විදෙස් රටක ජීවත්වෙන්න ලැබුණොත් මම තෝරගන්නේ ජපානය -බිමල් ජයකොඩි




2010 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන, විද්‍යෝදය විශ්වවිද්‍යාලයීය සම්මානය හා ගොඩගේ සාහිත්‍ය සම්මානය වැනි සම්මාන දිනාගත් සුමිත්‍රා රාහුබද්ධයන්ගේ කන්දක් සේමා නවකතාව පාදක කොට ගෙන, අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයෙන් සහ මාවෝ නෂි මෝතෝගේ සම අධ්‍යක්ෂණයෙන් කන්දක් සේමා සිනමාපටය නිමැවිණි.


සුමිත්‍රා රාහුබද්ධයන් කන්දක් සේමා නවකතාව තුළදී ඉදිරිපත් කරන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය තුළ, පවුලේ ඇති බර සැහැල්ලු කිරීමට ජපානයේ මහලු මිනිසෙකු හා විවාහ වන නූපාගේ සිතිවිලි රූපයට නැගීමට සිනමාකරුවා මහත් වෙහෙසක් ගනී. නූපාගේ ෆැන්ටසි පෙම්වතා රූපයට ගැනීමේදී ඔහුව නිරන්තරයෙන් අහසේ සැරිසරන කෙනෙකු ලෙස පෙන්වීමට රූපය මෙහෙයවා ඇත. එම පෙම්වතා මහ පොළොවට ගැනීමට නූපා අකමැති බව එමඟින් පසක් කෙරේ. නූපා තම සැමියා වන මසායා සාන් සමග ලිංගික හැසිරීමේදී ෆැන්ටසි පෙම්වතාව මනසින් මවා ගන්නා අයුරු පසක් කිරීමට සිනමාකරුවා ගන්නා වෙහෙස සුළුපටු නොවේ.


සිනමාපටය නැරඹීමේදී නූපා සිංහල භාෂාවෙනුත්, මසායා සාන් ජපන් භාෂාවෙනුත් කතා කිරීම මුල් අවස්ථාවේදී මඳක් වෙහෙසකර වුවද, ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශනයන්, සාත්වික අභිනයන් නිසා ප්‍රේක්ෂකයා සිනමාපටය සමඟ ඒකාත්මික වේ. ක්‍රම ක්‍රමයෙන් ඔවුන් සිංහල සහ ජපන් භාෂාව මිශ්‍ර කරමින් භාෂා හුවමාරුව ඇති කරගැනීම සිනමාපයට තුළදී අපූරු සබඳතාවක් මවා පායි. ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තාගේ කැමරා ඇසින් හසු කරගන්නා ලද දර්ශන තල හිඟතාවේ හුදෙකලා වූ ජීවිතත්, අරමුණු ගොන්නක් සමග අතරමං වන ගැහැනුන්ගේ සිතිවිලිත් පෙන්නුම් කිරීමට සමත්කම් දක්වයි. 2023 නොවැම්බර් 02 වන දින සිට දිවයින පුරා සිනමාහල් පුරා ප්‍රදර්ශනය කෙරෙන මෙම සිනමාපටයේ, සුමල් අඹේපිටියගේ චරිතයට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.


 

“කන්දක් සේමා” 2010 දී සාහිත්‍ය සම්මාන කිහිපයකට පාත්‍ර වූ සුමිත්‍රා රාහුබද්ධයන්ගේ විශිෂ්ටතම නවකතාවක් ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?


මෙය 2010 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන, විද්‍යෝදය විශ්වවිද්‍යාලයීය සම්මානය හා ගොඩගේ සාහිත්‍ය සම්මානය වැනි සම්මාන දිනාගත් සුමිත්‍රා රාහුබද්ධයන්ගේ විශිෂ්ටතම නවකතාවක්. සරලව නවකතාව පිළිබඳ, එහි එන ප්‍රධාන චරිතයේ භූමිකාව තුළින්ම විග්‍රහ කරන්න පුළුවන්. තම ජීවන බරට වඩා, සිය පවුලේ ජීවන බරට අත්වැලක් වන්නට ජපානයේ සීතල නීගතාවේ මහලු සැමියෙකු හා තනි වන යෞවනියක් මෙන්ම සියලු ආශාවන් අතහැර හුදෙකලාව තම අරමුණ වෙනුවෙන් දුක් විඳීන්නීයක් ලෙසත් ඇය අර්ථ ගැන්වූවොත් මම නිවැරැදියි. අරමුණට රුකුලක් වන්නට සැමියාගේ ආශාවන් උලුප්පා, ෆැන්ටසි පෙම්වතා සමඟින් රමණය කරන්නට පෙලඹෙන ඇය, පියා කවුරුන් වුවත් තම කුසින් උපන් දරුවාටත්, නූපන් දරුවාටත් එක සේ ප්‍රේම කරන චරිතයක්. ජීවිතයේ දරා ගත නොහැකි සෑම තැන්හිම උපේක්ෂාවෙන් සියලු දේ කන්දක් සේ දරාගන්නී ඇයයි. ඇය නම් නූපා යි. නවකතාවේ ප්‍රධාන චරිතය නූපා වන අතර කතාව ගලාගෙන යන්නෙත් ඈ වටාමයි.


එය 2014 දී පමණ සිනමාපටයක් ලෙස රූගත කොට, 2023 දී තිරගත වෙනවා. මෙම නවකතාව සිනමා පටයකට යොමුවීම පිළිබඳ ඔබගේ මතය කුමක්ද?


ඇතැම් නවකතා කියවද්දී එහි යම් සිනමාත්මක බවක් තිබෙනව නම් අපට එය දැනෙනවා, මේ නවකතාව චිත්‍රපටයක් වගේ නේද කියලා. ඒ වගේම ඇතැම් නවකතා තිබෙනවා නවකතාව අඩංගු ශානරය පාඨකයාට වැටහීමත් සමඟ මෙය කොහෙත්ම චිත්‍රපටයක් නිර්මාණය කරන්න සුදුසු නැති බව හැඟෙන. එවැනි නවකතා පිළිබඳ අපි හිතන්නේ මෙය ෆැන්ටසි එකක් එසේත් නැතිනම් මනඞකල්පිත නවකතාවක් කියලා නමුත් එය කෘතියෙන් කෘතියට සාපේක්ෂයි. කන්දක් සේමා නවකතාවත් එසේමයි. කන්දක් සේමා නවකතාව කියලා කියන්නේ ලාංකේය සමාජ රටාවේ ඇති ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික තත්වයන් මත ජීවත් වීමට වටපිටාවන් අහිමි වන මධ්‍යම පාන්තික තරුණ කාන්තාවන්ගේ සහ පවුල්වල තත්වයන් පිළිබිඹු කෙරෙන අපූරු නිර්මාණයක්. නවකතාව කියවගෙන යද්දි එහි අපූරු චිත්ත රූපයක් අප තුළ මැවෙනවත් එක්කම ඉන් කියවෙන මානූෂීය ගනුදෙනුව අපිට එළියට ගෙනියන්න පුළු වන්නම් කියලා හිතෙනවා. මෙම චිත්‍රපටය මනුෂ්‍යය ජිවිතයේ එන හැල හැප්පීම් යථාර්ථවාදී ලෙස ගෙන එන නිර්මාණයක්. ඊට හොඳම නිදසුන තමයි කතාව තුළ එන නූපා කියන චරිතය. එහිදී ලංකාවේ සංස්කෘතිය තුළ ජීවත්වන කාන්තාවගේ ජීවන භූමිකාව මේ තුළ හොඳීන් නිරූපණය කරලා තිබෙනවා. රටක පවතින ආර්ථික දුෂ්කරතා, ඒ පීඩනය හේතුකොටගෙන ඇයි නූපලා වගේ අයට ලංකාවේ ජිවත් නොවී වෙනත් රටකට යාමට සිදුවන්නේ කියන කාරණාව ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා කියලා මට හැඟෙනවා. ජපානය පැත්තෙන් ගත්තහම ඒ සංස්කෘතිය තුළ වගේම ඒ ගැමි ජීවන වටපිටාව තුළ ඒ මිනිස්සුන්ට අත්වන ඉරණම නිර්මාණය තුළ ඉදිරිපත් කරල තිබෙනවා. රටවල් දෙකක් වූවත් සංස්කෘතීන් දෙකක් වූවත් පොදු මානූෂීය හැඟීම් ඒ ගති පැවතුම් හොඳීන් නිරූපණය කරන චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන්.


එහිදී අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයෙන් සහ මාවෝ නෂි මෝතෝගේ සම අධ්‍යක්ෂණයෙන් කන්දක් සේමා සිනමාපටය නිමැවෙනවා. 2023 නොවැම්බර් 02 වන දින සිට දිවයින පුරා සිනමාහල් පුරා ප්‍රදර්ශනය කෙරෙන මෙම සිනමාපටයේ සම නිෂ්පාදනය සුමිත්‍රා රාහුබද්ධ, ජයන්ත හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ සහ සමනලී පද්මකුමාර විසින් සිදු කර තිබෙනවා. කන්දක් සේමා කියන්නේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය අතින් නිර්මාණය වු සම්මාන කිහිපයකටම පාත්‍ර වුනු ඉතා විශිෂ්ට ගණයේ නවකතාවක්. එවැනි නිර්මාණයක් තුළින් සිනමා නිර්මාණයක් බිහිකිරීම ම ඉතාමත් වටිනා අදහසක් කියලා මම හිතනවා.


 


“කන්දක් සේමා” නවකතාවේ තිබූ චරිත සහ සිද්ධි සිනමාපටයට නැඟීමේදී වෙනස්කම්වලට භාජනය වූවාද, නැතිනම් ඒවා එලෙසින්ම ප්‍රතිනිර්මාණය කර තිබුණාද?


සිනමාත්මක ලෙසින් යම් යම් වෙනස්කම්වලට භාජනය කරල තිබෙනවා. නමුත් මුල් කෘතියට හානියක් වන ආකාරයේ කිසිදු වෙනස්කමක් සිදුකර නැහැ. එසේ සිදුකළහොත් එය නවකතාවට ආදරය කරන රසිකයාට සිදුකරන අසාධාරණයක් වෙනවා. නමුත් නවකතාව තුළ එන බාහිර ස්වරූපයට පමණක් නවකතාව සීමා කරල නැහැ. ඒ බව තහවුරු කරන හොඳම අවස්ථවක් තමයි නූපගේ චරිතය. නවකතාව තුළින් හඳුනා ගත් නූපා කියන චරිතයට අපි නිරෝෂා පෙරේරා තරම් ඨතචථධභප කෙනෙක් මවා ගන්නේ නැහැ. නමුත් නිරෝෂා ඒ ආකර්ෂණය බවත් තියාගෙන ම ඇගේ චරිතයට සාධාරණයක් ඉටු කරනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් චරිත වල බාහිර ස්වරූපයට යම් යම් වෙනස්කම් සිදුකර තිබුණත් එහි අන්තර්ගතයට කිසිදු වෙනසක් සිදුකොට නැති බව.


 


“කන්දක් සේමා” සිනමාපටයේ අධ්‍යක්ෂ අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණය ඔබ දකින්නෙ කොහොමද?


අශෝක අයියා කියන්නේ ලංකාවේ ප්‍රවීණතම සහය අධ්‍යක්ෂවරයෙක්. ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමඟ ද එකට කටයුතු කළ සිනමාව පිළිබඳ බොහෝ අත්දැකීම් ලබපු අයෙක්. ඒ අත්දැකීම් එක්ක තමයි ඔහු අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි මගේ ප්‍රථම ප්‍රාසංගික නාට්‍යයෙත් සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ඔහු. අශෝක අයියගේ ගුරුහරුකම් හොඳීන් ලබපු කෙනෙක් විදියට නළු වෙකුගේ ඤඪඵජඪනතඪදඥ තියාගෙන අද මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනව නම් එහි ගෞරවය හිමිවෙන්න ඕනි අශෝක අයියට. ඔහු වඩාත් දක්ෂ මේ මානුෂීය ගති ඉතා සියුම්ව නිරූපණය කරන්න ගන්න උත්සාහ කිරීමට. මම හිතනව ඔහු සාර්ථකයි.


 


මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණය ජපන් සිනමාකරු නෂි මෝතෝ විසින් කරනු ලැබුවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කෙබඳුද?


ඔව්, සම අධ්‍යක්ෂවරයාත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. ජපන් සංස්කෘතිය හා සම්බන්ධ යම් යම් කාරණා වලදී ඔහුගෙන් අපට ලොකු සහයක් ලැබුනා. ඒ කෙසේ වෙතත් අපි දන්න ජපනා හපනා කියනව වගේ ඔහුන් හරිම දක්ෂයි කාර්ය ශූරයි වගේම හරිම ගෞරවනීයයි. ඉතින් මේ හැම කාරණාවක් එක්කම ඔහුට තිබුණේ තම කාර්යයෙන් ඔබ්බට ගිහින් නිර්මාණය කෙරෙහි දක්වන ආදරයක් සහ ගෞරවයක්. මේ දෙපළගේම සංයෝගයෙන් තමයි අවසානයේ අපි සුන්දර සිත්තමක් විදියට කන්දක් සේමා දකින්නේ. ඒ වගේම ජපානයේ රූගත කිරීම් කරන අවස්ථාවේ මගේ මතකයේ රැදුණු එක් සිද්ධියක් තිබෙනවා. ඒ තමයි එම රටේ විශ්වවිද්‍යාලයක ළමුන් කිහිපදෙනෙක් ඉතා ස්වේච්ඡාවෙන් ඇවිත් මේ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කරන ගමන්ම සුහදශීලීව ඔවුන්ගේ සහය අපට ලබා දුන්නා. එයා ඉතා අගය කළ යුතු දෙයක්.


 


මෙම සිනමාපටයේදී ඔබ ලාංකේය ප්‍රවීණ නලු නිළියන් සමඟ රංගනයේදී ලත් අත්දැකීම් කෙබඳුද?


ඇත්තටම එහිදී ලාංකික ප්‍රවීණ නළු නිළියන් කිහිපදෙනෙක්ද රංගනයෙන් දායක වනු ලැබුවා. ඒ අතර නූපාගේ චරිතය රඟ දැක් වූ නිරෝෂා පෙරේරා, සහය චරිත ලෙස ජයනි සේනනායක යන අය විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නූපාගේ චරිතයට පණ දෙන්න නිරෝෂා ගත් උත්සහය ඉතාමත් සාර්ථකයි කියල කියන්න පුළුවන්.


 


කන්දක් සේමා චිත්‍රපටයේදී ඔබට ජපානයේ ප්‍රවීණ නළු නිළියන් සමඟ රංගනයේ යෙදීමට අවස්ථාව ලැබුණා. එහිදී ලද අත්දැකීම් කොයි වගේද?


සොරා සංගේ චරිතය නිරූපණය කළ කුඩා කල ඔෂීන්ගෙ චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළි අයොකා කොබයාෂී සමඟ රංගනයේ යෙදෙන්න අවස්ථාවක් නොලැබුණත් දර්ශන තල තුළ ඇය සමඟ කතා බහ කරන්න ඇතැම් විට මට අවස්ථාව ලැබුනා. ඒ වගේම මසාය සංගේ චරිතය නිරූපණය කළ ජූන් එටෝ රංගන ශිල්පියාත් ජපන් රටේ වේදිකාව සම්බන්ධයෙන් සිටින අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමඟ මම ගොඩක් දේවල් බෙදා හදා ගත්තා. ලාංකිකයන් විදියට ඔවුන්ගේ රටට සපැමිණි අවස්ථාවේ අපට ඉතා හොඳීන් ගෞරව කළා.


මම ඔවුන් තුළ දැකපු විශේෂ ලක්ෂණයක් තමයි ඔවුන් හරි විවෘතයි සහ තමන් දන්නා දේ තවත් අයෙක්ට කියලා දෙන්න හරි කැමතියි. ඔවුන් සමඟ වැඩ කරද්දී අපේ වෘත්තීමයභාවය තව තවත් දැනෙන්න ගත්තා. තමන්ගේ කාර්යය සම්බන්ධයෙන් ඉතා සාධාරණශීලී ගතියක් ඔවුන්ට තිබෙනවා නිකරුණේ කාලය නාස්ති කරන්න ඔවුන් කැමති නැහැ. එය අපි පුරුදු වෙලා තිබෙන ක්‍රමයට හාත්පසින්ම වෙනස්. ඒ දේවල් අපේ වෘත්තීමය ජීවිතයට අලුතින් එකතු කර ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ සියලු ම දෙනා තමන් දායකවන නිර්මාණයට කෙතරම් ගෞරව කරනවාද, කැපවෙනවාද සහ ඒ වෙනුවෙන් මහන්සි වෙනවාද කියන දේ අපි ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.


මම හැමදාමත් කියනවා වගේ ජපානය කියන්නේ හරි සුන්දර රටක්. ඊට හේතුව තමයි ඒ රටේ ජීවත්වන මිනිස්සු. නිර්මාණයට සම්බන්ධ වුණ කණ්ඩායම ඇතුළේ ජපානයේ බොහෝ පිරිසක් අපත් සමඟ එකතු වෙලා හිටියා. ඒ අතර මම කලින් කිව්වා වගේ ජපානයේ ස්වේච්ඡාවෙන් ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන තරුණ කණ්ඩායමක් හිටියා. ඔවුන්ගේ ඒ උනන්දුව හා කැපවීම විශේෂයෙන්ම අගය කරන්න ඕනි. ඉතින් මම හිතනවා මේ දේවල් වලින් මගේ ජිවිතයට අත්දැකීමක් ගොන්නක් එකතු වුණා කියලා.


 


ජපානයේ නීගතාවල සකුරා මල් පිපෙන කාලෙ, හිම වැටෙන කාලෙ මෙම රූගත කිරීම් කර තිබුණා. ඒ අත්දැකීම් කොහොමද මතක් වෙන්නෙ?


මම රටවල් කීපයක සංචාරය කරලා තිබුණත් කවදාවත් රටක ජිවත්වෙන්න ඕනි කියන හැඟීම දැනිලා නෑ. ජපානයේ නීගතා කියන්නේ ග්‍රාමීය පරිසරය තුළින් ගොඩනැඟුණු ප්‍රදේශයක්. නමුත් එහි ජීවත්වන මිනිසුන් තුළ තිබෙන ගතිපැවතුම්, විනය මහපොළවට වගේම තම රට ගැන ඔවුන්ට තිබෙන හැඟීම ඇත්තටම අගය කළ යුතු දෙයක්. ඉතින් විදේශ රටක් තුළ මම ගෙවපු හොඳම අත්දැකීම තමයි මෙය. එය කොයිතරම් ද කිවතොත් නැවත නැවතත් යන්න හිතෙන, ගිහින් ඒ මිනිසුන් වැලඳ ගන්න හිතෙන අත්දැකීමක්. විදේශ රටක ජීවත්වෙන්නට මට අවස්ථාවක් ලැබුණොත් මම තෝරගන්න කැමතිම රට තමයි ජපානය. ඊට හේතුව එහි වටපිටාව, පරිසරය වගේම එහි ජීවත්වන මිනිසුන් ළඟ තිබෙන ගති පැවතුම් වැනි කාරණා.


 


“සුමල් අඹේපිටිය” ඒ ඔබේ චරිතයේ නම. මෙම චරිතයට රංගනයෙන් දායකවීම පිළිබඳ ඔබේ මතය කෙසේද?


නවකතාව කියවා තිබුණත් සුමල් කියන චරිතය මගේ මතකයේ ලොකුවට රැඳීල තිබුණෙ නැහැ. නමුත් නවකතාව තුළින් ගොඩනඟන මේ චිත්‍රපටයේ සුමල්ගේ චරිතය රඟදක්වන්න මට ආරාධනයක් ලැබුණු විට “ශා ඒක මාරයිනේ” කියන සිතුවිල්ල මට දැනුණා. එතනදී සුමල්ගේ චරිතය නිර්මාණය කරන්න බිමල් ජයකොඩිගෙන් ගලවන්න ඕනි කෑලි ගොඩක් තිබ්බා. චිත්‍රපටය බලපු අය දන්නවා සුමල් කියන්නේ මොනවගේ චරිතයක්ද කියලා. එහිදී විදේශ රටක් තුළ තනිව ජීවත්වන පුද්ගලයෙක් විදියට සුමල්ගේ චරිතය ගොඩනැඟෙන්න ඕනි මොනවගේ ආකාරයකටද කියන දේ අවබෝධ කරගන්න සුමිත්‍රා අක්කා, අශෝක අයියා ඇතුළු බොහෝ දෙනාගේ සහය මට ලැබුණා. නිර්මාණය තුළ ඉතා කුඩා ධාවන කාලයක් තමයි මට තිබුණේ. එතනදී සුමල් කියන චරිතය තවත් සියුම්ව වටහා ගන්න තවත් සිද්ධි කිහිපයක් ඇතුළත් වුණානම් හොඳයි කියලා මට හිතෙනවා. කොහොම වුණත් චිත්‍රපටය තුළ මගේ චරිතයට හොඳ ප්‍රතිචාර තිබෙනවා.


 


වසර නවයකය පසුව, ඔබ රඟපෑ “කන්දක් සේමා” සිනමාපටය නැරඹුවාම ඔබට දැනුණු හැඟීම මොන වගේද?


ප්‍රේක්ෂයෙක් ලෙස චිත්‍රපටය නැරඹීම සම්බන්ධයෙන් මට යම් අදහසක් තිබෙනවා. මට හිතෙනවා මේ තිබෙන සංස්කරණයට වඩා සිද්ධිමය වශයෙන් ඇතැම් දේ තව එකතු කරන්න තිබුණනම් හොඳයි කියලා. ඒ වගේම තිබෙන සිද්ධි තවත් තිව්‍ර ලෙස ප්‍රේක්ෂකයා ඉදිරියට ගේන්න තිබුණ නම් හොඳයි කියලා. උදාහරණයක් විදියට කන්ද කපලා ඒ වැව හදන්න කාන්තාවන්ගේ උර මතින් පස් ඇද්දා කියන ඓතිහාසික සිද්ධිය පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මෙහි සඳහන් වෙනවා සියදිවි නසා ගැනීමේ ප්‍රදේශය නමින් වෙනම ස්ථානයක් නම් කරලා තිබෙනවා. එය ඕනෑම අයෙකුගේ සිතෙහි කම්පනයක් ඇති කරන සිද්ධියක්. එවැනි ස්ථානයක් නම් කරලා තිබෙනවාත් බොහෝ දෙනෙක් දකින්නට ඇත්තේ ප්‍රථම වතාවට. චිත්‍රපටය තුළ ඒ සිද්ධිය හා බැඳෙන සිදුවීම් පෙළ ජීවිතයට බොහෝ දේවල් අපට අවබෝධ කරලා දෙනවා. ඉතින් චිත්‍රපටය නරඹා අවසානයේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් විදියට මට දැනුණේ මේ තරම් දැනෙන ආදරය, සංවේදී කතාවක් ඇතුළේ කොයිතරම් දේවල් අපට හොයාගෙන යන්න තිබුණද කියලා.


 


අවසාන වශයෙන් “කන්දක් සේමා” පිළිබඳව සිනමා ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන පණිවිඩය මොකක්ද?


විශේෂයෙන්ම කියන්න ඕනි අපි මේ ගත් උත්සහය ඔබ නැරඹිය යුතුමයි. මෙය හරි අපූරු සිනමා පටයක්. ලංකාව තුළ මෙවැනි නිර්මාණයන්ට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ හරි අඩුවෙන්. විශේෂයෙන්ම වෙනත් රටක රංගන ශිල්පීන් හා සම්බන්ධ වෙලා සම නිෂ්පාදනයක් ලෙස තමයි ඔබ වෙතට මේ නිර්මාණය ගෙන එන්නෙ. මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිමවූ නිර්මාණයක්. සත්‍ය නූපා තවමත් ජීවත් වෙනවා. ඇයි නූපලා වැනි කාන්තාවන්ට තවත් රටකට යන්න වෙන්නෙ සහ ඉන් ඉස්මතු වන සමාජ කාරණය, කම්පනය ඔබට දැනෙන්නට නම් සිනමාපටයකින් හෝ එය නැරඹිය යුතුයි යන්න තමයි මගේ අදහස. එවිට මෙම චිත්‍රපටය තුළින් සිනමා රසිකයෙක් වන ඔබේ පරිකල්පනය කොතෙක්ද යන්න ඔබටම තහවුරු කරගන්නට හැකි වේවි. රසිකයෙක් විදියට චිත්‍රපටයක් නරඹනවාට වඩා ඒ විෂය හොයාගෙන යන පිරිස අද බොහොම අඩුයි. ඒ නිසාම මේ තත්වය වර්ධනය කරන්න ඕනි. තමන් චිත්‍රපටක් නරඹලා තවත් අයෙක් ඊට යොමු කරලා තේ එකක් බොන ගමන් හෝ යමක් තොලගාන ගමන් ඒ පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා. මොකද අපේ ජීවිතයට අලුත් අලුත් දේ එකතු කර ගන්න පුළුවන් තැනක් තමයි සිනමාව කියන්නේ. එය කාර්යයබහුල හෝ සංකීර්ණ ජීවිතයක් ගත කරන ඔබගේ මනස සුවපත් කරන චිකිත්සාවක් වේවි.





Previous Post Next Post