ආලියා සහ රන්බීර්ගේ දියණිය රාහා පළමුවරට මාධ්‍ය හමුවට



ආලියා භාත් සහ රන්බීර් කපූර් බොලිවුඩයේ ජනප්‍රියම නළු නිළි යුවළක බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් මෑත කාලයේ රඟපෑ චිත්‍රපට සිනමා ලෝලීන් අතර අතිශයින් ජනප්‍රිය වූ බවත් රහසක් නොවෙයි.


මේ අතර පසුගිය සතියේ මේ දෙදෙනාගේ රසික රසිකාවියන් තුළ විශාල උනන්දුවක් ඇති කළ සිදු වීමක් සිදු වුණා. එනම් ඔවුන් දෙදෙනා පළමු වතාවට ඔවුන්ගේ සිඟිති දියණියගේ මුහුණ මාධ්‍යට පෙන්වීමයි.


රාහා නම් වන ඔවුන්ගේ දියණියට මේ වන විට වයස අවුරුද්දක් පමණ වෙනවා. නමුත් පසුගිය කාලය පුරාම ආලියා සහ රන්බීර් ඇය මාධ්‍යයෙන් සඟවාගෙන සිටියා යැයි කිව හැකියි. ඉතා කුඩා වයසේ දී රාහාගේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍ය තුළ සංසරණය වෙනවා දකින්නට ඔවුන් කැමැති වුණේ නැහැ. ඊට වඩා ඔවුන් සිය දියණියගේ පෞද්ගලිකත්වය අගය කළා.


පසුගිය නත්තල් දිනවල රන්බීර් සහ ආලියා දෙදෙනා රන්බීර්ගේ පවුලේ අය සමඟ නත්තල සමරන්නට එක් වී තිබුණා. ඊට කලින් ඔවුන් ආලියාගේ පවුලේ අය සමඟත් නත්තල් සාදයකට එක්ව තිබූ බව සඳහන්. කෙසේ හෝ වේවා, ඔවුන් දෙදෙනා සිය දියණිය සමඟ මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිට තිබුණේ කපූර් පවුලේ මහ ගෙදරදී යි.


මෙම ඡායාරූප සහ වීඩියෝ මාධ්‍ය තුළ පළ වෙද්දී ආලියා – රන්බීර් දෙදෙනාගේ රසික රසිකාවියන් එයින් මහත් සතුටට, උද්දාමයට පත්ව සිටි බවක් දැකිය හැකි වුණා. සැබැවින්ම ඉතා සුරතල් දියණියක වූ රාහා ගැන ඔවුන් විවිධ අදහස් සමාජ මාධ්‍ය හරහා පළ කර තිබෙනුත් දක්නට ලැබුණා.


සමහරුන් පවසා තිබුණේ රාහා රන්බීර්ගේ පියා වූ රිෂී කපූර්ට සහ රිෂී කපූර්ගේ පියා වූ රාජ් කපූර්ට බොහෝ දුරට සමාන බවයි. ඇයගේ ඇස් සහ කම්මුල් ගැන ඔවුන් විශේෂයෙන් සඳහන් කර තිබුණා. තවත් සමහර රසිකයන් රාහා සහ වාමිකා අතර සමානකම් ගැනත් සඳහන් කර තිබෙනු දක්නට ලැබුණා. වාමිකා යනු විරාත් කෝලි – අනුෂ්කා ෂර්මා දෙදෙනාගේ දියණිය යි. මේ වන විට වාමිකාගේ වයස අවුරුදු තුනකට ආසන්න යි.


රාහා උපත ලැබුවේ 2022 නොවැම්බර් මාසයේ යි. ඇය කුස තුළ දරාගෙනත් ආලියා චිත්‍රපටයක රඟපෑවා. එම චිත්‍රපටය ඇයගේ රංගන දිවියේ විශේෂ චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි. Heart of Stone නම් වූ එය අලියා රඟ පෑ පළමු හොලිවුඩ් සිනමාපටය යි. එහි ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ හොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නිළියක වන ගල් ගඩෝට් (Gal Gadot).


මෙම චිත්‍රපටය අසීරු ජවනිකාවලින් සමන්විත ක්‍රියාදාම සිනමාපටයක්. දරුවකුත් කුස තුළ තියාගෙන එහි අසීරු ජවනිකාවල රඟපෑම ආලියාට ඉතා අභියෝගාත්මක කටයුත්තක් බවට පත්ව තිබුණා. එසේ නමුත් තමා ගැබ් ගෙන සිටින බව ප්‍රධාන නිළිය මෙන්ම චිත්‍රපටයේ නිෂ්පාදිකාවක ද වූ ගැඩොට් සමඟ පැවසූ විට ඇය දැක් වූ උණුසුම් ආදරණීය ප්‍රතිචාරය ගැනත්, ලබා දුන් සහයෝගය ගැනත් ඒ කාලයේ ආලියා ඉතා ස්තුති පූර්වකව සඳහන් කර තිබුණා.


රාහා උපත ලැබුවේ තමා ඇනිමල් (Animal) චිත්‍රපටයේ රඟපාමින් සිටිය දී බවත් රන්බීර් ද වරක් සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළා. ඇනිමල් චිත්‍රපටය පසුගිය දිනවල ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණි අතර එය ඉතා ඉහළ ආදායම් ලබමින් අති සාර්ථක අයුරින් තිරගත වුණා. 2023 වසරේ වැඩිම ආදායම් ඉපැයූ බොලිවුඩ් සිනමාපට අතර එය 3 වැනි ස්ථානයේ පසු වෙනවා.


සිය මවු පදවිය සහ වෘත්තීය ජීවිතය තුලනය කර ගැනීමේ දී රන්බීර්ගෙන් ලැබෙන අගනා සහාය ගැන ආලියා නිතරම වාගේ කතා කරනවා. දරුවා බලා ගැනීම සඳහා විශේෂ සේවක සේවිකාවන් නිවෙසේ සිටියත් තමා හෝ රන්බීර් නිතරම දියණිය සමඟ සිටින්නට වගබලා ගන්නා බවයි ආලියා පවසන්නේ.


මේ දිනවල තමා අලුත් සිනමාපටයක රඟපාන බවත්, ඒ නිසා මේ කාලයේ කිසිදු චිත්‍රපටයක් බාර නොගැනීමට රන්බීර් පියවර ගෙන ඇති බවත් ආලියා පසුගිය දිනෙක පවසා තිබුණා.


ආලියා රඟපාන මේ අලුත් සිනමාපටයේ නම ජිග්රා (Jigra).මෙම සිනමාපටයේ කතාපුවත ගැන තවමත් වැඩි විස්තරයක් ප්‍රකාශයට පත් වී නැහැ. කෙසේ නමුත් ආලියා පසුගිය දිනෙක සඳහන් කර තිබුණේ එය ධෛර්යය සහ අධිෂ්ඨානය ගැන කියැවෙන සිනමා නිර්මාණයක් බවයි. ආලියා මෙම සිනමාපටයේ නිෂ්පාදනයටත් සම්බන්ධයි. එය නිෂ්පාදනය කරනු ලබන්නේ ඇයට අයත් Eternal Sunshine Productions චිත්‍රපට සමාගම විසින්.


කසුන් අරවින්ද



Previous Post Next Post