ඉස්සර මේකප් පුරවගෙන චරිත කළේ නැහැ - ගයනා සුදර්ශනි

 


මේ දිනවල විකාශය වන ජානු ටෙලි නාට්‍යයේ නාරදගේ මවගේ චරිතයට පණපොවන ගයනා සුදර්ශනි බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් වෙලා. ඒ වගේම මේ දිනවල විකාශය වන සික්ස් පැක් ටෙලි නාට්‍යයටද ඇය රංගනයෙන් දායක වනවා. වේදිකාවෙන් කලාවට පිවිසෙන ගයනා මේ වන විට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙනවා. දක්ෂ චරිතාංග නිළියක් වන ගයනා සුදර්ශනි මෙවර  අප සමඟ අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


 මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් රංගන කටයුතු කරගෙන, නව වසරේ අලුත් බලාපොරොත්තු වෙනුවෙන් කටයුතු කරන ගමන් සතුටින් කාලය ගත කරනවා.


මොනවද අලුත් වැඩකටයුතු?


මේ දිනවල ජානු ටෙලි නාට්‍යයේ සහ සික්ස් පැක් ටෙලි නාට්‍යයේ රඟපානවා.


කලකට පසුව ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


පසුගිය කාලයේ නම් මම ලංකාවේ සිටියේ නැහැ. විදේශගත වෙන්න කලින් චන්දන හේවාපතිරණ මහත්මයාගේ ටෙලි නාට්‍යයක  මගේ කොටස් කිහිපය ඉවර කළා. මම ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙලා කියලා කියන්න බැහැ. මොකද මම දායක වුණු ටෙලි නාට්‍ය පසුගිය කාලයේත් විකාශය වුණා.


කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල බොහොම ජනප්‍රිය ටෙලි නාට්‍යයන් තමයි ජානු සහ සික්ස් පැක් කියන්නේ. බොහොම තරුණ අධ්‍යක්ෂවරුන් තමයි මේ නිර්මාණ කරන්නේ. ඇත්තටම මෙවැනි ජනප්‍රිය ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න ලැබීමම සතුටක්. ඒ වගේම මට මේ ටෙලි නාට්‍ය දෙකේදී ලැබෙන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්.


ඔබ කලකට පසුව ලොක් ඩවුන් චිත්‍රපටයෙන් දක්නට ලැබෙනවා. කොහොමද ඒ ලැබුණු අත්දැකීම?


ඇත්තටම මගේ රංගන දායකත්වය ලැබුණු මෑතකදී විකාශය වූ ටෙලි නාට්‍ය තමයි ලොක්ඩවුන් කියන්නේ. නමුත් මම නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒවායින් හතරක් තවම විකාශය වුණේ නැහැ. ලොක්ඩවුන් චිත්‍රපටයේ මට ලැබෙන්නේ ආච්චි අම්මාගේ චරිතය. මේ චරිතය සාම්ප්‍රදායික රාමුවකට කොටු වුණ ආච්චි අම්මාගේ චරිතයක් නෙවෙයි. මේකත් වෙනස් චරිතයක් වගේම වෙනස්ම අත්දැකීමක්. ඒ නිසා මම ඒ චරිතය බොහොම ආසාවෙන් කළා. ඇත්තටම ලොක්ඩවුන් චිත්‍රපටය කොවිඩ් කාලයේ කළ ලස්සන වැඩක්.


දක්ෂ චරිතාංග නිළියක් වන ඔබ දැන් වේදිකාවෙන් අෑත් වෙලාද?


ඇත්තටම ඔව්. මම වේදිකාවෙන් රංගනයට ආපු කෙනෙක්. මම තරුණ සේවා සභාවේ  ජයන්ත රණවක මහත්මයාගෙන් රංගනය හැදෑරුවා. ලුම්බිනි රඟහලේදී තමයි මගේ ප්‍රථම වේදිකා නාට්‍ය වේදිකාගත වුණේ. මේ කාලයේදී මම වේදිකා නාට්‍ය විස්සකට පමණ සහභාගි වුණා. ඒ හරහා මම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. දැන්නම් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වන්නේ නැහැ.


ඔබ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස වර්තමාන කලා ක්‍ෂේත්‍රය පිළිබඳව මොකද හිතන්නේ?


අතීතයේ සිටම කලා ක්‍ෂේත්‍රය හරි ලස්සනට ගලාගෙන ආවා. ඒ කාලේ ටෙලි නාට්‍යයකට තිබුණේ කොටස් 20ක් හෝ 25ක්. කාලයත් සමඟ ටෙලි නාට්‍ය කොටස් ප්‍රමාණය වැඩි වුණා. මේ වන විට කොටස් දහස ඉක්මවූ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඇත්තටම  ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට බලන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ වගේ ටෙලි නාට්‍යවලදී නළු නිළියන් පවා ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා. මම පෞද්ගලිකව ඒ වගේ නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. මොකද ප්‍රේක්ෂකයන්ට අපිව එපා වෙනවා. ඒ වගේම එදා නිර්මාණවල චරිත


මේකප් පුරවගෙන කරපු චරිත නෙවෙයි. ඒ නිසා ඒ චරිතත් ප්‍රේක්ෂකයන්ට හොඳට මතකයි. අද නළු නිළියන්ට  මේකප් අත්‍යවශ්‍යම දෙයක් වෙලා. ඒ වගේම අද ගොඩක් නිර්මාණ බොහොම අඩුවට කරන්න යනවා. මේ දේවල් නිසයි වර්තමානයේ කලා ක්ෂේත්‍රය මෙවන් තත්ත්වයට පත්වී තිබෙන්නේ.


රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඔවුන්ගේ ඉදිරි අනාගතය කෙරෙහි කෙතරම් බලපානවාද?


වර්තමානයේ බොහෝ තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් බලාපොරොත්තු වන්නේ ඒ මොහොතට ලැබෙන ජනප්‍රියත්වයක්. නමුත් ඔවුන්ගේ නිර්මාණ අවසන් වූ පසු ප්‍රේක්ෂකයන්ට ඔවුන්ව අමතක වී යනවා. එදා රංගන ශිල්පීන් උත්සාහ කළේ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැ‍ෙ¾දන නිර්මාණ කරන්න. ඒ  සඳහා සුදුසු නිර්මාණ තෝරා ගැනීමත් රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ඉතාම වැදගත්.


ඔබ සම්භාව්‍ය හා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට දායක වුණු රංගන ශිල්පිනියක්. රංගන ක්‍ෂේත්‍රයේදී ඒ ලැබෙන අත්දැකීම මොන වගේද?


අපි කලාකරුවෝ. අපට බැහැ වෙන්කරලා නිර්මාණ  කරන්න. නිර්මාණ ඇතුළේ අපි කරන හැම දෙයක්ම රංගනයක්. එක් එක් නිර්මාණවලට සීමා මායිම් ගොඩනඟා ගන්නවානම් ඇයි අපි නළු නිළියෝ වෙන්නේ. එනිසයි එදා විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, සබීතා පෙරේරා වැනි නළු නිළියෝ සාර්ථක වුණේ. ඒ අය කරපු නිර්මාණ අපට දැනුණා. අපට හොඳ නිර්මාණයක් ලැබෙනවා නම් ඇයි අපි අතහරින්නේ වැඩිහිටියන්ට පමණයි කියන නිර්මාණ.


ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කතා කළොත්?


මගේ මහත්තයා සහන් විජේසිංහ සහ මම එකතුවෙලා පසුගිය කාලයේත් නිර්මාණ කිහිපයක්ම කළා. ඔහු දැන් ඉන්නේ විදේශගත වෙලා. මගේ මහත්තයා ලංකාවට ආවට පස්සේ මේ වසරේ අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post