මම කරන දේවල් ගැන මට ස්වයං විවේචනයක් තියෙනවා- සම්පත් ජයවීර




ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂකයා වෙත නිර්භයව ප්‍රකාශ කළ රංගන ශිල්පියෙකි. ඔහුට රංගනය කෙරෙහි පවතින ශක්‍යතාව කෙතරම් ශක්තිමත්ද යන්න අද වන විට සනාථ වී හමාරය. ඔහුගේ රංගනයෙහි ප්‍රබලත්වය ප්‍රේක්ෂක සිත් සතන් අණසකට ගෙන හමාරය. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් ජයවීර.


 මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල මම වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ‘2019 ජූලි මාසයේ දවසක්.’ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’. ‘ලෝරන්ස්ගෙ මනමාලි’ කියන වේදිකා නාට්‍ය මේ දිනවල වේදිකා ගත වෙනවා. ඒ වගේම කෝලම් කුට්ටම, සර්කස්කාරයෝ වැනි ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම මේ මාසයේ තවත් ටෙලි නාට්‍යක් ආරම්භ වීමට නියමිතයි.


“ඒත් මම පණපිටින් සඳමාලි” මිනි සීරීස් එකේ ටෝනි විල්සන්ගේ චරිතය ගැන කතා කරනවා නම්?


මම මෙහි රඟ දක්වන්නේ ද්විත්ව චරිතයක්. මේක මම ද්විත්ව රංගනයෙන් දායක වෙන පළමු අවස්ථාව. ඒක මට ලැබුණු අභියෝගයක්. ලෝකල් ටෝනි කියන්නෙ ටෝනි විල්සන්ව අනුකරණය කරන චරිතයක්. ටෝනිව අනුකරණය කරන්නෙ ප්‍රියන්ත කියලා පුද්ගලයෙක්. ගණිකාවක් සහ ගණිකාව විවිධ ගැනුම්කරුවන්ට විකුණන තැරැව්කරුවෙක් වැනි චරිත කිහිපයක් වටා තමයි මේ කතාව ගොඩ නැඟෙන්නේ. නලීන් ලුසේනාගේ හිතේ ඇති වුණ පරිකල්පනයක් තමයි මේ කතාව. මේක අලුත්ම අත්දැකීමක්. මිනි සීරීස් කියන්නෙ අලුත්ම කන්සෙප්ට් එකක්. මේකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දිනපතා විකාශය වන මෙගා නාට්‍යවලට සහභාගි වෙන අතරෙ මේක මට ලැබුණ විශේෂ අවස්ථාවක් කියන්න පුළුවන්.


මිනි ටීවී සීරීස් පිළිබඳ ඔබේ අදහස?


මිනි සීරීස් කියන්නෙ හොඳ දෙයක්. අපිට මුලින්ම තිබුණේ සතියකට සැරයක් විකාශය වෙන ටෙලිනාට්‍ය. මුල් කාලීන ටෙලි නාට්‍ය දර්ශන වාර 12යි, 20යි, 40යි වගේ ප්‍රමාණයකින් තමයි සමන්විත වුණේ. ඉන් පසුව තමයි පෞද්ගලික නාළිකාවලින් මෙගා නාට්‍ය තම ආර්ථික පර්මාර්ථ සඳහා නිර්මාණය කළේ. ඒක ඔවුන් ඇති කළ රැල්ලක්. මමත් ඒවට රංගනයෙන් දායක වෙනවා තමයි. මට මං කරන දේවල් පිළිබඳව ස්වයං විවේචනයක් තිබෙනවා. ඒවා තුළින් එක්තරා විධියක ටෙලි නාට්‍ය කලාවේ අවගමනයක් වුණා. මේවායින් වුණේ ටෙලි කම්කරුවන් පිරිසක් බිහිවුණ එක. මේකෙන් ලොකු අලකලංචියක් වුණා. අපි මේක වෙනස් කරන්න විවිධ සංගම් පවා හදා ගත්තා. ඔවුන්ව පරාජය කරන්න අපිට අපහසු වුණා. නමුත් පසුගිය කාලයේ කූඹියෝ, තණමල්විල කොල්ලෙක් හරහා ප්‍රේක්ෂකයාගෙ රසය වෙනස් වෙන්න පටන් ගත්තා. සමහර නාළිකාවල ප්‍රධානියන්ගේ බලපෑම නිසාත් ඉතා ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගියා. මෙහි බලපෑමක් විධියට තමයි මිනි සීරීස් නිර්මාණය වෙන්නේ.


ටීවී සීරීස් කියන දෙය ලෝකයේ විශාල කැලඹීමක් ඇති කරලා. මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?


අපි ලෝකයට විවෘත වෙලා තිබෙන්නෙ. දැන් ලෝකයේ ටී.වී. සීරීස් නරඹන විවිධ ක්‍රම තිබෙනවා. අන්තර්ජාලයෙන් ටී.වී. සීරීස් නරඹනවා වගේම විවිධ ප්ලැට්ෆෝම්ස් හරහා ටී.වී. සීරීස් රසවිඳින්න ප්‍රේක්ෂකයාට දැන් ‍ෙදාරගුළු විවර වෙලා. නෙට්ෆ්ලික්ස්, ඇපල් ටී.වී., ඇමසෝන්, හුලූ, ඩිස්නි ඔය වගේ විවිධාකාරයේ දේවල් හරහා අද ටී.වී. සීරීස් රස විඳින්න ප්‍රේක්ෂකයාට පුළුවන්. දැන් අපිට බොළඳ ආදර කතා පෙන්න පෙන්න පවුල්වල කතන්දර පෙන්න පෙන්න හරසුන් දේවල්වලින් ප්‍රේක්ෂකයා රවට්ටන්න බැහැ. ලෝකයේ වෙනස් වෙනස් විධියෙ නිර්මාණ, ලෝකයේ ට්‍රෙන්ඩින් වෙන නිර්මාණ අද ලාංකික ප්‍රේක්ෂකයා දකිනවා. චැනල්වලින් මිනිස්සුන්ට එපා වුණත් ඒවම පෙන්වනවා. අපි අලුත් දේවල්, අලුත් රිද්මයන්, අලුත් කතාන්දර කීමේ කලාවක් හොයා ගන්න ඕන. අපිට තාක්ෂණික විස්කම් පාන්න බැරි වුණාට. හොඳ කතාවකින් නිර්මාණ ගොඩ නඟන්න ඕන.


‘රහස් කියන ක¾දු’ ගැන කතා කරමු?


ජගත් කියන්නෙ වෙනස් විධියක නිර්මාණ කරන්න මහන්සි වෙන කෙනෙක්. ඔහු මේ සිනමාපටය වෙනුවෙන් විශාල ලෙස මහන්සි වුණා. විශාල කාලයක් බලා සිටියා. “කොඩි ගහයට” කරන්නත් කලින් අපි “රහස් කියන ක¾දු” කළේ. ඔහුට මේ සිනමාපටය නිර්මාණය කරන්න විශාල පිරිවැයක් ලැබුණෙ නැහැ. අපි ඔහු සමඟ තිබුණු දීර්ඝ කාලීන මිත්‍රත්වය නිසා ඉතා කැපවීමෙන් මේ වැඩේ කළා. අපිට ජගත් ගැන විශාල විශ්වාසයක් තිබුණා. ජගත් කරපු කෙටි චිත්‍රපට කිහිපයක් ඇසුරින් තමයි මේ සිනමාපටය නිර්මාණය වුණේ. රහස් කියන ක¾දු, කොඩි ගහ යට කියන්නෙ අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණ නිර්මාණ. අපි විශාල කාලයක් පුරා සිදු කරන්න උත්සාහ කළ රංගනයක් තිබුණා. නමුත් අපි හාස්‍ය රංගනය ආදිය තමයි සිදු කරමින් තිබුණේ. අපිට කැමැති දෙය කරන අතරෙම, අපි එදිනෙදා මේ ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්නත් වැඩ කරන්න වෙනවා. අපිට තෝර තෝර වැඩ කරන්න බැහැ. රහස් කියන ක¾දු කියන්නෙ අපි ආස කරන දේවල් එළියට දාන්න අවස්ථාව ලබා දුන්න වැඩක්. ඒක අපි විශාල විශ්වාසයකින් කරපු වැඩක්.


සම්පත් ජයවීර අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙන්නෙ කවදාද?


සුදුසු වට පිටාවක් හැදුණම ඒ දෙය සිද්ධ වෙයි. ඒවා ආවට ගියාට වෙන දේවල් නෙවෙයි. මම අධ්‍යක්ෂවරයෙක් වෙන්න අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරගෙන යනවා. හරි වෙලාව ආවහම ඒ දේ වෙයි.


නවක පරපුරට කියන්න තිබෙන්නේ මොනවාද?


මෙහෙමයි. මම මහා ප්‍රාඥයෙක් වගේ නවක පරපුරට දේවල් කියන්න උත්සාහ දරන්නෙ නැහැ. එහෙම වුණොත් අපි ඇරියස් තියාගෙන කතා කරනවා කියලා වරදවා වටහ ගන්න පුළුවන්. සරලවම කියන්න ඕන. මේක විෂයක්. මේක සමඟ නිරන්තරයෙන් ඉන්න. එහෙම නැතිව මේක කරන්න අමාරුයි. දීර්ඝ කාලීනව ඉන්නවා නම් ඒක හදාරමින් ඉදිරියට යන්න කියලා මම කියනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post