මව් කිරි වල රස මම දන්නේ නැත,පෙර සසරෙත් මා පවු කරලා ඇත - මාලිංග තැබූ සංවේදී සටහන

 


මාලිංග කියන්නේ ලංකාවෙන් බිහිවුණ සුපිරි පන්දු යවන්නෙක්.ලංකාවෙන් බිහිවෙලා ලෝකයම ජයගත්තු මාලිංග මේ වෙද්දි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමු අරගෙන ඉන්නේ.මෙහෙම ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තත් ඔහු මේ වෙද්දී ඉදිරි ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේදී එහි ප්‍රධානතම කණ්ඩායමක වේග පන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කරන බවට සඳහන්.මාලිංග මේ වෙද්දි අලුත් වැඩක් පටන් අරන්.ක්‍රීඩාවට දක්ෂ මාලි මේ වෙද්දි ගීත කිහිපයක්ම නිර්මානය කරපු ගීත රචකයෙක්ද වෙනවා.මෑතකදී ඔහු ලියපු "මව් කිරි"ගීතය මේ වෙද්දී ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා.මේ ඒ ගැන මාලිංග තැබූ සටහනක්.


"මම ක්‍රීඩා පිටියට සමු දුන්නට පස්සේ, හිතේ තිබුණු ලොකු ආසාවක් වුනේ අවුරුදු 17 ක්‍රිකට් පිටියෙන් ලැබූනු අත්දැකීම් වලින්, ඉගෙන ගත්තු හොදම දේවල් ටික එකතු කරපු පොතක් ලියන එක.ඒක හිතේ තියාගෙන කොලයක් පෑනක් අතට අරගෙන ක්‍රිකට් ගැන විතරක් ලියන්න වාඩි වුනු මට, මමත් කුඩා කොටසක් වුනු මහ සංකීර්ණ ජීවිත කතා, සුන්දර ආදරණීය සැමරීම්, කටුක කර්කශ වේදනාවන් වලින් පිරුණු සමාජයක, අපි හැමෝම මිනිත්තු තප්පර වලින් ගෙවන ජීවිත ගැන මට දැනුණු හැගීම්, පෑනයි කොලෙයි අතේ තිබුණු නිසා ඉබේම වගේ වචන වලට පෙරළන්න හිතුවේ, ගිතයක්ද කවියක්ද නිසදැසක් ද කියල හිතලා වත් නෙවෙයි.


ඒ විදියටයි "මව්කිරි" ගීතය ලියවුණේ.


"මව් කිරි වල රස මම දන්නේ නැත

පෙර සසරෙත් මා පවු කරලා ඇත

මහමග ඈය මා තනි කරලා ඇත

අගුපිල් වල මට දෙව්ලොව සැප නැත

දෙව්ලොව සැප නැත

මවකගෙ සෙනාහස ලබන්න පිං නැති

මා වැනි දරැවන් ලොව තුල තව ඇති

ලෝකය ඈ හට දොස් පවරන්නැති

ඒ හින්දා මන් ලොව තනි වෙන්නැති

මං තනිවෙන්නැති

මා අත්හල ඔබ දුකෙන් තැවෙන් ඇති

මගෙ බඩ ගින්නද ඔබට දැනෙන් ඇති

කන බෙන හැම විට කදුලු වැටෙන් ඇති

සසර ගමනෙ මම කල පව් වෙන්න ඇති

කල පව් වෙන්න ඇති

මව් කිරි වල රස මම දන්නේ නැත

පෙර සසරෙත් මා පවු කරලා ඇත

මහමග ඈය මා තනි කරලා ඇත

අගුපිල් වල මට දෙව්ලොව සැප නැත

දෙව්ලොව සැප නැත"

මේ වචන වලට පනක් දෙන්න හඬක් හොයන්න මට ලොකු වෙලාවක් ගත වුනේ නැහැ.මට හොදින්ම දැනිච්ච, සියුම් විදියිට අපිව සංවේදී කරන්න පුළුවන් වෙනස් ම හැකියාවක් තියෙන කොල්ලෙක්. වචන ටික මංගල එක්ක බෙදා ගත්තාම ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරය, ඔහුට දැනුණු විදිය අවසානයේ මම වත් මංගලවත් හිතුවේ නැති විදියේ සංවේදී නිර්මාණයක් වගේම මිනිස්සු වැළඳ ගත්තු නිර්මාණයක් වුණා."




Previous Post Next Post