෙන්න ඕන. සම්පත්ව ඒ මට්ටමින් වටිනා කෙනෙක් බවට පත් කළාට.


ලංකාවෙන් බිහි වූ හොඳම ගුවන් නියමුවෙකුගේ බිරියක් ඔබ..ආඩම්බර ඇති..?


මට සම්පත් දිසානායකගේ බිරිය වීම ගැන හරි ආඩම්බරයි. ඒක නිහතමානී ආඩම්බරයක් කියන්න පුළුවන්. එයත් හරිම නිහඬ හොඳ ගතිගුණ තියෙන කෙනෙක් , ඒ වගේම මහන්සියෙන් කැපවීමෙන් තවමත් විවිධ පුහුණු වීම්, විභාග කරමින් එයා මේ ගමන යන්නේ. මටත් හරි සතුටක් තියෙනවා


කටකතා කාලයක් ඔබව පීඩාවට පත් කළා, ඒවා කොහොමද ඔබේ සැමියා දරාගත්තේ..?


මට හැදුණු එකම කටකතාව රංජන් රාමනායක එක්ක තමයි. අපි දෙන්නා එක ෆිල්ම් එකක පෙම්වතුන්, ඒ කාලේ අපි යාළු වෙලා කියලා ගියා. මට වඩා අවුරුදු 25ක් විතර රංජන් අයියා වැඩිමහල් ඇති. එයා හරිම ආදරණීය විහිළු කරගෙන ඉන්න කෙනෙක්. දැන් මට වඩා මගේ සැමියා රංජන් අයියා එක්ක හිතවත්. මට කටකතා හැදෙන්නෙ නැති තරම්. එහෙම හැදුණත් සම්පත් ගණන් ගන්නෙ නැහැ. එයා ඇත්ත දන්න නිසා


කොහොමද දරුවෝ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ, ඒ වගකීම්වලින් ඉවත් වෙන්න අමාරු ඇති..?


සම්පත් කාර්‍යබහුල ජීවිතයක් ගත කරන්නේ. අපි දෙන්නා දෙපැත්තක, ඒත් මම නිතරම ඩුබායි යනවා සම්පත් බලන්න. යද්දී දුව හෝ පුතාව මාරුවෙන් මාරුවට එක්කගෙන යනවා. තවම නිශ්චිත කාලයක් නැහැ අපිත් විදෙස්ගත වෙයි. තව අවුරුද්දකින් දෙකකින් වගේ. එතකල් එයා එනවා, අපි එහේ යනවා. එහෙම තමයි පවුල් ජීවිතේ ගෙවන්නෙ. සම්පත් ආවත් මට උදවු කරනවා. වගකීම් ගොඩක්. ඒත් හරිම සතුටින් ජීවත් වෙනවා .


නිළිකම අත් හැරියද..? කතාබහ අවසන් කරන්න කලින් ඒ ගැනත් කියමු..?


මම මාස හයකින් විතර අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. මගේ වෘත්තිය රඟපෑම. ඒ නිසා රංගනය දැනට අත් හරින්නෙ නැහැ..


හර්ෂණී වීරරත්න





Previous Post Next Post