නැන්දලා මාමලා පාරෙදිත් මට සුබ පතනවා - ගෙවින් නිම්නොත්

 



කුඩා කල පටන්ම රංගනයට දස්කම් පාන මේ පුංචි නළුවා නමින් ගෙවින් නිම්නොත්. මේ දිනවල විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යයේ බුන්ජාගේ චරිතයට රංගනයෙන් දායක වන කටකාර, දඟකාර පොඩිත්තා මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. ඉතින් පුතේ කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්?


මගේ නම ගෙවින් නිම්නොත් රණධීර. මම පාසල් යන්නේ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයට. මගේ ගෙදර අම්මත් තාත්තාත් අක්කාත් අයියාත් මමත් ජීවත් වෙනවා. මගේ ගම හොරණ.


ගෙවින් කොහොමද රංගනයට එන්නේ?


මම රංගනයට එන්නේ ලලිත් පැරකුම් සර්ගෙ ක්ලාස් එක හරහා. මම මුලින්ම කරපු ටෙලි සිත්තම තමයි ‘ගුරු සිතක සෙනෙහස’ කියන ටෙලි සිත්තම. ඒ ටෙලි සිත්තමේ මම රඟපාපු චරිතයේදී ඔළුව කසනවා දැකලා අධ්‍යක්ෂවරයා වුණු කසුන් තරීන්ද්‍ර මාමා ‘චිත්ත සර්ප’ කියන නාට්‍යයේ සෙසු චරිතයකට මාව තෝරා ගත්තා. පසුව මම ටෙලි සිනමා පහළොවකට පමණ රංගනයෙන් දායක වුණා.


මේ වනවිට ඔබ දායක වූ නිර්මාණ පිළිබඳව කතා කළොත්?


මේ වනවිට මම ටෙලි සිත්තම් පහළොවකට පමණ  රංගනයෙන් දායක වී තිබෙනවා. අනතුරුව මම කසුන් තරින් මාමා අධ්‍යක්ෂණය කළ අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ රඟපෑවා. නැවත මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ සුදත් රෝහණ මාමාගේ අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යයේ. මේ වනවිට අකුරට යන වෙලාවේ ටෙලිනාට්‍යයේ බුන්ජාගේ චරිතයට මම රඟපානවා.


පුතාගේ රඟපෑමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


මට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. පාරෙදි හමුවෙන නැන්දලා මාමලා මගේ ළඟට ඇවිත් මගේ අනාගත වැඩකටයුතුවලට සුබපතලා යනවා. ඒ වගේම මගේ මිතුරන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ චරිතයට ආදරය කරන මම වගේ වෙන්න කැමැති නංගිලා මල්ලිලා බොහෝදෙනෙක් ඉන්නවා කියලා මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පෙනෙනවා.


ගෙවින්ට රඟපාන්න පාසලේ ගුරුවරුන්ගෙන් වගේම මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


මම රංගනයට ආපු මුල් කාලයේදී නම් පාඩම් අතපසු වෙන නිසා ගුරුවරුන්ගෙන් බැනුම් අහන්නත් වුණා. ඒත් ගුරුවරු මට අතපසුවෙන පාඩම් නැවතත් පැහැදිලි කර දුන්නා. මේ වනවිට මගේ පාසලේ විදුහල්පති රංගන වැඩකටයුතුවලට මට ගොඩක් උදවු කරනවා. ඒ වගේම මගේ පන්තිභාර ගුරුතුමියත් ඉගෙනගන්න අතරතුර රඟපාන්න මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පන්තියේ යාළුවෝ මට අතපසුවන දවස්වල පාඩම් වගේම ගෙදර වැඩත් කියලා දෙනවා. ඔවුන් නිතරම මගේ ළඟින් හිඳිමින් මගේ වැඩකටයුතුවලට ගොඩක් උදවු කරනවා.


රංගනයට අමතරව ගෙවින් වඩාත් කැමැති මොනවාටද?


මම රංගනයට පස්සේ වැඩිපුරම කැමැති ඡායාරූපකරණයට. ඒ නිසා මම රංගනය වගේම ඡායාරූපකරණයත් හදාරනවා.


පුතාගේ රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවාද?


මගේ රංගන කටයුතුවලට මට ගොඩක් උදවු කරන්නේ අම්මයි, තාත්තයි. මාව නිතරම ෂූටින් එක්කන් යන්නේ අම්මායි, තාත්තයි. අයියත්, අක්කත් මට රඟපාන්න ගොඩක් උදවු කරනවා. නිතරම එයාලා මම ගැන සොයලා බලනවා.


පුතාට තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


ආරාධනා කිහිපයක්ම ලැබුණා. දැනට කරගෙන යන නිර්මාණයේ වැඩකටයුතු අවසන් වුණාම ඒ ගැන හිතලා බලනවා. මොකද ඉගෙන ගන්න වැඩකටයුතුත් එක්ක නිර්මාණ කිහිපයක් භාර අරගෙන කරගෙන යන්න අපහසුයි.


පුතාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම ලොකු වෙලා රංගන ශිල්පියෙක් වගේම මෘදුකාංග ඉන්ජිනේරුවෙක් වෙන්නත් කැමැතියි.


ගෙවින්ට මේ ගමනේදී උදවු කළ අය කවුද?


මට රඟපාන්න උදවු කළ බොහෝ පිරිසක් සිටිනවා. ඒ අතරින් ලලිත් පැරකුම් සර්ව මම මුලින්ම මතක් කරනවා. ඒ වගේම කසුන් තරීන්ද්‍ර මාමා, සම්පත් රාජපක්ෂ මාමා, ඉරූෂ ශමින්ද මාමා මේ මොහොතේ විශේෂයෙන්ම මතක් කරනවා. මොකද ඔවුන් තමයි මට නිතර ගුරුහරුකම් ලබාදෙමින් මට ළමා නළුවෙක් ලෙස වැඩ කරන්න බොහෝ උදවු උපකාර කළේ.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post