ඇත්තටම මං හිතුවා දැන් මාව අමතක වෙලත් ඇති කියලා - නතාෂා පෙරේරා




“සුළඟක් වී මං යනවා

දුර අහසේ ඇවිදින්නට

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ…..”


මේ ගීතය අහපු නැති කෙනෙක් ඉන්නව නම් ඒ හරිම කලාතුරකින්. “සුළඟක් වී මං යනවා“ ගීතයට තියෙන්නේ එතරම්ම ජනප්‍රිය අතීතයක්. අදටත් එහි අඩුවක් වෙලා නැහැ. මීට අවුරුදු 20කට කලින් මේ ගීතය ගායනා කරන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟින් නතාෂා පෙරේරා. එදා එතරම්ම ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඒ පුංචි දැරිය අද මන බඳිනා රූසපුවකින් යුතු සුන්දර කාන්තාවක්. අද අපේ කතාබහට ඇය එක්කර ගන්න හේතුව වුණෙත් මේ දිනවල ජනප්‍රිය වෙමින් යන ඇගේ ගීතයක් නිසායි.


තීක්ෂණ අනුරාධ ගැයූ ‘ඔබ තරම් පෙම් කළ කිසිවෙක්‘ ගීතය මේ දවස්වල ඇහෙන්නෙ ඔබේ හඬින්?


මේක ඒ ගීතයේ කවර් සෝන් එකක් නම් නෙවෙයි. මේ තීක්ෂණ අයියගෙ ‘ඔබ තරම්‘ ගීතයේ ෆීමේල් වර්ෂන් එක. ගීතය සඳහා මට ආරාධනා ලැබෙන්නේ එහි සංගීත අධ්‍යක්ෂ රදීෂ් වැන්දබෝනාගෙන්. මං ඕස්ට්‍රේලියාවෙ ඉන්න කාලෙමයි ගීතය ගයන්න මට ආරාධනා කළේ. ගී පද ඩිලාන් ගමගේ. මුල් ගායනය තීක්ෂණ අනුරාධගේ. ගීතයට ලස්සන අර්ථවත් රූප පෙළක් එක් කළේ චාරුක දුෂ්‍යන්ත සොයුරා. අද වන විට නොහිතපු විදිහට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම මගේම තවත් ගීතයක් ඉතා ඉක්මනින් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


තීක්ෂණගෙ ගීතය ඔබේ හඬින් ගයද්දි ඔහුගෙන් ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක් ද?


තීක්ෂණ අයිය ගොඩක් හොඳ කිවුවා මගේ ගීතය අහලා. ඔහු මාව ධෛර්යමත් කළා. ඒක මට ලොකු ශක්තියක් වුණා.


කොහොමද ඔබ තරම් ගීතයට ලැබෙන ප්‍රතිචාර?


මං හිතුවෙවත් නැති විදිහට ප්‍රතිචාර ලැබෙනවා. මං ගොඩක් කාලෙකින් ගීතයක් කරල තිබුණේ නෑ. ඇත්තටම මං හිතුවා දැන් මාව අමතක වෙලත් ඇති කියලා. ලැබෙන ප්‍රතිචාර දැක්කම ගොඩක් සතුටුයි. මෙච්චර කාලෙකට පස්සෙත් එදා ලැබුණු ආදරේ ඒ විදිහටම ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්.


සිරස නාළිකාවේ විකාශය වෙන The Voice Kids Sri Lanka වැඩසටහන මෙහෙයවන්නේ ඔබ. ඒ ලැබුණු අවස්ථාව ගැන කියනවා නම්?


The Voice Kids Sri Lanka වැඩසටහනට මට ආරාධනා ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවෙ ඉද්දිමයි. සිරස ටීවී විධායක අධ්‍යක්ෂ සුසාර දිනාල් තමයි මට ආරාධනා කළේ. කොහොමත් මං ලංකාවට එන්න හිතාගෙන හිටිය මොහොතක මේ ආරාධනාව ලැබෙන්නේ. ඒ නිසා මගේ ගමන ඉක්මන් වුණා. The Voice Kids Sri Lanka වැඩසටහන අධ්‍යක්ෂණය කරන්නේ සමිත් බස්නායක. ඔවුන්ගේ සහායෙන් මම ඒක හොඳින් කරගෙන යනවා කියලා හිතනවා.


ඒ වගේ වැඩසටහනක් ලංකාවෙ කෙරෙන්නේ ප්‍රථම වතාවට?


ඔව්. මේ සීසන් – 1. පුංචි දරුවන් එක්ක කරන මේ වැඩේ ලොකු වගකීමක්. මේක ග්ලෝබල් ෆ්‍රැන්චයිස් එකක්. ලෝකෙ රටවල් එකසිය ගාණක විකාශය වෙනවා. ඒ නිසා ඒකෙ වගකීම වැඩියි. අධීක්ෂණ මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් මෙහේ ඇවිත් බලනවා. අපේ ඇඳුම, කතා කරන දේවල් වගේම ලයිට් එකේ ඉඳන්ම ඔවුන්ගේ අධීක්ෂණයට ලක්වෙනවා. ලෝකෙම සම්බන්ධ කරගෙන කෙරෙන මේ වගේ වැඩකට මාව සම්බන්ධ කරගත්ත එක මගේ ලොකු වාසනාවක් කියල හිතෙනවා. ඒ ගැන සතුටුයි. අවුරුදු 20කට පස්සෙ මේ වගේ අවස්ථාවක් ලැබීම ලොකු සතුටක්.


නිර්මාණවලින් ඔබ ප්‍රේක්ෂකයන් හමු නොවුණත් ඔබට තිබෙන ජනප්‍රියත්වයේ අඩුවක් නෑ නේද?


ඒක නම් ඇත්තටම වාසනාවක්. පුදුමාකාර ආදරයක් ලැබෙනවා. මගේ ෆේස්බුක් පෑන්ස්ල ලක්ෂ 10ක් විතර ඉන්නවා. ඒ ඇරුණම ඉන්ස්ටග්‍රෑම් පෑන්ස්ල. එයාල මැසේජ් කරනවා. කතා කරනවා. ඒ ආදරේට මාත් ගොඩක් ආදරෙයි. ඒ හැමෝටම මට පිළිතුරු දෙන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ හැමෝටම ගොඩක්ම ස්තුතියි කියන්න වගේම හැමදාම මාත් එක්ක ඉන්න කියන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.


නතාෂා පෙරේරා කියන රංගන ශිල්පිනිය සැඟවිලාම ගිහින් ද?


ගොඩක් කාලෙකින් නිර්මාණයකට දායක වුණේ නැහැ. බොහෝ දෙනාට නතාෂා පෙරේරාව මතකේ තියෙන්නෙත් සුළඟක් වී සින්දුව වගේම දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ නිසා. පහුගිය පාර ලංකාවට ආපු වෙලාවෙත් හොඳ ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. මට ස්ක්‍රිප්ට් එවල තිබුණා. ඒත් ආයිම විදේශගත වෙන්න තිබුණ නිසා භාර ගත්තෙ නෑ. මේ පාර හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් දායක වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. මගෙ රසිකයන්ට නැවතත් ගායනයෙන් වගේම රංගනයෙනුත් නුදුරේදීම මාව දකින්න ලැබේවි.


අලුත් අවුරුද්දෙ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියන්න යමක් ඇති?


ශ්‍රී ලංකාවාසීන් විදිහට අපි හැමෝම ලොකු ආර්ථික අර්බුදයක ඉන්නෙ කියන එක අපි කවුරුත් දන්නවා. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද හැමදෙනාටම යහපත් දේ සිදුවන යහපත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.



Previous Post Next Post