සිනමා රංගනයෙන් ජාත්‍යන්තරයට පා එසවූ පෙරගමනක සුබ ලකුණක් - බුද්ධික ජයරත්න




රංගධරයෙක් සතු ''රංග ප්‍රතිභාව'' සියලු දේශසීමා අතික්‍රමණ කොට මනුෂ්‍ය වර්ගයාගේ සංවේදනා අවදි කරවන්නක්. එහෙත් සියලු සීමා පරයමින් ලෝකය ජයගන්නට, අප වැනි කුඩා රාජ්‍යයන්වල වෙසෙන රංගවේදීන්ට අවස්ථාව බොහොම අල්පයි. ''බුද්ධික ජයරත්න'' වර්තමානයේ ඒ අවස්ථාව උදාකරගත් අපේ රංගධරයෙක්. ඔහු ජාත්‍යන්තර සිනමා අත්දැකීම් ද්විත්වයක, ප්‍රධාන සිනමා භූමිකා මත ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරන්නට සමත්ව සිටිනවා.


එම නිසාම බුද්ධික ජයරත්න නම් රංගධරයාගේ කතාව සිනමා වංශකථාව මත සලකුණු කොට තබන්නට අප මෙය අවස්ථාවක් කොටගත්තා. බුද්ධිකත් සමඟ සංවාදයකට එළඹුණේ නිදහස් මොහොතක. ඒක දීර්ඝ සංවාදයක්. අපි කතාව ආරම්භ කළේ සහශ්‍රයේ ආරම්භක වසරින්.


''2000 දෙසැම්බර් මාසෙ තමයි මම රංගන ශිල්පියෙක් කියලා මිනිස්සු දැනගත්තේ. උදකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරපු, සෝමා එදිරිසිංහ නිෂ්පාදනය කරපු 'රෝස වසන්තය' සිනමා නිර්මාණයෙන් තමයි මගේ ගමන ආරම්භ වුණේ. ඒ සිදුවීමට දැන් 23ක්. ඒත් ඇත්තටම ඒක අහම්බයක්...''


ඒ අහම්බය, අහම්බයක්මද කියලා හිතෙන තරමට බුද්ධිකගෙ කතාව හරිම සුවිශේෂියි. බුද්ධික පෞද්ගලික ආයතනයක සේවය කරපු ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. (costume designer) විනෝදයට වගේ විලාසිතා ප්‍රදර්ශන ආදිය වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කරමින් හිටපු බුද්ධිකට තිබුණු ආසාවක් තමයි ''වාණිජ'' චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කිරීම. උදයකාන්ත වර්ණසූරිය නම් සිනමාවේදියා ඔහුට ඒ අවස්ථාව ලබාදුන්නා.


''මේ චිත්‍රපටයේ අතිශය ආකර්ෂණීය වුණු දෙවැනි ප්‍රධාන චරිතය සඳහා මට අවස්ථාවක් ලැබුණා. හරියටම ඒ චරිතයේ රෑගත කිරීම්වලට දවස් දෙකකට කලින්. රංගන ශිල්පියෙක් වෙන්න හිතේ පොඩි ආසාවක් තිබුණට, කුමන හෝ සිතිවිල්ලක් නිසා මම ඒ අවස්ථාව ඉල්ලලා තිබුණේ නෑ. ඒත් අහම්බයකින් ඒ අවස්ථාව මට උදාවුණා.''


රෝස වසන්තය' ශ්‍රී ලාංකික වාණිජ සිනමාවේ වර්තමානික ප්‍රවේශයේ සලකුණුගත නිර්මාණයක්. ඒ නිසාම ජනප්‍රියම චිත්‍රපටය විදියට මේ නිර්මාණය ගෞරවයට පාත්‍ර වුණා. ඒ එක්කම අලුතින් සිනමාවට ආපු මේ අපූරු නළුවා පිළිබඳ කතාබහක් කර්මාන්තය තුළ ඇතිවෙන්න පටන් ගත්තා. වාසනාව සහ අහම්බය පරයා යන ප්‍රතිභාවක් ඔහු තුළ ඇති බව වටහාගන්නට ශ්‍රී ලාංකික සිනමාවේදීන් අසමත් වෙන්නේ නැහැ. උදයකාන්ත වර්ණසූරිය පිට පිට සිනමා නිර්මාණ තුනකට බුද්ධික ජයරත්නව යොදාගත්තා. ''ලේ කිරි කඳුළු'' සිනමාපටයත් ඒ අතරින් ජනප්‍රිය නිර්මාණයක්.


මේ අතර තවත් බොහෝ අධ්‍යක්ෂවරු බුද්ධිකට කතා කළා.


''සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරපු 'සමාරා' මගේ ගමන්මගේ තවත් සලකුණුගත නිර්මාණයක්. ඒ කාලේ ලොකු රික්තකයක් තිබුණා, මම හිතන්නේ ප්‍රති වීරයකුගේ චරිතයක් පිළිබඳව. මේ කාලේ චරිතාංග නළුවෙක් වෙනවද? මොකක්ද කරන්නේ? කියන එක පිළිබඳව මට ලොකු අදහසක් තිබුණේ නැහැ. ඒත් මට අවශ්‍ය වුණේ චරිතයක් කළුද සුදුද අළුද කියලා බලන්නේ නැතුව යථාර්ථවාදී චරිත නිරෑපණය කරන්න.''


රංගධරයෙක් තුළ උපදින මේ අදහස සියලු නිම්වළලු බිඳගෙන ඔහුට ඓතිහාසික ගමනක් යන්න ශක්තියක් වන බව, අද කතාව අවසානයේ අපිට සහතික කරලා කියන්න පුළුවන්.


මේ අතර තවත් සුවිශේෂී සිනමාන්තික අභියෝගයක් බුද්ධික ජයරත්න වෙත ලැබෙනවා. ඒ අභියෝගය තමා සිංහල සිනමාවේ දැවැන්ත නිර්මාණ බිහිකළ නීල් රෑපසිංහයන්ගේ ''හතර දෙනාම සූරයෝ'' නිර්මාණයට දායක වීම. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා එදා පණපෙවූ චරිතයට නැවත පණදීමේ අභියෝගය බුද්ධික වෙනස්ම විදිහකට බාරගත්තා.


''මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අවසානයේ මම තීරණය කළා ඔහුව කිසිවිටෙකත් අනුකරණය නොකර, මට ලැබුණු පොඩ්ඩෙ කියන චරිතය කරන්න. එසේ නොකළා නම් මගේ ගමන අවසන් වෙනවා. මොකද මට සිද්ධ වුණේ සිනමා සක්විති පණ පෙවූ චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න. කොහොම හරි මම වාසනාවන්ත වුණා, දක්ෂ වුණා සහ මට සහයෝගය ලැබුණා, මගේ සිනමා ගමන ඒ නිර්මාණයෙන් ඉවර නොවෙන්න වග බලාගන්න...''


ශ්‍රී ලාංකික සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය කලාවේ සුවිශේෂී චරිතයක් වුණ ජයන්ත චන්ද්‍රසිරි නම් අධ්‍යක්ෂකවරයා මුණගැසීම බුද්ධික ජයරත්න රංගන ශිල්පියාගේ කතාවේ තවත් හැරවුම් ලක්ෂයක් වුණා.


''එතුමා මාව යොදාගන්නවා සතර දෙනෙක් සෙන්පතියෝ කියන ටෙලි නිර්මාණයට. ඒ නිර්මාණයට දායක වෙච්ච කාලය රංගනය පිළිබඳ සරසවි අත්දැකීමක් වගේ. එච්චර කාලයක් මම සංසාර පුරුද්දට ඉවෙන් වගේ කරපු දේවල්වලට රසිකයෝ හොඳයි කියලා කිව්වා. ඒත් මිනිස්සුන්ට දැනෙන්න කොහොමද රඟපාන්නේ කියන එක මම ඉගෙන ගත්තේ ඒ කාලය තුළ.''


ටෙලි නාට්‍ය කලාව තුළ මේ මොහොතේ පවා බුද්ධික ජයරත්න නම් චරිතයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති බව සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් ඔහුගේ රංග ප්‍රතිභාව වඩාත් සුවිශේෂී ලෙස කැපී පෙනෙන්නේ සිනමා කර්මාන්තය තුළ. උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ''සෙනසුරු මාරුව'' බුද්ධික දායකත්වය ලබාදුන් තවත් විශිෂ්ට නිර්මාණයක්. එහිදී බුද්ධික විශිෂ්ට රංගධරයෙක් විදිහට ඇගයුමට පවා ලක්වුණා. 


ප්‍රතිවීර චරිත නිරෑපණයෙහි ලා ඔහු පෙන්වූ සුවිශේෂී සමත්කම මේ නිර්මාණය හරහා සම්මානයට පාත්‍ර වුණා. දෙරණ ලක්ස් දෙවැනි සිනමා සම්මාන උළෙලේ ''හොඳම නළුවා - ප්‍රතිවීර'' සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. සිංහල සිනමා වංශකතාවේ ප්‍රතිවීර චරිත ඇගයුමට ලක් වූ අවස්ථා බොහොම අල්පයි. ඒ නිසාම මෙය සිංහල සිනමා වංශකතාව තුළත් සුවිශේෂී සලකුණක්.


ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ පසුගිය වසරේ ප්‍රදර්ශනය වුණු ''මිදුණු විශ්වය'' සිනමා නිර්මාණයත් බුද්ධික ජයරත්නගේ රංගන ජීවිතයේ කඩඉමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. සිනමා විචාරකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් පවා බුද්ධිකගේ මෙම නිර්මාණ දායකත්වය පිළිබඳ ඉහළ ඇගයුමකින් කතා කළා. ඔහුගේ රංග ප්‍රතිභාවය වර්ධනය පිළිබඳ කතා කිරීමට සැබෑවට මේ නිර්මාණය පැහැදිලි සාධකයක්. මේ වෙනකොට බුද්ධික සිනමා පට පමණක් විසිපහකට අධික සංඛ්‍යාවකට දායක වී තිබෙනවා.


2021 වසර බුද්ධික ජයරත්න නම් රංගන ශිල්පියාගේ රංගන ජීවිතය නව මානයක් කරා රුගෙන ගිය වසරක්. ශ්‍රී ලංකාවේදී රෑපගත වුණු ''ARUGAM BAY'' නම් ජාත්‍යන්තර සිනමා පටයේ ප්‍රධාන භූමිකාවකට පණ පෙවීමට බුද්ධිකට අවස්ථාව උදාවෙනවා. ඊශ්‍රායල සිනමාපටයක් වූ මේ චිත්‍රපටය නිර්මාණය කළේ MARCO CARMEL විසින්.

ලංකාවේ අපිට ජාත්‍යන්තර නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න අවස්ථාව ලැබෙනකොට, ප්‍රධාන චරිත ලැබීමේ අවස්ථාව හරි අඩුයි. ජාත්‍යන්තර නිර්මාණ සඳහා දායක වුණු සියයට අනූවක් විතර දෙනාට එහෙම වෙලා තියනවා. මට මේ නිර්මාණය තුළ ප්‍රධාන කතා ධාරාවට සම්බන්ධ සුවිශේෂී චරිතයක් ලැබුණා. ඒක ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්. මේ නිර්මාණය සඳහා සනත් ගුණතිලක, අශාන් ඩයස් වගේ වගේ රංගන ශිල්පීනුත් දායක වුණා.''


ඉතාම නුදුරේදී මේ නිර්මාණය ඊශ්‍රායලය සහ යුරෝපීය කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. මේ වනවිටත් මේ නිර්මාණය විශේෂ දර්ශන කිහිපයක් තිරගත වී ඇති නිසාම, මේ විශිෂ්ට නිර්මාණයක් වනු ඇති බවට බොහෝ අනාවැකි පල වී තිබෙනවා.


මේ ජාත්‍යන්තර නිර්මාණයෙන් පසුව ඊළඟ ජාත්‍යන්තර නිර්මාණය සඳහා බුද්ධික ජයරත්න වෙත ආරාධනා ලැබුණේ ඕස්ට්‍රේලියාවෙන්. ඒකත් බොහොම සුවිශේෂි අවස්ථාවක්. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ධාරාවේ සිනමා වෙනුවෙන් මේ නිර්මාණය සිදුකරන්නේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරයෙක් වන හර්මන් පෙරේරා විසින්. ඔහු ඕස්ට්‍රේලියාවේදී සිනමාව පිළිබඳ උපාධියක් ලද, කෙටි චිත්‍රපට සඳහා සම්මාන ලැබූ අධ්‍යක්ෂකවරයෙක්.


''මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ආසියාතිකයෙකුගේ චරිතයක්. ඒ නිසයි අධ්‍යක්ෂකවරයා මට මේ සඳහා ආරාධනා කළේ. මම විතරයි මේ නිර්මාණය තුළ ශ්‍රී ලාංකිකයෙක් හැටියට වැඩ කළේ. පසුගිය වසරේදී චිත්‍රපටයේ සියලු වැඩකටයුතු මම අවසන් කළා.''


Sunny’s Mansion නම් වූ මෙම ඕස්ට්‍රේලියානු සිනමාපටය මෙම වසරේදී ඕස්ට්‍රේලියාවේදී තිරගතවීමට නියමිතයි. බොහෝවිට මේ නිර්මාණය Netflix පවා අන්තර්ගත විය හැකි බව කියවෙනවා.


සැබවින්ම බුද්ධික ජයරත්න නම් රංගධරයා නව රංග පරිච්ඡේදයක් ලියමින් සිටින බව පැහැදිලියි. තවත් කඩඉම් කිහිපයකින් ඉක්බිති, සමස්ත ශ්‍රී ලාංකික සිනමාව ඉල්ලා සිටින ජාත්‍යන්තර අගුල විවර කරලීමට මේ බුද්ධික සමත් වනු ඇතැයි අපට සිතෙනවා. අපේ කතාබහ අවසානයේ ඔහු අපට කියා සිටියේ මේ හුදකලා ගමනක් නොවනු ඇති බවයි. තවත් බොහෝ දෙනාට ඒ ගමන යාම සඳහා බුද්ධික යමින් සිටින්නේ පෙරගමනක්. එය නව මාවතක් සකසා ගනිමින් යන ගමනක්. එහෙත් එය ඔහු ජය ලබාවි.


''අපි එකෙකු ලොව දිනනු දැකීම තරම් සතුටක් මේ දූපත් රාජ්‍යයේ මිනිසුන් ලෙස අපට තවත් ඇද්ද?”





Previous Post Next Post