නිරූපණ ක්ෂේත්‍රයක් නැති තරම්- පියුමි ශ්‍රීනායක




මන බඳනා රූ සපුවකින්ද, අහිංසක සතුන් කෙරෙහි පවා උණුවන හදවතකින්ද හෙබි ඇය මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. රංගනයට එක්වූ දා සිට මේ වන තෙක් තම ජනප්‍රියත්වය එක ලෙස රඳවා ගැනීමට සමත් වූ ඇය දායක වූ සෑම නිර්මාණයක්ම පාහේ සාර්ථක වූයේ ප්‍රේක්ෂක අවධානය දැඩි ලෙස දිනා ගනිමිනුයි. ලෝකවාසී සියලුම දෙනා හට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමින් මෙවර  කතාබහට එක් වූ ඇය නමින් පියුමි ශ්‍රීනායකය. අලුත්ම විස්තර ටිකක් කියලම පටන් ගමු?


මේ දවස්වල මගේ අලුත්ම ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා ඕකේ බොස් නමින්. ඒක කොමඩි ඩ්‍රාමා එකක්. ගොඩක් සීනියර් ආර්ටිස්ලාත් එක්ක තමයි ඒකේ වැඩ කරන්නේ. හරිම ලස්සන වැඩක්. හැමෝටම ආරාධනා කරනවා ඒ නිර්මාණය නරඹන්න කියලා.


ඕකේ බොස්හි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් මතක් කරමු?


ඒක මම කැමැත්තෙන් භාර ගත්ත චරිතයක්. මොකද මේක ප්‍රහසන නාට්‍යයක් වුණත් සමාජයේ ඇත්තටම සිදුවෙන දේවල් පිළිබඳව තමයි මේකේ කතා කරන්නේ. ඒ නිසා මම ඒ චරිතයට ගොඩක් කැමැතියි. ඒ වගේම ඉතාමත් හොඳ ප්‍රතිචාරත් මේ වෙද්දි ලැබෙමින් පවතිනවා.


ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණු නිර්මාණයක් තිබෙනවද?


මගේ ගොඩක් ටෙලි ඩ්‍රාමා ජනප්‍රිය වුණා. මම කරපු නිර්මාණවලින් මුලින්ම ගොඩක් ජනප්‍රිය වුණේ වෙස් කියන ටෙලි ඩ්‍රාමා එක. ඒක ගොඩාක් ආදරෙන් ජනතාව වැලඳ ගත්තා. ඒ අතරතුර කරපු අනෙක් නිර්මාණත් ගොඩක් ජනප්‍රිය වුණා. නමුත් යූටියුබ් ට්‍රෙන්ඩින් 1 වෙන තරමට ජනප්‍රිය වුණු මගේ පළමු නිර්මාණය තමයි වෙස්. අනිත් එක පාර දිගේ ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යයත් ගොඩක්ම ජනතාව අතරට ගියා. ඒ දෙක තමයි අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව මාව ජනතාව අතරට වැඩියෙන් අරගෙන ගියේ. නමුත් මම සම්බන්ධ වුණු හැම නිර්මාණයක්ම වාගේ ජනප්‍රිය වුණා.


ඔබේ සිනමා ආගමනය ගැනත් කතා කරමු?


මම මේ වෙද්දි සිනමා නිර්මාණ දෙකක් වෙනුවෙන් දායකත්වය ලබාදීලා තිබෙනවා. ඉන් එකක් නිර්මාණය වුණේ ඕස්ට්‍රේලියාවේ සිනමා සම්මාන උළෙලක් සඳහා.  අනෙකුත් නිර්මාණයත් ඉක්මනට තිරගත වෙයි කියලා හිතනවා. ඇත්තටම මම සිනමාවට වඩා ගොඩක්ම කැමැති ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට. ඒක නිසා වැඩි අවධානයක් ලබා දීලා තිබෙන්නේ ටෙලි නාට්‍ය සඳහා.


ඔබ ක්ෂේත්‍රයට එන්නේ නිරූපණ ශිල්පනියක් විධියට. දැන් නිරූපණය මඟඇරිලද?


අපි නිරූපණ ක්ෂේත්‍රයට එන කාලේ අදට වඩා ගොඩක් වෙනස්. නමුත් මෑතක ඉඳලා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයක් නැති තරම්. මොකද අද වෙද්දි මේ ක්ෂේත්‍රයට සුදුසු, නුසුදුසු අය හැමෝම එකතු වෙලා, ක්‍රවුන් සල්ලිවලට විකුණන තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රයට ඇතුළත්වීමේදී බලපු නිර්ණායකයන් තිබුණා ඒ කාලේ. නමුත් අද වෙද්දි ඒ නිර්ණායකයන්වලට ගැළපෙන, නොගැළපෙන හැමෝම ඒකට ඇතුළු වෙලා. ඒක නිසා මම හිතන්නේ නැහැ ලංකාවේ හරි නිරූපණ ක්ෂේත්‍රයක් තිබෙනවා කියලා දැන්. ඒක නිසා මම දැන් මගේ පූර්ණ අවධානය රංගනයට යොමු කරලා තිබෙන්නේ.


ලංකාවේ ඇතුළේ නිර්මාණවලින් ලැබෙන ආදායම සමඟින් රංගන ශිල්පනියකට අත්‍යවශ්‍ය වන පෙනුම නඩත්තු කිරීමේ කටයුතු කරගන්නේ කොහොමද?


අපේ නම බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණාට පස්සේ රූපලාවණ්‍යාගාරයකට ගියත්, සත්කාරයක් කළත් මේ ඕනෑම දෙයකදි අපිට අනුග්‍රාහකයන් ඉන්නවා. ඒ වගේම ඔවුනුත් අපේ නම භාවිත කරලා ඔවුන්ගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්නවා. මම හිතනවා ඒක වරදක් නෙවෙයි කියලා. අපි බොහොම මහන්සි වෙලා අපේ නම ගොඩනඟාගත්තට පස්සේ එයින් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍යයි. ඉතින් පෙනුම නඩත්තු කිරීම සඳහා මට කිසිම වියදමක් නැහැ. ඒ හැමදේටම මට අනුග්‍රාහකයන් ඉන්නවා.


මෙතෙක් කාලයක් පුරාවට කරන්න බැරි වුණු චරිතයක් හෝ එක් වෙන්න ආසාවෙන් ඉන්න නිර්මාණයක් තිබෙනවද?


ඇත්තටම මම පීරියඩ් ඩ්‍රාමාවලට ගොඩක් කැමැතියි. ඒ වගේ එකක් මම තාමත් කරලා නැහැ. මොකද මෙගේ පෙනුමත් එක මට ගොඩක් ලැබෙන්නේ වෙස්ටර්න් චරිත. නමුත් මම හිතනවා මට ඊට වඩා යමක් කළ හැකියි කියලා. ඉතින් ඒ වගේ නිර්මාණයකට දායක වෙන්න තිබෙනවා නම් ගොඩක් කැමැතියි.


රංගනයට එකතු වෙන්න ඒ පිළිබඳව හැදෑරීමක් අත්‍යවශ්‍යද?


ඔව්, අත්‍යවශ්‍යයි. රංගනය කියන්නේ කැමරාවක් ඉදිරියට ගිහින් දෙබස් කීම නෙවෙයි. අපි හුස්ම ගන්න රිද්මය පවා පාලනය කළ යුතුයි ඇතැම් අවස්ථාවලදි. ඒ නිසාම රංගනය සම්බන්ධයෙන් මූලිකම අදිරයේ සිට ඉගෙනීමක් අවශ්‍යයි. මම රංගනය හදාරලා තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. අනෝජා වීරසිංහ මහත්මිය, අතුල ජයසිංහ මහත්මයා, සුගත් සමරකෝන් මහත්මයා වගේ ගොඩක් ගුරුවරු ළඟ මම මේ පිළිබඳව හැදෑරීම් කළා.  එතැනදි අපිට මූලික අදියරේ ඉඳලා සියල්ල ගැන පුහුණුව ලැබුණා. ඉන් අනතුරුව ලබන අත්දැකීම් හරහා නරඹන නිර්මාණ හරහාත් බොහෝ දේ ඉගෙන ගත්තා. මමත් තාම ඉගෙන ගනිමින් රඟපාන කෙනෙක්.


පියුමි සත්තුන්ට බොහොම ආදරේ කෙනෙක්?


ඒක ඇත්තටම එන්න ඇත්තේ මගේ පවුලෙන්. අපේ අම්මායි, තාත්තයි හරිම කැමැතියි සත්තුන්ට. පාරක දැක්කත් පොඩි පූස් පැටියෙක් ගෙදරට ගේනවා. ඒ දේවල් දැකලාම අපිටත් ඒ දේවල් ඉබේම පුරුදු වුණා. මගේ මල්ලිත් සත්තුන්ට බොහොම කැමැති කෙනෙක්. දැනට වුණත් අහිංසක සතෙක් පාරක හිටියත් එයාලා අසනීපයක වගේ නම් බෙහෙත් කරලා හරි තියාගන්නවා මම.


මල්ලිව මතක් කළ නිසා ඔහුගේ අහිමිවීම ජීවිතයට බලපාපු ආකාරය ගැනත් කියමු?


මම හිතනවා මගේ ජීවිතයේ ලබන්න පුළුවන් උපරිම දුක මම ලැබුවා කියලා. ඒ දුක, ඒ ශොක් එක  කොච්චරද කියන එක වචනවලින් කියන්න බැහැ. මම හිතනවා ඒ උපරිම දුක වින්දට පස්සේ එතැනින් එහාට මොන දෙයක් වුණත් දරාගන්න පුළුවන්. ඒකෙන් මම ජීවිතයට ගත්ත දෙයක් තමයි අපි මේ ජීවිතයෙන් ගෙනියන දෙයක් නැහැ කියන දේ. මේ මොහොතේ කළ යුතු දේ කරලා අනාගතය ගැන ලොකු ප්ලෑන් තියාගන්නේ නැතුව කිසිම දෙයක් ලොකුවට අල්ලගන්නේ නැතුව ලොකුවට බැ‍ෙ¾දන්නේ නැතුව ජීවත් වෙන්න අවශ්‍යයි කියන දේ මම ඒකේන් ඉගෙන ගත්තා.


ඉදිරියේදි එන්න තිබෙන අලුත් නිර්මාණ ගැනත් කතා කරමු?


ඇත්තටම මම සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ තුනක් ඉදිරියේදි එන්න තිබෙනවා. හොඳ අධ්‍යක්ෂකවරු කරපු හොඳ නිර්මාණ තුනක්. ඒ නිර්මාණ බොහොම ඉක්මනට විකාශය වෙයි කියලා හිතනවා.



Previous Post Next Post