අපි වගේ අයට සෙකන්ඩ් චාන්ස් නැහැ- දිදුල ඉඳුවර




ඉතාමත් ළාබාල වයසකදී වේදිකාව තුළ දස්කම් පෙන්වමින් ගමන ආරම්භ කළ ඔහු ළමා වේදිකා නාට්‍ය නළුවෙක් ලෙස රාජ්‍ය සම්මාන උළෙලේදී කිහිප වරක්ම සම්මානයට පාත්‍ර වූවෙක්.  අද වන විට තරුණ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඔහු ඉන් ඔබ්බට අන්තර්ජාතික සම්මාන රැසකට පාත්‍ර වූ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ද වෙනවා. මෙරට කලාව තුළ බොහෝ දුර ගමනක් යෑමට ශක්‍යතාව ඇති බව අවශ්‍ය පමණටත් වැඩියෙන් පෙන්නුම් කර ඇති ඔහු නමින් දිදුල ඉ¾දුවර. 


ඔබ ගැන තොරතුරු ටිකක් කියලම කතාව පටන් ගමු?


මම දිදුල ඉ¾දුවර. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සිවු වන වසරේ අධ්‍යාපනය ලබනවා. මම හදාරන්නේ ෆිල්ම් ස්ටඩීස්. ඊට අමතරව රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක් වගේම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරනවා. පවුලේ විස්තර ගැන කතා කළොත් මට ඉන්නේ අම්මයි, අප්පච්චියි, නංගියි


රංගනයට අඩිතාලම වැටුණු ආකාරය ගැන මතක් කරමු?


රංගනයට අඩිතාලම වැටෙන්නේ මගේ පාසල හරහා. 6 වැනි ශ්‍රේණියේදී මම හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයට ඇතුළත් වෙනවා. එතැනදී මට මගේ පන්තිභාර ගුරුතුමාව හමුවෙනවා. ඔහු පුබුදු සුභාෂණ. ඔහු හරහා තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සිදුවුණේ. ඔහු හරහා මම පාසල් වේදිකාවට සම්බන්ධ වෙනවා. මගේ පළමු වැනි වේදිකා නාට්‍ය ‘චූටි බබා ලොකු ළමයෙක්’. ඒක වෙනුවෙන් මට 2011 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ රංගනය සඳහා වන විශිෂ්ට කුසලතාවක් හිමි වෙනවා. ඉන් අනතුරුව 2012 වර්ෂයේදීත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ‘මමයි මමයි හරි යාළුයි’ කියන නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය හිමි වෙනවා. ඒ වගේම එම වසරේදීම පාසල් නාට්‍ය උළෙලේදීත් මට හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා සම්මාන දෙකම හිමි වෙනවා.


වේදිකාවෙන් පුංචි තිරයට සම්බන්ධ වුණේ කොහොමද?


රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවා වීම හරහා ලැබුණු ජනප්‍රියත්වය හරහා තමයි මට පුංචි තිරයට එන්න අවස්ථාවක් ලැබෙන්නේ. මාව පුංචි තිරයට මුලින්ම සම්බන්ධ කරගන්නේ සමන් කුමාර ලියනගේ සර්. ඒ ඔහුගේ ‘පිත්තල කොන්ඩෑරුම’ නාට්‍යයට. ඉන් අනතුරුව මට 2012 වර්ෂයේදීම මට සමන් කුමාර ලියනගේ සර්ගෙම සඳසාවි කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන ළමා නළු චරිතය හිමි වෙනවා. 2014 පමණ මට ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මාමාව හමුවෙනවා. ඔහු ළමා නාට්‍යයක් කළා ‘නිර්භීතයි අපි‘ කියලා. ඉන් අනතුරුව තමයි මම ශිවා මාමා සමඟ වැඩ කරන්න පටන් ගන්නේ. ඒ වගේම සුරංග සතරසිංහ මාමාගේ නාටක මාරයි වගේ නාට්‍යවල රඟපෑවා.


ඔබ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් නාට්‍යයක් අධ්‍යක්ෂණ කරනවා නේද?


උසස් පෙළ කරන කාලයේ ඒ කියන්නේ 2016දී මම මගේ ප්‍රථම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය සිදු කරනවා ‘වැට අද්දර’ නමින්, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන්. ඒ වසරේදී එම නාට්‍යය හොඳම නාට්‍ය බවට පත්වෙනවා වගේම, මටත් හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබෙනවා. ඒ වගේම එම උළෙලේම අපේ සර්ගේ නාට්‍යයක් යනවා විවෘත අංශයෙන් ඒ නාට්‍යයටත් මම සම්බන්ධ වෙනවා. ඒ වෙනුවෙන් මට හොඳම රංග වින්‍යාස ශිල්පියා වෙනුවෙන් සම්මානයක් හිමි වෙනවා.


හොඳම ළමා නළුවා ඇයි උසස් අධ්‍යාපනය සඳහා ෆිල්ම් ස්ටඩී තෝරාගන්නේ?


ඇත්තටම 2015දී පමණ ඉඳලා චිත්‍රපට බලලා, බලලා මට චිත්‍රපට පිස්සුවක් හැදිලා තිබුණේ. ඒ සමඟම ෆිල්ම් හදන්න වුවමනාවක් ආවා. ඒත් එක්කම උසස් පෙළ අවසානයේ මම කල්පනා කරනවා ඩ්‍රාමා කරන්නද. ෆිල්ම් කරන්නද කියලා. අවසානයේ ෆිල්ම් තෝරාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට අයැදුම් නොකර මම ශ්‍රීපාලියට යනවා.


සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණේ ඒ හරහාද?


විශ්වවිද්‍යාලයේදී මම මගේ පළමු කෙටි චිත්‍රපටය හදනවා. ඒක “Money For a life”. ඒක අධ්‍යක්ෂණය හා තිර පිටපත මගේ. ඒක නිෂ්පාදනය කරන්නේ ශාරද් චන්දුම. ඔහු ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ පුතා. ඒ චිත්‍රපටය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පවත්වපු චිත්‍රපට උළෙලේදී හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය කියන සම්මාන ලබා ගන්නවා.


The silent Honeymoon ගැනත් කතා කරමු?


The silent Honeymoon සහ Mojo තමයි මම අවසානයට කළ කෙටි චිත්‍රපට දෙක. The silent Honeymoon ගැන කතා කරනවා නම් එයට රංගනයෙන් එක්වෙන්නේ කුසල් මධුරංග අයියා. ඒ කෙටි චිත්‍රපටය මේ වෙද්දී දේශීය හා අන්තර්ජාතික සම්මාන 15කට ආසන්න ප්‍රමාණයක් දිනා ගෙන තිබෙනවා.


ඔබ දැන් රංගනයෙන් අෑත් වෙලාද?


නෑ. මම මේ වෙද්දිත් රංගනයේ යෙදෙනවා. කාලයක් උසස් අධ්‍යාපන කටයුතු නිසා රංගනයෙන් අෑත් වෙලා සිටියත් 2022 පමණ මම පාර වසා ඇත නාට්‍යය හරහා නැවතත් රංගනයට එකතු වෙනවා. මේ වෙද්දි මම සල්ලි පොකුරු නාට්‍යය සමඟින් එකතු වෙලා ඉන්නවා.


තරුණයෙක් විධියට මේ කලා ක්‍ෂේත්‍රය පිළිබඳව ඔබේ දැක්ම?


ආයුශ්මන් කුරානා දවසක් කියනවා “අපි වගේ අයට සෙකන්ඩ් චාන්ස් නැහැ. අපි බැට් කරනවා නම් පළමු වැනි පාරම බැට් කරන්න අවශ්‍යයි. බැට් කරගන්න බැරි වුණත් සෙකන්ඩ් චාන්ස් නැහැ.” කියලා. ඇත්තටම අපේ දක්ෂතාව මත තමයි සියල්ල තීරණය වෙන්නේ. මම වුණත් දිනපතා රංගනය පුරුදු වෙනවා. මිරර් එක්සසයිස් කරනවා. අපේ කැපවීම මත තමයි අපේ ගමන තීරණය වෙන්නේ.


ඉදිරි කටයුතු ගැනත් මතක් කරමු?


මේ වෙද්දි සල්ලි පොකුරු තිරගත වෙනවා. ඒ වගේම අට පාස් වෙබ් සීරිස් එකේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා ඉදිරියේදි.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post