සෝමරත්න සර් මගේ මුහුණ මුලින්ම දුටුවේ ටෝච් එළි‍යෙන් -අභිලාෂි ශන්තුෂ්කි

 


ඇය වංග මහරජතුමන්ගේ සොළොස් වියැති දියණිය වූ සුප්පා කුමරියයි. මගද දේශය බලා වනාන්තරයට මැදින් ගමන් කරන ඇයට විඩාව දැනී. ගත වෙහෙස නිවාගැනීමට දියට බැසීමේ ආශාවක් ඇතිවේ. කිසිදු පෙර සුදානමක් නොමැතිව ඇය තම ආශාව ඉටුකර ගැනීමට හිතුවක්කාර තීරණයක් ගන්නේ ඇගේ පරිවාර සේවිකාවගේ ද උපදෙස් නොතකමිනි. ඇගේ හිතුවක්කාරී තීරණය වළකාලන්නට සේවිකාව කොතෙක් උත්සාහ ගත්ත ද සුප්පා කුමරිය ඇයට පවසා සිටින්නේ රාජ කුමාරියකට දියට බැසීමට සිළුපිළිකුමට කියාය. ඇගේ ඇඟ රැදි අවසන් වස්ත්‍රයද ගලවා නිරුවත් වන ඈ තම සේවිකාවට පවසා සිටින්නේ හැඩ ඇති නම් ගත හොඳම ඇදුමයි නිරුවත කියාය. මෙලෙස කියමින් ඈ ජලාශයට පනින්නේ රිසි සේ නාමින් ජල ක්‍රීඩාවේ නිරත වන්නටය. එතැන් පටන් වශී කෘත රූපරාමු රැසක් සමඟින් ආනන්දනීය සිනමා රසිකත්වයක් පේ‍්‍රක්ෂකයන්ට තිළිණ කරමින් සිංහබාහු සිනමා සිත්තමේ පේ‍්‍රක්ෂක නෙත අභියස දිග හැරෙන්නේ ආනන්දනීය සිනමා රසාස්වාදයෙන් පේ‍්‍රක්ෂකයා මනමත් කරමිනි. අලංකාර රූපපෙළහරක් සමඟ ලබන වසරේ ජනවාරි මස තිරගත වීමට අපේක්ෂිත ජනාකර්ෂණීය සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා කුමරිය. අද අපේ කතා නායිකාවයි. කවදත් තම සෑම සිනමා නිර්මාණයකින්ම පාහේ නවක නිළියෙක් නළුවෙක් සිනමාවට හඳුන්වාදුන් සෝමරත්නයන් මෙවර තම නවතම සිංහබාහු සිනමා සිත්තමින් සිංහල සිනමාවට හඳුන්වා දෙන්නේ අභිලාෂි සන්තුෂ්කිය. අපි කතා කරමු ඇයත් සමඟ.


 


ඉතිං කොහොමද සුප්පා කුමාරි?


හොඳින් හොඳින්.. සිංහබාහු චිත්‍රපටයේ තමයි මම සුප්පා කුමාරි. සැබෑ ජීවිතයේ නම් මම අභිලාෂි


අභිලාෂි කිව්වේ?


අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක


මහධ රට මහරජතුමාගේ අග බිසව වංග රට මහරජතුමාගේ දියණිය කියල නේද අපට කිව්වේ?


ඒ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා කුමාරි විධියට මම එහෙම කියනවා තමයි


කියන්නකෝ බලන්න අභිලාෂිගේ තොරතුරු ටිකක් ?


මම පදිංචි කෝට්ටේ. මගේ පාසල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය. මම පුංචි කාලේ ඉඳලා රඟපෑවා පාසල් නාට්‍යවල හොඳම නිළිය හැටියටත් ඒ නාට්‍ය වල මම තේරුණ අවස්ථා තිබුණා. දැනට මම අපොස සාමාන්‍යපෙළ සමත් වෙලා පෞද්ගලිකව උපාධියක් හදාරමින් ඉන්නවා. ඊට අමතරව මම ඒජබ 4; ඊඩඥචබපඥ ටධප ජඩචදඨඥ ආයතනයට සම්බන්ධ වෙලා ජ්ධපථ බඩඥචබපඥ සමඟ ගම්වලට ගිහින්. ළමා අපචාර පිළිබඳ නාට්‍ය අනුසාරයෙන් ළමයින් දැනුම්වත් කර ඔවුන්ව හොඳ මාර්ගයට ගැනීමේ වැඩපිළිවෙලක් සඳහා සම්බන්ධ වෙලා කටයුතු කරනවා.


කොහොමද අභිලාෂි ආචාර්ය සෝමරත්නයන් හඳුනාගන්නේ?


ඒ හඳුනාගැනීම සිද්ධ වෙන්නේ මෙහෙමයි. මම පාසලේ ඩ්‍රාමා කරනවා. අපේ පාසලේ ඩ්‍රාමා එකක් පුහුණු කරන්න. Act 4; theatre for change  ආයතනයෙන් අපේ පාසලට එනවා. ඒ එන කණ්ඩායමේ කෙනෙක් හැටියට බුද්ධි රන්දෙණිය ගුරුතුමියත් එනවා. ඇය මීට කලින් සෝමරත්න සර්ගේ ජංගි හොරා චිත්‍රපටයේ රඟපාල තිබුණු කෙනෙක් එතුමිය අපිව පුහුණු කිරීම් කටයුතුවල යොදවා දිගින් දිගටම පුහුණුවීම් කටයුතු සිදුකර අවසානයේ අපේ දක්ෂතා හඳුනාගැනීමෙන් පස්සේ අපිත් සමඟ බොහොම සමීප සබඳතාවයක් ඇතිකර ගන්නවා.


එතුමිය මගේ දක්ෂතා දැකල මට කියනවා ආචාර්ය සෝමරත්න දිසානායක අලුත් චිත්‍රපටයකට නවක නිළියක් හොයනවා ඔඩිෂන් එකට ඔයත් අභිලාෂි ගිහින් බලන්න කියලා. අලුත් කෙල්ලො ගණනාවක් සෝමරත්න සර් හොයල බලල තියනවා. කවුරුවත් හරි ගිහින් නෑ. කැමැති නම් ඔයත් ගිහින් බලන්න කියලා. ඉතිං මමත් අම්මා එක්ක හදිසියේම ගියා රෑක සෝමරත්න සර්ගේ ගෙදර. එදා කරන්ට් එක තිබුණෙත් නෑ. ඒ කාලේ කරන්ට් කපනවා සෝමරත්න සර් ටෝච් එකක් ගහලා තමයි මගේ මුණ බැලුවෙත්. ඊටපස්සේ දවස් දෙක තුනකට පස්සේ මට කෝල් කරල කිව්වා චිත්‍රපට සංස්ථාවට එන්න කියලා. එතනදීත් මාව ඔඩිෂන් එකකට යොමු කළා. පස්සේ දවස් දෙක තුනක් ගිහින් මට කෝල් කරල කිව්වා මාව චිත්‍රපටයට තෝරගත්තා කියලා.


පාසල් වේදිකාව හැරුණු කොට ප්‍රසිද්ධ වේදිකාවෙත් රඟපාලා නොතිබු ඔබව චිත්‍රපටයකට තෝරාගත් බව දැනුණහම මොකද හිතුණේ?


මට හිතා ගන්නත් බැරුව ගියා. සෝමරත්න සර් වගේ කෙනෙක්ගේ චිත්‍රපටයකට මාව තෝරාගත් එක ගැන. මගේ මුල්ම රංගනයත් ඔහු වගේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ නිර්මාණයක් වෙනුවෙන්. දායක වෙන්න ලැබීමත් මම ලැබුව ලොකු භාග්‍යයක්.


සෝමරත්න සර් වගේම රේණුකා ඇන්ටිත් මට පිටපත දිලා මේ චරිතය ගොඩ නැගෙන්න ඕනෙ හැටි මට ටිකෙන් ටික කියලා දුන්නා. ඉතිං මටත් අම්මාගේ උදව් එක්ක. ඒ දෙන උපදෙස් එක්ක ටිකෙන් ටික ලෑස්තිවෙලා රඟපාන්න සුදානම් වුණා.


අභිලාෂි හා පුරා කියා රංගනයේ නියැළුණේ කොයි වගේ ප්‍රදේශවලද?


බලංගොඩ නන්පෙරියල්, දඹුල්ල, අනුරාධපුර හත්තිකුච්චි ප්‍රදේශවල දර්ශන තලවල තමයි මගේ රංගනය රූප ගත කළේ.


සිනමා කැමරාව ඔබට ආධුනිකබවක් ගෙනදුන්නේ නැද්ද?


මම මීට කලින් ටෙලි නාට්‍යවලට මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිල තිබුණා. ඒවා කිසිම දේකට මම ගියේ නෑ. මම ඉවසීමෙන් බලාහිටියා. හොඳම දේකට සම්බන්ධ වෙන්න. මගේ පුංචි කාලේ ඉඳල තිබුණ හීනයක් තමයි හොඳ නිළියක් වීම ප්‍රොෆෙෂනල් මට ඕනෙ කළා හොඳ නිර්මාණයක් හරහා එළියට එන්න. මේ චිත්‍රපටය ඒකට මට හොඳ ඉමේජ් එකක්. මට ඕනේ ඒ ඉමේජ් එක උඩට උඩට අරන් යන්න. පුංචිම කාලේ නම් වෙළෙඳ දැන්වීම් දෙකක් වෙනුවෙන් පෙනී සිටියා පමණක් මම කරල තිබුණා.


ඔබේ මුල්ම සිනමා අත්දැකීම විස්තර කළොත්?


මට කිසිම බයක් තිබුණේ නෑ. ආශාව තියන කොට කිසිම බයක් දැනෙන්නේ නෑ. ආශාව නිසාමයි මම රඟපාන්න ගියේ. ඒ ගියාම මට තේරුණා මගේ ඇඟ ඇතුළේ මොකක් හෝ දෙයක් තියනවා කියලා. ඒ මගේ ඇඟ ඇතුළේ තිබුණ දේ එළියට ගන්න මට සෝමරත්න සර් මගේ අම්මා, විශ්වා බාලසුරිය අයියා, අකිල ධනුද්ධර අයියා ඇතුළු හැමෝගෙම උදව් ලැබුණා. එයින් මම ගොඩක් අත්දැකීම් ලැබුවා. මම මීට කලින් චිත්‍රපටයක රඟ පා ලැබු අත්දැකීමක් තිබුණේම නෑ. නමුත් මට ලැබුණු කැරැක්ටරය හොඳට මට කරන්න පුළුවන් වුණා. වේශ නිරූපණය කළ විදුර අබේධීර අයියා ඇඳුම් නිර්මාණය කළ රමේශා ඕෂනී අක්කා මට ගොඩක් උදව් කළා මම රඟපෑ මේ චරිතය මේ තත්ත්වයට ගේන්න.


සිංහබාහු චිතපටයේ සුප්පා කුමරියට රඟපාන ඔබ මීට කලින් සිංහබාහු වේදිකා නාට්‍යය නරඹල තිබුණා ද?


ඔව්. සාමාන්‍යපෙළ සිංහල සාහිත්‍යයට සිංහබාහු තිබුණා. ඒ නිසාම මම නාට්‍ය නරඹල තිබුණා. මම ආසම වේදිකා නාට්‍යය අතරින් එකක් ඒක.


ඔබ වඩාත් කැමැති සිනමාවට ද වේදිකාවට ද?


මම ගොඩක් කැමැති වේදිකාවට. අදටත් මම බලන් ඉන්නවා වේදිකා නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් එනකන්. නවක අධ්‍යක්ෂවරයකු ගේ හෝ දැනට ක්ෂේත්‍රයේ නිර්මාණ කරන වේිදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකුගේ වේදිකා නිර්මාණයක දායක වෙන්න. කිසිදු බේදයකින් තොරව මම ආශාවෙන් ඉන්නවා.


සුප්පා දේවියගේ කුමරිය අවධිය ඔබටත් වැඩිහිටි අවධිය යශෝධා විමලධර්මටත් තමයි නිරූපණය කරන්න ලැබෙන්නේ? කොහොමද මේ කුමරියගේ චරිතය සඳහා ආචාර්ය සෝමරත්නයන් ඔබව මෙහෙය වන්නේ?


සුප්පාදේවිය කියන්නේ මේ වගේ කෙනෙක් කියන දේ ඇරූඪ කරගන්න මට සෝමරත්න සර් උපදෙස් දුන්නා. මම සුප්පාදේවිය ගේ තරුණ අවධිය වටහා ගත්තේ හිතුවක්කාර හැබැයි ආදරණිය චරිතයක් හැටියට. සිංහයා හමුවීමත් සමඟ ඇගේ හිතුවක්කාරකම් නැතිවෙලා ආදරණිය චරිතයක් බවට පත්වෙනවා. දැනුත් මට දැනෙනවා මම සුප්පාදේවි කියලා. ඒ තරමට ඒ චරිතය මට ආරුඪ වෙලා. ඒ තරම් මේ චරිතයට මම සමීප වෙන්න රේණු ඇන්ටි සෝමරත්න සර් මට ගොඩක් උදව් කළා. විදුර අයියාගේ වේශ නිරූපණයත් ඕෂිනි අක්කාගේ ඇඳුම් නිර්මාණයත් ඒ ආශාව තව තීව්‍රර කළා.


මුල්ම සිනමා රංගනය ඔබට ආධුනික බවක් නෑ කියල ද කියන්නේ?


මගේ ලොකු කැමැත්තක් මේ සඳහා තිබුණා. මම මගේ කුලුඳුල් සිනමා රංගනය ඉදිරිපත් කරන්නේ රංගනයේ අත්දැකීම් ලැබු අකිල අයියා සමඟ. ඇත්තම කියනවා නම් මම මීට කලින් අපේ රටේ නළුවෙක් එක්ක රඟපාල තිබුණේ නෑ.මේ කතාවේ මුලින්ම තිබුණේ ආදර සබඳතා හැබැයි ඉතිං මුල් සීන් ටික නම් කරන කොට මට ලැජ්ජාවක් ඇති වුණා. ඒ ලැජ්ජාව නිසාම මට චරිතෙ කරන්න අමාරුවකුත් දැනුණා. ඒත් අකිල අයියා මට කියලා දුන්නා අපි මෙහෙම කරමු අපි දෙන්නා ෆිට් වෙමු එතකොට තමයි මේ කැරැක්ටරය කරන්න පුළුවන්. අකිල අයියා මගේ ආධුනිකබව නිසාවෙන්න ඇති එහෙම කිව්වේ. එයා කළේ මුලින්ම මාත් එක්ක ෆිට් වෙන එක. ඒ ෆිට් එක නිසා තමයි මටත් කන්ෆටබල් රඟපාන්න පුළුවන් වුණේ.


සිංහබාහු චිත්‍රපටය තිිරගතවීමත් සමඟ ඔබව හඳුනාගන්නා ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඔබට ආරාධනා කළොත් ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් දායක වෙන්න?


මගේ අගේ මැකෙන් නැති මට හොඳට රඟපාන්න පුළුවන්. නිර්මාණ ඒ කියන්නේ මට මේ චිත්‍රපටය තුළ හදාගන්න ඉමේජ් එකෙන් පහළට නොගොස් ඒ තත්ත්වයේම හෝ ඊට ඉහළ තලයක තියන නිර්මාණයක් වෙනුවෙන් කතා කළොත් මම සම්බන්ධ වෙනවා. හැම ආරාධනයකටම යන්නෑ ලිමිට් එකක් තියාගෙන තමයි සම්බන්ධ වුණත් සම්බන්ධ වෙන්නේ.


ඉදිරි ගමනට උපදෙස් එහෙමත් ලැබිල ඇති?


ඔව් මොකද නැත්තේ රේණුකා බාලසුරිය මහත්මිය මට කිව්ව දෙයක් තමයි අභිලාෂි සිනමාවට නිළියෝ අඩුයි. ඒක රැකගන්න කියලා. එතුමිය කිව්ව කතාවේ ලොකු ගැඹුරක් තියනවා. සමහරවිට මම සිනමාවට පමණක් සීමා වන නිළියක් වෙන්නත් බැරි නෑ. හැබැයි මම හිතන් ඉන්න අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටයක් හොඳ ටෙලි ඩ්‍රාමා එකක් නම් මම අනිවාර්යෙන්ම එයට සහභාගි වෙනවා.


කවුද ඔබ හිතන් ඉන්න අධ්‍යක්ෂවරු?


මම එහෙම කිව්වොත් අනික් අය තරහ වෙයි. ඒත් මම හිතන් හිටියට ඒ අයට මගේ කැමැත්ත දැන ගන්න විධියක් නෑනේ. මම ආසයි සෝමරත්න දිසානායකයන් හැරුණු විට ජයන්ත චන්ද්‍රසිරි, ජය ප්‍රකාශ් ශිවගුරුනාදන්, ජගත් මනුවර්ණ, උදයකාන්ත වර්ණසූරිය ඇතුළු ගොඩක් අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ වෙනුවෙන් දායක වෙන්න කැමැතියි.


ඔබට හිතෙන්නේ නැද්ද වේදිකාවට ඔබ ප්‍රමාද වැඩියි කියලා?


මම එකට ආසම වේදිකාවට දෙකට ආසම සිනමාවට තුනට ආසම ටෙලි නාට්‍යවලට. හැබැයි ඉතිං තවම මම එකට ආස වේිදිකා නිර්මාණයකට දායක වෙන්න බැරිවෙලා තියනවා. සිංහබාහු චිත්‍රපටයේ මගේ රංගනය ඇතුළත් ට්‍රේලර් යුටියුබ් එකේ දැකල ටෙලි නාට්‍යවලට නම් කතා කළා. ඒත් මම ගියේ නෑ චිත්‍රපටය රීලීස් වෙලා නැති නිසා මට ඕනේ චිත්‍රපටය රිලීස් වුණාට පස්සේ ලැබෙන හොඳ නිර්මාණයකට දායක වෙන්න.


හිතේ හීන තියනවද මේ මේ මේ චරිත කරන්න ඕනේ කියලා?


මම කුඩා කාලේ ඉඳල හරිම ආශාවක් දැක්වුවා කුමාරිකාවන්ගේ, දේවියන්ගේ, බිසවගේ චරිතවලට. ජූජා උමාශංකර් රඟපෑ හැම චරිතයකටම මම කැමැතියි වගේම ඇය රඟපෑ කුසපබා චිත්‍රපටයේ රංගනයටත් මම බොහෝ සේ පි‍්‍රය කළා. මගේ කුලුඳුල් චිත්‍රපට රංගනයත් වුණේ මම ආශා කළ කුමාරිකාවගේ චරිතයක්. මම ඕනෙම චරිතයකට කැමැතියි. මට හොඳට රඟපාන්න පුළුවන්. ඕනෙම චරිතයක් මම භාර ගන්නවා. රඟපානවා කියන්නේ ඒ කරන ඕනෙම චරිතයකට තමන්ට හැඩ ගැහෙන්න පුළුවන් වෙන්න ඕනේ.


වාණිජ සිනමාව වගේම කලාත්මක සිනමාව තුළින් ඔබේ ගමන කොයි දිසාවට ද?


මම හිතනවා දෙකට බැලන්ස් කරගෙන ගියොත් හොඳයි කියලා.


පවුලේ තොරතුරු ටිකක් එහෙමත් කියමුකෝ?


මගේ අම්මා නිලන්ති හෙට්ටිආරච්චි. තාත්තා ඩේමියන් ජයතිලක. මගේ මල්ලි හිමේෂ් ජයතිලක. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මගේ අක්කා ශවිෂ්කා ජයතිලක. ඇය ඩුබායිවල බිස්නස් කවුන්සිල කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. මගේ අම්මා බියුටීෂියන් කෙනෙක්. තාත්තා බයික් ඩිෂයින් වාහන මොඩිෆයි කරන නිර්මාණකරුවෙක් මේ දෙන්නම මම කලා කටයුතු කරනවට බොහොම කැමැතියි.


ඇත්තද මේ අභිලාෂි කලාව තුළ නොකරපු දෙයක් නැති තරම් කියල කියන්නේ?


මම ඉස්කෝලෙ යන කාලෙ නොකරපු දෙයක් නෑ, ඩාන්සින් කලා මියුසික් කළා, වෙස්ටන් බෑන්ඩ් එක ප්ලේ කළා. ඊස්ටන් බෑන්ඩ් එකටත් මට ලීඩ හැටියට ආරාධනා ලැබිලත් තියනවා. පාසලේ මම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මට සිංදුත් කියන්න පුළුවන් අඩු වැඩි වශයෙන්.


වෘත්තියක් හැටියට රංග ශිල්පිනියක් වන්න ද ඔබේ කැමැත්ත?


මගේ ආශාව මනෝ විද්‍යාඥවරියක් වෙන්න. මම පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කරද්දීත් මට ළමයි තමන්ගේ ප්‍රශ්න කිව්වා ඒවාට මම හැකි අයුරින් උදව් කළා. මානසික පැත්තෙන් යමක් යම් අයකුට කරන්න මගේ ලොකු ආශාවක් තියනවා. මම නිළියක් වන්නේ මගේ පුංචි කාළේ තිබුණු හීනයකට ඒ වගේම මගේ ආශාවක් පුංචි කාලේ ඉඳල තිබුණා. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඇඳුම් විලාසිතා මේකප් විලාසිතා වගේ දේවලුත් මම කරනවා.


සුප්පාකුමාරි වෙන්න ගිහින් සිදුවෙච්ච රසබර අත්දැකිම් එහෙමත් ඇති නේද?


අකිල අයියා එක්ක රඟපාන කොටනම් මුලදී ලැජ්ජා ගතියක් ආවා පස්සේ ඒවා ඇරිල ගියා. මම මේ චිත්‍රපටයේ ගැබිනියක් හැටියටත් රඟපෑවා. ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා. ඒ වෙනකන් මම ළමයි හුරතල් කරල තිබුණෙත් නෑ. මට ලොකු බඩක් දැම්මා බඩ වුණත් දාගෙන ඉන්න එක පහසු වුණේ නෑ. විදුර අයියා මට දාපු බඩ බොරු එකක් කියලා පේන්නෙම නෑ. එහෙම බඩක් දාගෙන හුස්ම ගන්න එකත් ඩයලොග් කියන එකත් ලේසි නෑ. සෝමරත්න සර් මගේ අම්මාටත් කිව්වා ඔන්න අපි අභිලාෂිට දරුවෝ හදන්නත් ඉගෙන්නුවා කියලා. එක එක වයසට හරියන ළමයි මට හුරතල් කරන්නත් ලැබුණා. බඩදාගෙන ඉන්න කොට වගේම ළමයි හුරතල් කරන කොටත් මට ඇත්තටම අම්මා කෙනෙක් කියන හැඟීම දැනුණා.


චිත්‍රපටය කරන කොට ඔබට වයස?


අවුරුදු දාහතයි. දැන් චිත්‍රපටය රිලීස් වෙන්න පටන් ගන්නකොට මේ දෙසැම්බර් 29 වැනිදාට මට අවුරුදු දහ නමයයි.




Previous Post Next Post