ක්‍රිකට් ගැන කතා කළාට සිනමාවට වුණු දේ ගැන කවුරුත් කතා නැහැ-කුමාර තිරිමාදුර





ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව සලකුණු කළ රංගධරයෙකි. තණ්හා රතී රඟා, නිවුස්පේපර් වැනි සිනමාපටයන්හි නාමකාය ඇසූ පමණින් ඔහුගේ රූපකාය ප්‍රේක්ෂක සන්තානයෙහි සිතුවම් වෙයි. මෙවර ජනාධිපති සම්මාන උළලේදී විශිෂ්ටතම රංගන ශිල්පියාට හිමි සම්මානය හිමිකරගත් ඔහු ප්‍රවීණ රංගධර කුමාර තිරිමාදුර. ඔහු ‘හදගැස්ම’ හා සිය අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල මම රංගනයෙන් දායක වන නාට්‍ය කිහිපයක්ම වේදිකාගත වෙනවා. නරි බුරති 2, මල් වඩම් අනවශ්‍යයි, කෝ කුක් කෝ, දෙයියොත් දන්නෑ කියන නාට්‍ය මේ ලෙසින් වේදිකා ගත වෙනවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වුණ තාත්තා සිනමාපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම වීරයා කියන සිනමාපට තිරගත වීමට නියමිතයි. ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යය බොහෝ ප්‍රේක්ෂක හරසර මැද විකාශය වෙනවා.


තාත්තා සිනමාපටය ගැන කතා කරමු?


අම්මා කියලා චිත්‍රපටයක් ඇවිත් තිබෙනවා. අප්පච්චි කියලා ටෙලිනාට්‍යයකුත් ආවා. හැබැයි තාත්තා කියලා චිත්‍රපටයක් ආවෙ නැහැ. මේ චිත්‍රපටයේ තාත්තාගෙ චරිතය පණ පොවන්නට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. විශේෂයෙන්ම නිල්මිණි මේ චරිතය ඉටු කිරීමට මට ලබාදුන් සහාය මතක් කරන්න ඕනෑ. කුමාර මදුරැස්සත් මට ගොඩක් උදවු කළා. මේ චිත්‍රපටයට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මම වීරයා චිත්‍රපටයෙදි රඟ දක්වන්නේ. එක චිත්‍රපටයක අහිංසක තාත්තා කෙනෙක්ට රඟපාන ගමන් අනෙක් චිත්‍රපටයේ මම රඟපාන්නෙ චණ්ඩියෙක්ගෙ චරිතයකට. ලංකාවේ ගොඩක් වෙලාවට කරන්නෙ රංගන ශිල්පියාව එකම විධියෙ චරිතවලට රාමුගත කිරීම. කොමඩි නම් කොමඩි, ෆයිට් නම් ෆයිට් විධියට තමයි ලංකාවේ රංගන ශිල්පීන්ව වෙන් කරන්නෙ. අධ්‍යක්ෂවරු නොබියව විවිධ චරිත මට ලබාදෙනවා. මේ විධියට අභියෝග භාර ගනිමින් ඔවුන් මාත් සමඟ වැඩ කරන එක ගැන මට සතුටුයි.


නිවුස්පේපර් සිනමාපටය සඳහා ජනාධිපති සම්මාන උළෙලේදී ඔබට හොඳම නළුවා සම්මානය ලැබෙනවා. ඒ පිළිබඳව කතා කරමු?


නිවුස්පේපර් සඳහා රුසියාවෙන් මට ලෝකයේ හොඳම නළුවා සම්මානය ලැබුණා. ඒ වගේම මේ සිනමාපටයෙහි තිරපිටපත සඳහා එංගලන්තයෙන් හොඳම තිරපිටපත සම්මානය ලැබුණා. ඉන්දියාවෙන් අපිට නිවුස්පේපර් සඳහා හොඳම සිනමාපටයට හිමි සම්මානය ලැබුණා. නමුත් සතියකට පසුව ඔවුන් අපිට සම්මානය ලබාදීම ප්‍රතික්ෂේප කළා. කිසිදු මාධ්‍යයකින් ඒ ගැන කතා කළේ නැහැ. කිසිම කෙනෙක් මේ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. අපේ ක්‍රිකට්වලට සිදු වෙලා තිබෙන දෙය කතා කරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. නමුත් සිනමාවට වුණු දේ ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ක්‍රිකට් ගහන රටවල් ඕනෙ නම් විස්සක් ඇති. නමුත් මුළු ලෝකෙම සිනමාව තිබෙනවා. අපිට මොන ජයග්‍රහණ ලැබුණත් මිනිස්සුන්ට ඒ දේවල්වල වටිනාකම තේරෙන්නෙ නැහැ.


ඔබ නිවුස්පේපර් හරහා ලංකාවේ මාධ්‍ය හැසිරීම පිළිබඳව විසල් කතිකාවක් නිර්මාණය කළා. ඒ හරහාම අතීත මාධ්‍ය දිවියත් සිහිපත් කරනවා නම්?


මම පත්තරේ සෝදුපත් කියවන්නෙක් විධියට වැඩ කළා. පත්තර කියවන කෙනෙක්ට තමන්ට අවශ්‍ය ටික විතරක් කියවලා නිකන් ඉන්න පුළුවන්. නමුත් අපිට එහෙම බැහැ. ඕන නැති දෙය පවා අපිට කියවන්න වෙනවා. එදා මගේ රස්සාව වුණේ කියවන එක. ඒ පුහුණුව පසු කාලීනව මට විශාල පිටිවහලක් වුණා. පත්තර අත්දැකීම මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා. මාධ්‍ය කියන්නෙ හරි භයානක ස්ථානයක්. අපි කරන පොඩි වැරැද්දක්


නිසා සමහර විට විශාල පිරිසකට වන්දි ගෙවන්න සිදු වෙනවා. මාධ්‍ය නිතරම නිවැරැදි ලෙස කටයුතු කරන්න ඕනෑ. නිවුස්පේපර් හරහා කතා කරන්නෙ සමස්ත මාධ්‍යයේ හැසිරීම කොහොමද රටකට බලපාන්නෙ කියන දෙය ගැන. නිවුස්පේපර් කියන්නෙ ලංකාවේ පත්තර කලාව ගැන විතරක් කතා කරන සිනමාපටයක් නෙවෙයි. මාධ්‍ය කියන්නෙ හතර වැනි ආණ්ඩුව. මාධ්‍යයට තිබෙන්නෙ විශාල බලයක්. මම මේ දෙය මෙතැනින් මඳක් එහාට ගිහින් ‘The Old Man’ කියලා තිරපිටපතක් රචනා කළා. ඒ හරහා මේ රටේ නීතිය ගැන කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.


මගේ ජීවිතෙන් පස්සෙ පොතක් එන්නෙ කවදාද?


මේ මොහොතෙ සමස්ත රටේම සියලු ක්ෂේත්‍ර අඩපණ වෙලා. මේ වගේ අර්බුදයකදි මිනිස්සු මුලින්ම අයින් කරන්නෙ විනෝදාස්වාදය කියන දෙය. පසුගිය කාලය පුරා මුද්‍රණ ක්ෂේත්‍රය විසල් ගැටලුවලට මුහුණ දුන්නා. අද සිනමාහල් ෂොපින් මෝල් බවට පත්වෙලා. මේ දේවල් නිසා තමයි පොත එන එක ප්‍රමාද වෙලා තිබෙන්නෙ. ‘කරළියෙ රසකතා’ තමයි මම මුලින්ම ලියපු පොත. ඊට පස්සෙ තමයි ‘මගේ ජීවිතේ’ ලිව්වේ. ‘වේලපහින් සැඳෑ සමය ඇවිත්’ කියලා පොතක් මම ලියලා බලාගෙන ඉන්නවා. අද හැම තැනම දකින්න ලැබෙන්නෙ කලකිරීම.


වත්මන් දේශපාලන අර්බුදය ගැන ඔබේ අදහස?


අපි දේශපාලකයන්ට බනිනවා. ඒ වුණාට අසූවට දෙන්න පුළුවන් තැඹිලි ගෙඩිය විකුණන්නෙ දෙසීයට. හැමෝම හොරු වෙලා. එකත් හොරකම, දෙකත් හොරකම, තුනත් හොරකම වුණු රටක ජනතාව ඉන්නවා. අපි එකිනෙකා එකිනෙකාව ගසා කනවා. අපි ලොක්කොන්ට හොරු කිව්වට ජනතාවත් හොර වැඩ කරනවා. මේක බෞද්ධයන්ගෙ රටක්. මෙච්චර බණ අහන රටකට කොහොමද මෙහෙම වුණේ. අපි ඉතින් කාමරේකට වෙලා පොතක් පතක් කියවගෙන ඉන්නවා වෙන කරන්න දෙයක් නැහැ. අපිට මිනිස්සුන්ගෙ අඳෝනා ඇහෙනවා. හැබැයි ඒ මිනිස්සු එක්කම තමයි අපිට ඉන්න වෙලා තිබෙන්නෙ. අපි වේදිකාවෙන්, සිනමාවෙන් මේ අර්බුදය නිර්මාණය වෙන විධිය කියා දුන්නා. ජනතාව මේවා තේරුම් ගත්තෙ නැහැ. මට කලකිරිලා තිබෙන්නෙ. හොඳම දෙය අපි නිහඬතාවෙන් පසුවෙන එක. පොතක් පතක් කියවන් පාඩුවෙ ඉන්නවා. ආයිත් මම කියවන්න පටන් ගත්තා.


ආයි පොතපත කියවන්න පටන්ගත්ත එකේ සාහිත්‍ය ගැනත් කතා කරමු?


මම බුදුරජාණන් වහන්සේගෙන් පස්සෙ ජීවිතය ඉගෙන ගත්තෙ මහගම සේකරගෙන්. ඔහුගේ සියලු පොත්පත් මම කියවලා තිබෙනවා. ඔහුගේ භාෂා ශෛලියට මම ඉතා කැමැතියි. මම ඔහුගේ පොත් නැවත නැවත කියවනවා. එයින් මම දැනගෙන සිටි දෙයට වඩා අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මම සේකර ගැන ලියලත් තිබෙනවා. සේකරගෙ අඩුව පුරවන්න කවුරුත් බිහිවුණේ නැහැ. ඔහු ලියන්නෙ බොහෝ සරලව. අනිත් පුද්ගලයා ප්‍රේමකීර්ති ද අල්විස්. මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි. මේ නගරය මා ඔබ වෙන් කෙරූ නගරයයි කියන සින්දුව ගන්නකො. මොන තරම් සරලද? නමුත් අපිට ඒක ලියවෙන්නෙ නැහැ. අනිත් දෙය තමයි අපිට බුදු දහමෙන් උගන්වපු දෙයක් තිබෙනවා. අපි මැරෙන කොට මේ හැමදේම දාලා යනවා. ඒක අපි තේරුම් ගන්න ඕනෑ.


ගිහාන් සචින්ත




Previous Post Next Post