නත්තල් සීයාගෙන් කවදාවත් මම කිසිදෙයක් ඉල්ලන්නෙ නෑ - රයිනි චාරුකා




 රයිනි... මේ පාර නත්තලට කොයි කාලේ ඉඳන් සූදානම් වුණාද...?


කොහොමවත් නොවැම්බර් මාසේ පටන් ගනිද්දීම අපි නත්තල ගැන හිතනවා. අපේ නංගි (වින්ඩි) දෙසැම්බර් මාසේ පළවෙනිදා වෙද්දි නත්තල් ගහ සවිකරලා ඒක ලස්සනට සරසනවා. නංගි සැරසිලි හරි ලස්සනට කරනවා. ඉතින් කොහොමටත් දෙසැම්බර් මාසේ කියන්නේ අපේ සැරසිලි මාසයක් තමයි.


වින්ඩි නත්තලට සරසද්දී රයිනි ඒකට උදව් කරන්නේ නැද්ද?


මාත් එයාට උදව් කරනවා. කොහොමටත් ඉස්සර අපි ඇමෙරිකාවේ ඉඳිද්දී අපි දෙන්නම නත්තලට සැරසිලි කළා. පොඩි කාලේ ඉඳන්ම එහෙමයි. ඉස්සර චූටි කාලේ මම කාසි එකතු කළා. සල්ලි කිව්වහම කාසිත් සල්ලිනේ. ඉතින් එක වතාවක ආර්පිකෝ එකට ගිහින් නත්තල වෙනුවනේ බඩු ගොඩක් අරගෙන මම කවුන්ටරේට කාසි ටික ඔක්කොම හැළුවා. මට මතක හැටියට එදා බිල දෙදහස් ගණනක් වුණා. වටපිටාවේ හිටපු හැමෝම එදා පුංචි මම දිහා බලාගෙන හිටියා. මට තාම මතකයි කැෂියර් එකේ හිටපු ගෑනු ළමයා කාසි ගැනලා මගේ බිලට සල්ලි ගත්තා. පුංචි කාලේ ඉඳන් අපි ඒ නත්තල් හැඟීමට හරි ආසයි. ඒ කාලේම නත්තල් ගීත විතරක් ඇහුවා. ඒ කාලේ අපිට නත්තල් සිංහල, ඉංග්‍රීසි සිංදු සෙට් එකක් තිබුණා. අපි වාහනයේ යද්දිත් ඒ ගීත ටික ඇහුවා. ඒක වෙනමම හැඟීමක්.

 ඇමෙරිකාවේදී සමරපු නත්තල් කොයි වගේද...?


ඇත්තම කිව්වොත් ඇමෙරිකාවේ සමරපු නත්තල් වෙනමම හැඟීමක් එක්ක ගතකළ නත්තල් කාලයක්. ඒක ගොඩක් සමරන නිවාඩු කාලයක්. එහෙදි අපි නිව්යෝර්ක් සිටි එකට ගියා. නිව්යෝර්ක් සිටි එකේ තමයි නත්තලට ලෝකයේ තිබෙන උසම නත්තල් ගහ ප්‍රදර්ශනය කරන්නේ. ඒක එක තැනක ලයිට් දාලා ප්‍රදර්ශනය කරනවා. ඒක වෙනමම ලෝකයක්. අපි ඒක බලන්න ගියා. ඒ නත්තල් සැමරුමටත් මම හරි ආසයි.


ඇමෙරිකාවේ ඉගෙන ගනිද්දී රයිනි තනියම හිටපු කාලයක් තිබුණානේ. ඒ කාලේදී රයිනි නත්තල සැමරුවේ කොහොමද?


ඔව්. මම තනියම හිටපු කාලයක් තිබුණා... හැබැයි හොඳ වෙලාවට අපිට නත්තලට නිවාඩු ලැබුණා. ඒ නිසා ඒ නිවාඩුවට මම නිව්යෝර්ක්වල අම්මලාගේ ගෙදර ගියා. නැත්නම් ලංකාවට ආවා. ඒ නිසා එහෙම තනියම නත්තල සමරන්න අවස්ථාව ලැබුණේ නැහැ.


ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට ඇවිත් නත්තල සමරද්දී ඒකත් වෙනමම  අත්දැකීමක්... එහෙම නේද?


ඔව්. ඇමෙරිකාවේ ඉඳන් නත්තල සමරන්න ලංකාවට ආවොත් ඒ අවුරුද්දේ අපේ නත්තල හරි ජයයි. අපි ලංකාවේ හිටපු නැති නිසා අපේ නෑදෑයෝ, යාළුවෝ හැමෝම අපි ඉන්න තැනට එකතු වෙනවා. ඒ නත්තල ගොඩක් අපිට දැනෙනවා. ඒක වෙනස්ම හැඟීමක්. ඇමෙරිකාවේ හිටයත් අපි විසි හතර වෙනිදා රෑ හරි විසි පස්වෙනිදා උදේ හරි පල්ලි ගියා.


රයිනි අමෙරිකාවේ පල්ලියක ගීතිකා ගායනා කළා නේද?


ඔව්. මායි තාත්තියි එක කාලයක් පල්ලියක වැඩ කළා. මම උසස් අධ්‍යාපනය කළ අවුරුදු හතරේම තාත්ති එක්ක ඒ පල්ලියක වැඩකළා. තාත්තා ඒ පල්ලියේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසින් වැඩකළා. මම ඒකේ ප්‍රධාන ගායිකාව ලෙසින් වැඩ කළා. මට අවුරුදු පහළොවේ ඉඳන් දහ අට වෙනකම් ඒ පල්ලියෙ ගීත ගායනා කළා. ඒ පල්ලියට ලංකාවේ අය ආවේ නැහැ. ඒක ටිකක් පොඩි පල්ලියක්. ඒකට ඒ ප්‍රදේශයේ අපි විතරක් ආවා. හැබැයි ඒ ප්‍රදේශයේ ලංකාවේ අය කවුරුවත් පදිංචිවෙලා හිටියේ නැහැ. ඒ නිසා තාත්තිව පල්ලියට ආපු කවුරුත් ''මේ ලංකාවේ රෑකාන්ත'' කියලා දැනගෙන හිටියේ නැහැ. අපි සෙනසුරාදා උදේට ගීත ගායනා කළා. ඔය අතරේ අපිට එයාලගේ විවාහ උත්සවවලට පවා ආරාධනා කළා. මාත් එහෙම එයාලගේ වෙඩින් තුන හතරක් ගීත ගායනා කරලා තියෙනවා. ඒක වෙනමම ජීවිතයක්. නත්තලට තාත්ති ඒ පල්ලියේ ගීතිකා කණ්ඩායමක් හදලා පුහුණුවීම් කළා. 2018 විතර තාත්ති නත්තල් නාට්‍යයක් පුහුණුවීම් කරලා ඒක පෙන්නුවා. තාත්තියි අම්මියි නිසා අපේ වටපිටාව ටිකක් ආගමට බරයි. ඒ නිසා හැම නත්තලකට අපි පණිවිඩයක් එක්ක යම් නිර්මාණයක් කරන්න උත්සාහ කළා.


 ගිය වසරේදීත් නත්තලට එවැනි විශේෂ නිර්මාණයක් කළා නේද?


ඔව්. ගිය වසරේදී අපි නත්තලට ''නත්තල් තරුව'' නමින් වැඩසටහන් අපේ Youtube චැනල් එකට එකතු කළා. තාත්ති එයාට වයස අවුරුදු පහළොවේදී දාසයේදී ඉඳන් හදපු නත්තල් සිංදු ඒකේ තිබෙනවා. ඒකේදී ආගමට බර සිංදු තමයි තිබෙන්නේ. ඒකේදී අපි පස්දෙනා තමයි තාත්තිගේ ඒ සිංදු ගායනා කළේ.


ගිය අවුරුද්දේ ''නත්තල් තරුව''. මේ වසරේදී නත්තල වෙනුවෙන් නිර්මාණයක් එළිදැක්වූයේ නැද්ද...?


මේ වසරේදී අපි කරපු සිංදුවල ප්‍රසංගයක් පවත්වන්න සූදානමිනුයි හිටියෙ. නමුත් අපිට වෙලාවෙයි, ඒ ප්‍රසංගය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා.  ඒකට ප්‍රධාන හේතුව වුණේ අපි මේ අවුරුද්දේ ගොඩාක් කාර්යබහුල වුණා. නත්තල් වැඩසටහනක් කරනවා නම් නත්තලට පෙර ඒක කළයුතුයිනෙ. මේ දෙසැම්බරයේ අපේ ළඟම ඥාති මල්ලි කෙනෙක්ගේ විවාහ උත්සවයක් තිබුණා. ඒකටත් අපි ගොඩක් කාර්යබහුලයි. මටයි තාත්තිටයි දෙසැම්බර් මාසේ ඩුබායි යන්නත් අවස්ථාව ලැබුණා.... ඒ වැඩත් එක්ක අපි ගොඩක් කාර්යබහුල වුණා. ඒ නිසා මේ වසරේදී ඒ ප්‍රසංගය පවත්වන්නට බැරිවුණා.


චූටි කාලයේදී රයිනිටත් නත්තල් සීයා තෑගි දුන්නාද...?


දුන්නනේ. එක වතාවක් අපේ තාත්තා නත්තල් සීයාට ලෑස්තිවෙලා ඇවිත් නංගි බයවෙලා හොඳටම ඇඬුවා. නත්තල් දවසේ තාත්ති හිටියේ නැත්නම් අපි තාත්තිව හොයන නිසා සමහර නත්තල්වලට තාත්තිගේ යාළුවෙක් නත්තල් සීයා වගේ අපේ ගෙදරට ඇවිත් තිබෙනවා. මට තාම මතකයි අපේ ඉස්කෝලවල්වල තිබුණ නත්තල් වැඩසටහන්වලට පවා තාත්ති නත්තල් සීයා වගේ ඇඳගෙන ආපු කාලයක් තිබුණා. හැබැයි කවදාවත් මම කාගෙන්වත් කිසි දෙයක් ඉල්ලලා නම් නැහැ. ඒක මගේ හැටියක්. ඒ නිසා මම පුංචි කාලේදීවත් නත්තල් සීයාගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. අම්මා තාත්තිවත් අපිට ''නත්තල් සීයාගෙන් ඕන දෙයක් ඉල්ලන්න'' කියලා කිව්වේ නැහැ. නත්තල් සීයා ගැන කියවෙන සිංදුවලින් තමයි ''නත්තල් සීයා ඉල්ලන තෑගි දෙනවා'' කියල අපි දැනගත්තේ. නත්තල් සීයාගෙන් ලැබුණ තෑගිවත් මට මතක නැහැ. අපි තෑගි හුවමාරු කර ගන්නවාට වඩා අපි එකට එකතුවෙලා කතාබහ කරන එක තමයි අපේ ලොකුම සැමරුම වෙන්නේ. අපි තෑගි හුවමාරු කරගන්න එක පුරුදු වුණේ ඇමෙරිකාවට ගියාට පස්සෙයි.


නත්තල් කේක් හැදුවද?


අපේ ගෙදර නම් වෙන වසරවලදී නත්තල් කේක් (Xmas Cake) හැදෙන්නේ නැහැ. හැබැයි මේ අවුරුද්දේ හැදේවි. අපේ නංගිට දැන් අවන් එකක් තිබෙනවා. එයා දැන් කුකීස් හදනවා. කේක් හදනවා. පාන් හදනවා. දැන් ගෙදර බේකරියක් වගේ. ඒ නිසා ''වින්ඩි නත්තල් කේක්'' බොහෝ දුරට හදාවි.


 නත්තලට පල්ලි යන්නේ කවදාද?


අපි විසි හතරවෙනිදා රූට පූජාවට පල්ලි යනවා. නැත්නම් විසි පස්වෙනිදා උදේට යනවා. ඒක හැම වසරකදීම කරන දෙයක්. එහෙම කළේ නැත්නම් ඒක හරියට නත්තල් නෙවෙයි වගෙයි. එහෙම නොවුණොත් නත්තල් හැඟීම නැහැ වගෙයි.


 රයිනි.... මේ දිනවල ගෙවන ජීවිතේ කොහොමද?


මේ දිනවල ගෙවන ජීවිතය ගොඩක් කාර්යබහුලයි. ඒක බොරු බිසියක් නෙමෙයි. ඇත්තටම කාර්යබහුලයි. මම ඒ කාර්යබහුලකමට ආසයි. අපි හැමෝටම ප්‍රශ්න, ගැටලු තිබෙනවා. කාර්යබහුලකමත් එක්ක ඒ දේවල් අමතක කරන්නට පුළුවන්. 2022 අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉඳන් 2023 දෙසැම්බර් මාසය වෙද්දී මම හැම මාසයක වගේ ටුවර් එකක් ගිහින් තිබෙනවා. මම මීට පෙර විදෙස් සංචාර කරල තිබෙනවා. හැබැයි මේ විදියට කාර්යබහුල වෙලා ට්‍රුවල් කරල නැහැ. කාර්යබහුලකම අවශ්‍යම කාලයක තමයි මට ඒ කාර්යබහුලකම ලැබුණේ. ඒකට මම ගොඩක් සතුටුයි. ඒක මට දෙවියන් වහන්සේ දීපු තෑග්ගක් විදිහටයි මම විශ්වාස කරන්නේ.


 දවස් විසි ගණනක් ගියපු සංචාරයක් තිබෙනව නේද?


ඔව්. අපි දවස් විසි අටක සංචාරයක් කළා. අපි ඕස්ට්‍රේලියාවේ ගියා. ප්‍රසංග හතරක් තිබුණ. එකම නගරයක තමයි ඒ ප්‍රසංග හතරම තිබුණේ. ඒ නිසා අපි වෙන පැත්තකට ඇවිදින්න වැඩිය ගියෙත් නැහැ. ඒකටත් ලහිරු පෙරෙරා, ප්‍රියත් රාජපක්ෂ සහ සඳලි එක්ක මම එකතු වුණා. ඒකට අපේ වයසේ වගේ බෑන්ඩ් එකක් එකතු වුණා. ඒ ගමන නම් මාරයි. අපි ලොකු ගෙදරක හිටියේ. ඒ දවස් විසි අට මාරයි. අපිට ඒ දවස් දැනුනේවත් නැහැ. ඊට පෙර මම ඕස්ට්‍රේලියාවට බොහෝ ප්‍රමාණයක් සංචාරය කරලා තියෙනවා. නමුත් මේ ගමන මාර විදිහට විනෝද වුණා. ප්‍රසංග සංවිධායකවරුන් අපිට අවශ්‍ය කෑම බීම ගෙදරටම ගෙනත් දුන්නා.


 රයිනි කෑම බීම පාලනය කරනව කියලයි ආරංචිය...?


ඔව්. මුලින් එහෙම කෑම පාලනය කරන එක මම මාස අටක් නැවැත්තුවා. ඒක ඕනෑවට වඩා කළා කියලා මට හිතුණා. හැබැයි ආයෙත් මම මීට මාසයකට උඩදී කෑම පාලනය කිරීම පටන් ගත්තෙ. දැන් මම දවසකට එක වේලයි කෑම කන්නේ. ඉස්සර මම දවල් කෑම විතරයි කෑවේ. හැබැයි රාත්‍රී කෑමට තමයි අපි හැමෝම එකතු වෙන්නේ. ඉතින් ඒ එකතු වුණාම අනිත් අය කද්දි මම මේසේ වාඩිවෙලා ඉන්න බැහැනේ. ඒ නිසා මම දැන් රූ කෑම විතරයි කන්නේ. සුපිරි හෝටලයක කෑම වේලක් තිබෙද්දී වුණත් මට කිසිම ගානක් නැතිව ඒ කෑම නොකා අනිත් අය එක්ක කතා කර කර ඉන්න පුළුවන්. මට දැන් එහෙම බඩගින්නක් දැනෙන්නේ නැහැ.


 එදා හිටපු රයිනිටත් වඩා අද ඉන්න රයිනිගේ හිත හයියයි කියලයි අපිට හිතෙන්නේ...?


ඔව්. ඇත්ත. අද මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. මීට පෙර මම තනිව තීරණ  ගත්තේ නැහැ. මුලින් මගේ අම්මගෙන් තාත්තාගෙන් ඊට පස්සේ මම විවාහ වුන ඔහුගෙත් එක්ක තමයි තීරණ ගත්තේ. ජීවිතේ මම තීරණ ගන්නේ ඔවුන් එක්ක කතාබහ කරලයි. තනියම තීරණ ගන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි 2021 අවුරුද්දේ පළමු වතාවට මට එහෙම තීරණ ගන්න සිදුවුණා. ඒ වෙලාවේ මට ඒක අවස්ථාවක් විදිහට දැක්කේ නැහැ. මට ඒ වෙලාවේ ඒක ලොකු බරක් වුණා. ඒ කාලේදී මට අලුත් වාහනයක් ගන්න ඕන වුණා. නමුත් ඒ වෙනුවෙන් එහාට මෙහාට යන්නවත් මම දැනගෙන හිටියේ නැහැ. ඒ ප්‍රශ්න ගැන හිතද්දී මම ගල් ගැහුණු තැන් තිබුණා. සමහරදාට එක දවසේ ප්‍රසංග දෙක තුන තිබුණ දවස් තිබුණා. ඒවාට තනියම මම යන්නේ කොහොමද දෙගිඩියාව හිතේ තිබුණා. ඒ  කාලේ මම වාහන ඩ්‍රයිව් කළේ නැහැ. 2021 වෙනතුරු මට ඩ්‍රයිවින් ලයිසන් තිබුණේ නැහැ. ''ප්ලේන් ලයිසන් තියෙනවා ඩ්‍රයිවින් ලයිසන් නැහැ...'' කියල අම්මිලා මට විහිළු කරනවා. මුල් කාලේ වාහනයක් තිබුණත් මම ප්‍රසංගවලට කුලී වාහනයක් කතා කරගෙන තමයි ගියේ. හැබැයි හැම මොහොතකම මම දෙවියන් වහන්සේව විශ්වාස කළා. අවුරුද්දක්ම මම ටැක්සිවලින් ප්‍රසංගවලට ගියා. ඒ දවස්වල පෙට්‍රල් හිඟයක් තිබුණ නිසා එක වතාවක් මම අනුරාධපුරයට යන්න රුපියල් අනූදාහක් දුන්නා. 2022 අවුරුද්දේ මම ඩ්‍රයිවින් ලයිසන් ගත්තා. දැන් මම නිදහස් කෙනෙක්. දැන් මගේ හිත හයියයි.


 රයිනි... ඔයාගේ නත්තල සහ අළුත් අවුරුද්දේ සුභ පැතුමන් අපිට කියන්න...


මේ කාලය අපි ගොඩක් පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කාලයක්. මෙතනින් එහාට අපිට රැවටිලි කරන අය, බොරු කරන අය අපිව පීඩනයට පත් කරන අය වැඩියි. මිනිසුන්ගේ හිත්වලට ඒ වගේ නරක අදහස් එන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. කාට හරි හිංසා කරන්න, අපහාස කරන්න, පීඩනය කරන්න හිත් පහළ නොවේවා... අපේ බොහෝ දෙනා හැම තිස්සෙම පලිගන්නට උත්සාහ ගන්නවා. ඒක අපේ කොටසක් නෙමෙයි. මම හැම වෙලේම දෙවියන් වහන්සේ සහ ස්වභාදහම විශ්වාස කරනවා. සමහරු තමන් නොදන්නා අයවත් විනිශ්චය කරනවා. ඒක ඒ අයගේ දුර්වලකමක්. ඒ නිසා කාටවත් ඒ වගේ තවත් හිතක් රිදවන්න, අපහාස කරන්න, හිත් පහළ නොවේවායි මම පතනවා.


 2024 තිබෙන බලාපොරොත්තු මොනවාද?


අපි නාට්‍ය මාලාවක් කළා. ඒක පෙන්වන්න ඕනේ. ''කළුවරට හිත බය හින්දා'' සිංදුවෙන්ම අපි කොටස් කිහිපයක්ම කළා. මම ඒකේදෙවැනි කොටස හෝ කතා මාලාවක් දෙනවා කියල පොරොන්දු වුණා. ඒකේ එක සිංදුවක් වන ''සිතුවිලි පාවී ගියා''ගීතය මුදා හැරියා. ඉතින් අපේ පවුලේ ප්‍රසංගය 2024 අවුරුද්දේ මැයි මාසයේදී පවත්වනවා. ඒ ''රෑ සඳ රූ'' ප්‍රසංගයයි. විදෙස් සංචාර කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වැඩත් එක්ක 2024ත් සතුටින් පිළිගන්න සූදානම් වෙනවා.


 දිශානි ජයමාලි




Previous Post Next Post