අයියා නැති නත්තලක් මට නෑ- සුදත් ඇන්තනී




ජැක්සන් ඇන්තනී කතෝලික බැතිමතෙක් ලෙසින් ඔහුගේ ළමා කාලය එක්ක සුදත්ට තිබුණු මතකයන් කොහොමද?


අපේ ගම කතෝලික ගමක්. රාගම පොඩිවීකුඹුර කියන ගමේ අපේ වටේම පදිංචිවෙලා හිටපු බහුතරයක් කතෝලික අයයි. ඒ නිසා නත්තල කියන්නෙ අපිට ලොකු උත්සවයක්. නත්තලට අපේ ඈතින් ඉන්න නෑදෑයෝ, බෞද්ධ යාළුවෝ එකට එකතු වුණා. අපි දෙසැම්බර් මාසය පටන් ගනිද්දිම නත්තල සමරන්න පටන් ගත්තා. මුලින්ම අපි ලස්සන නත්තල් ගහක් හැදුවා. අද වගේ ඒ කාලේ කෘත්‍රිම නත්තල් ගස් තිබුණේ නැහැ. අපේ ගෙදර නත්තල් ගහ ඒ කාලේ මමයි හැදුවේ. මම වත්ත උඩහට ගිහින් ගහක අත්තක් කපාගෙන ඇවිත් තියෙන නූල්වලින්, ලස්සන දේවල්වලින් නත්තල් ගහ සැරසුවා. පිදුරු ටිකක් හොයාගෙන පුංචි ගව ලෙනක් හැදුවා. ඒ කාලේ කාඩ්බෝඩ් කෑලිවල පුළුවන් විදිහට දේව මෑණියෝ, ජේසු බබා, ජුසේ තුමා ඇදලා කපලා අපි ඒ කාඩ්බෝඩ් පින්තූර ගව ලෙනේ තිබ්බා.


මේ දේවල්වලට ජැක්සන් අයියත් උදව් කළාද?


ඔව් ඔව්.. ජැක්සන් අයියා මට වඩා අවුරුදු හතරක් වැඩිමහල්. එක අවුරුද්දක මම නත්තල් ගහකට අත්තක් කපාගෙන එන්න උඩට යන්න ලෑස්ති වෙද්දි &සුදත් ඔය ගස් කපන්න එපා. ඔයා වත්තට ගිහින් වැටිච්ච අත්තක් අරගෙන එන්න* කියලා කිව්වා. මාත් උඩහට ගිහින් කොස් ගහක බාගෙට කඩා වැටුණු අත්තක් අරගෙන ආවා. අයියා ඒ අත්ත ලොකු මල් පෝච්චියක දාලා මාවත් උදව් කරගෙන ඒ මුළු අත්තෙම පොතු ඇරියා. ඊටපස්සෙ ලස්සන සුදු ගහක එළියම ආවා. ඒ ගහේ අමුතු හැඩක් ආවා. අයියා අපේ ගේ පල්ලෙහා කුඹුරේ තිබුණු කිරිමැටිවලින් හරි ලස්සන දේව මෑණියෝ, ජුසේතුමා සහ ජේසු බබාගේ පිළිම තුනක් හදලා පොඩි ගව ලෙනේ තිබ්බා. නත්තල් ගහේ පොල්ලෙලිවලින් හරි ලස්සන කැටයම් නිර්මාණ හදලා නූල්වලින් නත්තල් ගහේ එල්ලුවා. ඒ අවුරුද්දේ අපේ නත්තල් සැරසිලි මාරම ලස්සනයි. අයියා හදපු පිළිම තුන අවුරුදු ගාණක්ම අපේ ගෙදර පුංචි ගව ලෙන ලස්සන කළා. අයියා සොබාදහමට, ගහකොළට පුංචි කාලේ ඉඳන් හරියට ආදරේ කළා. අපේ ගෙදර අයියා මැටියෙන් අඹපු බුදු පිළිමයක් තිබුණා මට හොඳය මතකයි.


පුංචි කාලේ නත්තලට පල්ලි ගිය මතකයනුත් ඇති?


ඔව්.. අපි හැමදාම නත්තල් පූජාවට පල්ලි ගියා. එදාට අම්මයි තාත්තයි අපි පස්දෙනාට කොහොමහරි අලුත් ඇඳුම් අරගෙන දුන්නා. ඒ අලුත් ඇඳුම් ඇඳගෙන අපි රූ දොළහේ පූජාවට රාගම පල්ලියට ගියා. මට තාම මතකයි අපි පස්දෙනාට ඉස්සරහින් යන්න දීලා අම්මයි තාත්තයි අපිට පිටිපස්සෙන් ආවා. අපේ තිබුණු දඟකාරකම් හැඩකාරකම් අම්මයි තාත්තයි පිටිපස්සෙ ඉඳන් විඳින්න ඇති කියලා අද මට හිතෙනවා. අපි මහ ලොකු සල්ලිකාරයො නෙවෙයි. ආණ්ඩුවේ රස්සාවෙන් ලැබුණු පඩියෙන් තමයි අම්මා හැමදේම කළේ. මොන අපහසුතා අමාරුකම් තිබුණත් නත්තලට අපි පස්දෙනාට ලස්සන ඇඳුම් පහක් ලැබුණා. හැබැයි ඒ ඇඳුම් තමන්ගේ වුණේ ඒ පළවෙනි දවසේ විතරයි. ඊටපස්සේ ඒ ඇඳුම් පහ අපි පස්දෙනාගේ පොදු ඇඳුමක් වුණා. කවුරුත් මාරු කරමින් ඒ ඇඳුම් ඇන්දා. මමයි මගේ බාල මල්ලියි හරි දඟයි. අපි අපේ ලොකු අයියට (සේනක) හරි බයයි. එයා හරි පිළිවෙලට හිටපු මනුස්සයෙක්.


 ජැක්සන් පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියද?


ඔව්.. හපුගොඩ අපේ ඉස්කෝලෙ ගීතිකා කණ්ඩායමේ ජැක්සන් අයියා පූර්ණකාලීන සාමාජිකයෙක්. එයාලට හොඳ ගීතිකා කණ්ඩායමක් තිබුණා. ඉරිදා පූජාවට අයියා ගීතිකා ගායනා කළා. නත්තල් මෙහෙය කියන්නේ අපේ ආගමේ හැටියට ලොකු මෙහෙයක්. ඒක හරි පිළිවෙලට ගෞරවාන්විතව කරන මෙහෙයක්. ඒ මෙහෙය වෙනුවෙන් එයාලා ගීතිකා පුහුණුවීම් කළා. අලුත් ගීතිකා ලිව්වා. ඒ ක්‍රියාකාරකම්වල ජැක්සන් අයියා දිගටම හිටියා.


නත්තලට රසවත් කෑම හැදීමත් එක්ක ඒ කාලේ හරි අපූරු මතකයක් තියෙන්න ඇති?


අනේ ඔව්.. අපේ ගෙදර කෑම හරි රසයි. අපි පස්දෙනාම හොඳට රසට කන්න දන්න අයයි. අපිට රස නැත්නම් කන්නෙ නැහැ. අපේ අම්මා හරි රසට ඉව්වා. අම්මා ඒ රස අපේ ආච්චිගෙන් ඉගෙනගෙන තිබුණා. නත්තල වෙනුවෙන් අම්මා හදන පැණි රස කෑම හදන්න මමයි උදව් කළේ. වැලිතලප, කැවුම්, අග්ගලා හදපු ඒ මතකයන් හරි සුන්දරයි. අම්මා කුස්සියේ ඒවා හදද්දි මම අම්මාට උදව් කළා. අයියලා ඇවිත් හොරෙන් කෑලි කඩාගෙන දිව්වා. හොරා කෑමට පවුලේ ප්‍රසිද්ධ මමයි. අපේ අම්මා ඒවා තැන් තැන්වල හැංගුවා. හැබැයි කොහේ හැංගුවත් මම ඒවා හොයාගත්තා. අපේ ගෙදර කෑමක් හැදුවාම ලොකු අයියයි ජැක්සන් අයියයි මම ළඟට ඇවිත් අපේ පල්ලියේ ස්වාමි මම කියලා මට අම්මගේ ගවුමක් අන්දවනවා. එතකොට පල්ලියේ පූජාව තියන්නෙ මමයි. ඉතින් අපේ ආගමේ සප්‍රසාදය ලබද්දි දණ ගහගෙන ඉන්නකොට පූජකතුමා ඇවිත් කටට ''පූප'' තියනවනෙ. ඒ පූපට මට දීපු රසකැවිලි අරගෙන ස්වාමි විදිහට ඇඳපු මම මගේම රසකැවිලි අයියලාට කැව්වා. මගේ රසකැවිලි නැතිවුණාට මට රඟපාන්න ලැබුණු ඒ ස්වාමිගේ චරිතය ඒ කාලේ මට හරි වටිනවා. මගේ අතේ තියෙන රසකැවිලි ඉවර වෙනකම් මම අර දෙන්නට ඒ කෑම ටික කැව්වා. ඒ කෑම ඉවර වුණාට පස්සේ මම කෑගහලා ඇඬුවා.


 ජැක්සන් මුලින්ම සුදත්ට දීපු නත්තල් තෑග්ග මතකද?


ඔව්.. මුලින්ම අයියා මට නත්තලට ලස්සන පෑනක් දුන්නා. මට ඒකෙ නම පවා හොඳට මතකයි. ඒක දම් පාට පෑනක්. ජැක්සන් අයියගේ මුල්ම රුකියාව වුණේ චිත්‍ර කතා ඇඳීමයි. ඒ කාලේ අයියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. අයියා ඇඳපු චිත්‍ර කතා මල්ටි ප්ලැක්ස් ආයතනයට මම අරගෙන ගියා. ඒ වෙනුවෙන් අයියා නත්තලට මට පෑනක් තෑගි කළා.


පහු කාලෙදි ජැක්සන් හරි ජනප්‍රිය චරිතයක් වුණා. ඔහුගේ ඒ නත්තල ගෙවුණේ කොහොමද?


පහුවෙද්දි අයියගේ නත්තල නාලිකාවලට වෙන් වුණා. අයියා හැම නත්තලටම එක්තරා නාලිකාවක් හරහා නත්තල් මෙහෙය මෙහෙයවන්නා විදිහට වැඩ කළා. ඒ නිසා මුලින් තිබුණු පවුලේ අය එකතුවෙලා පල්ලියට යන ගමන ටිකක් අතපසු වුණා. අපිට යන්න පුළුවන් දුරක නම් ඒ ඒ අවුරුදුවල අයියා හිටපු පල්ලියට ගිහින් අපි ඒවාට සහභාගි වුණා. එහෙම නැත්නම් අයියා ඒ වැඩසටහන් ඉවරවෙලා මහ ගෙදරට ආවා. ඒ වෙද්දි අපිත් ලංකාවේ හිටියේ නැහැ.


පහු වෙද්දි ඉතාලියේ මල්ලිලා එක්ක ජැක්සන්ගේ නත්තල ගෙවුණා නේද?


ඔව්.. මුලින්ම 1993 අවුරුද්දේ නත්තල් කාලෙදි මම අයියලාව ඉතාලියට ගෙන්නුවා. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ %ඔත්තුකාරයා^ නම් නාට්‍යටයි. 1993 නත්තලට ආපු ජැක්සන් අයියා නත්තල් කාලයේ වැඩි කාලයක් ඉතාලියේ ගත කළා. ඒක වෙනම අත්දැකීම් ගොන්නක්. අයියා රූ පූජාවට යන්න හරියට ආසා කළා. සීතලේ කබා දාගෙන අපේ ගෙවල් ළඟ තිබුණු පල්ලියේ පූජාවට ගියා. ඉතාලියේ තිබුණු ගීතිකා අහන්න අයියා හරි ආසයි. පූජාව ඉවරවෙලා එළියට එද්දි සීතල නිසා පල්ලියේ එන හැමෝටම වයින් රත් කරලා දෙන සිරිතක් තිබුණා. අයියා ඒකට හරි ආසයි. පොඩි අයියා හරිම විනෝදකාමී කෙනෙක්. පොඩි අයියා ඉතාලියේ හරි නිදහසේ නත්තල සැමරුවා.


 ජැක්සන් එක්ක සුදත් ගත කරපු අන්තිම නත්තල මතකද?


ඔව්.. ඒ නත්තල ගත කළේ 2018 අවුරුද්දෙ ඉතාලියේ අපේ ගෙදරමයි. බෞද්ධ යාළුවෝ හැමෝම එදා අපේ ගෙදර ආවා. අපි සින්දු කියලා විනෝද වුණා. පොඩි අයියා නත්තලට අපි හැමෝටම ලංකාවෙන් තෑගි ගෙනාවා. ඒ ගෙනත් අපිට හොරා බෑග්වල දාලා නම් ගහලා අපේ ගෙදර නත්තල් ගහ යට තිබ්බා. අයියා 2018 අවුරුද්දෙත් මට ලස්සන කුර්තා කමිසයක් ගෙනත් තිබුණා. පොඩි අයියා නැති පාළුව අදටත් අපිට තදින්ම දැනෙනවා. එයා නැති නත්තලක් අපිට නැහැ. පොඩි අයියා නැති හිඩැස කවදාවත් වහන්න බැහැ.


I දිශානි




Previous Post Next Post