නෝරාට මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවෙ නෑ-ඉෂිනි විජේසිංහ



මේ දිනවල විකාශය වන ජානු ටෙලි නාට්‍යයේ නෝරා කියන්නේ අපි කවුරුත් ආදරය කරන අහිංසක චරිතයක්. දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ලේඛිකාවක් වන නෝරා එහෙමත් නැතිනම් ඉෂිනි විජේසිංහ අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


නත්තල නිසා මට කෙටි විවේකයක් ලැබුණා. ඒ නිසා නිවෙසට වෙලා විවේකයෙන් වගේම සතුටෙන් කාලය ගත කරනවා.


මොනවද අලුත් වැඩ කටයුතු?


අලුත් වැඩ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ ජානු ටෙලි නාට්‍යට රංගනයෙන් දායක වීම නිසා. ඉතිං ඒ නිර්මාණ අතරින් කිහිපයකට දායකවෙන්න තෝරා ගත්තා. මේ නිර්මාණ 2024 වසරේ මුල් කාලයේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නට හැකිවේවි.


ඔබ දක්ෂ ලේඛිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක්. ඒ ගැනත් කතා කරමු?


ඇත්තටම රංගන ශිල්පිනියක් වෙන්න මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. මම ලියන්න ගොඩක් කැමැතියි. ඒ නිසාමයි මම ලේඛිකාවක් වෙන්නේ. මම මුලින්ම ලියන්නේ මුහුණු පොතට. ඊට පස්සේ 2022දී මගේ කැමැතිම පොත ‍ෙදාරට වැඩීමක් කරනවා. ඉතින් මම දිගටම පවත්වාගෙන යන්න කැමැති ක්‍ෂේත්‍රයක් තමයි ලේඛන ක්‍ෂේත්‍රය කියන්නේ. කෙසේ හෝ ලේඛනය වෙනුවෙන් ඉදිරියේදී කාලය යොදවන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ඉදිරියට වැඩ කටයුතු කරගෙන යනවා. මම මේ දෙකටම හරිම කැමැතියි.


ලේඛිකාවක් වුණු ඔබට රංගන ශිල්පිනියක් වීම අපහසු වුණේ නැද්ද?


ලේඛිකාවක් වීම සහ රංගන ශිල්පිනියක් වීම කියන දෙකම ඇත්තටම අපහසුයි. මට නම් හිතෙන්නේ ඇතැම් දේවල් පහසුයි වගේ තේරුණාට ඇත්තටම ඒ දේවල් පහසු නැහැ කියලා. ඉතිං කොහොමහරි මේ දෙකම බැලන්ස් එකේ කරගෙන යනවා. මම විශ්වාස කරනවා ඒ දෙකම මට කරන්න පුළුවන් කියලා.


ඉෂිනි වගේම නෝරාත් ප්‍රේක්ෂකයන්ට බොහොම සමීපයි. ඉතින් ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳව කතා කළොත්?


ඇත්තටම නෝරා කියන චරිතයට මෙතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේවි කියලා මම හිතුවේ නැහැ. ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් නෝරාට හරිම ආදරෙයි. මම ගමනක් බිමනක් යනවිට වුණත් මගේ අතින් අල්ලගෙන කතා කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඉතින් හිතුවෙවත් නැති ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීම ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.


නෝරා  වලාකුළු කියන්නේ ඔබේ ජනප්‍රියම පොත් දෙකක ප්‍රධාන චරිතය නේද?


ඔව් නෝරා කියන්නේ මගේ පොත් දෙකකම සිටින ප්‍රධානම චරිතය. ඇත්තටම නෝරා කියන චරිතය මට ගොඩක් විශේෂයි. ඒ වගේම මම ගොඩක් ඒ චරිතයට ආදරෙයි. ඒ චරිතය මතකයේ තබාගතයුතු නිසාමයි ඒ පොත ‍ෙදාරට වැඩීමක් කළේ. මගේ රුසියානු යහළුවෙක් තමයි මට මුලින්ම වලාකුළු කියන්න පටන් ගත්තේ. ඒත් එක්ක මම නවකාවක් ලියනවා කාලාත්‍රය කියලා. ඒ කතාවේ සිටින ප්‍රධාන චරිතය තමයි වලාකුළු කියන්නේ.


කලාවට මෙතරම් සමීපවෙන්නට විශේෂ හේතුවක් තිබෙනවාද?


මම හරිම කැමැතියි මට කරන්න අපහසුයි කියන දේවල් කරන්න වගේම උත්සාහ කරලා බලන්න. මට රංගන ක්‍ෂේත්‍රය කියන්නේ එහෙම ක්‍ෂේත්‍රයක්. එතැනදී මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ හොඳම යහළුවා වගේම තවත් විශේෂ පුද්ගලයකුට. ඇත්තටම ඒ දෙන්නා නැති නම් නෝරාව දන්නේ පාඨකයන් විතරයි.


ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ නළු නිළියන් සමඟ වැඩ කරන්න ලැබීම පිළිබඳව මොකද හිතන්නේ?


ඇත්තටම මට ගොඩක් සතුටුයි. මගේ පළමුවන ටෙලි නාට්‍ය අද්දැකීම තමයි ජානු කියලා කියන්නේ. එතැනදී මට හමුවන සෑම කෙනෙක්ම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ නළු නිළියන්. ඉතිං එයාලා මාව හරිම ආදරයෙන් භාරගත්තා. එතැනදී මම නොදන්න බොහොමයක් දේවල් ඒ අය මට කියලා දුන්නා. ඇත්තටම මම හිතනවා මම හරිම වාසනාවන්තයි කියලා. මොකද මගේ පළමුවන ටෙලි අද්දැකීම ජානු වීම නිසා.


ඉෂිනි රංගන ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව?


ඇත්තටම ඔව්. මම හරිම කැමැතියි රංගන ක්‍ෂේත්‍රයට. කාර්යබහුලත්වය නිසා මගේ ලියන කරන වැඩ තරමක් අතපසු වෙලා තිබෙනවා. ලේඛන කටයුතුත් ඉදිරියට අරගෙන යෑම අවශ්‍යයි. මේ ක්‍ෂේත්‍රයන් දෙකම සමබරව කරගෙන, මගේ අධ්‍යාපන කටයුතුත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.


නෝරාට ආදරය කරන අයට එළැඹෙන නව වසර පිළිබඳව මොකක්ද කියන්න තියෙන්නේ?


අලුත් අවුරුද්දේ වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම තැනකදීම මගෙත් එක්ක ආදරයෙන් ඉන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම ලෝකවාසී සියලුමදෙනාට ලබන්නා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


අනාගත බලාපොරොත්තු කිහිපයක්ම තිබෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු.


නිශානි සවින්දිකා




Previous Post Next Post