මම දන්නවා හැමදාම පෙම්වතාගෙ තැන ගන්න බෑ කියලා - විශ්ව කොඩිකාර



මෙරට ටෙලි නාට්‍ය කලාවේ පෙම්වත් යුගයක් බිහි කළ ඔහු මෑතක් වන තුරුම පුංචි තිරයේ ජනප්‍රියම පෙම්වතා විය. ශ්‍රී ලාංකික කලාව තුළ අතුපතර විහිදා වැඩුණු වෘක්ෂයක් සෙවණේ හැදී වැඩුණු ඔහු, දශක එකහමාරක පමණ කාලයක් පුරාවට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත විවිධාකාර චරිත හරහා ළං වෙමින් හදවත් සොරා ගත්තේය. කැරලි කොණ්ඩයත්, ආකර්ෂණීය සිනහවත් තම අනන්‍යතාව බවට පත් කර ගත් මේ අපූරු රංගන ශිල්පියා නමින් විශ්ව කොඩිකාරයි. ලෝකවාසී සියලුදෙනාට සුබ නත්තලක් පතමින් මෙවර   ඔහු කළ කතාබහයි මේ.


 මේ දවස්වල තොරතුරු ටිකක් කියමු නේද?


මේ දවස්වල ‘සීසර්ලා’ කියන මගේ අලුත්ම නාට්‍යය විකාශය වෙනවා පෞද්ගලික නාළිකාවක රාත්‍රි 9.30ට. ඒකෙ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ‘රීදී රැයක්’ හා ‘සිහින රැයක්’ ප්‍රසංගවලට සම්බන්ධ වෙලා සිටිනවා. ඒ වගේම නත්තල් සමයේ තිබෙන වැඩසටහන්වලටත් සහභාගි වෙනවා.


සීසර්ලා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?


ඒක මම බොහොම ආසාවෙන් භාර ගත්ත ටෙලි නාට්‍යයක්. විශ්ව ලංකා මහත්මයාගේ අධ්‍යක්ෂණයක්, බුද්ධික සේමසිංහ මහත්මයාගේ තිර පිටපත් රචනයක්. බොහොම සන්තෝසයි එවැනි නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම ගැන. ඒක සීරියස් කොමඩි එකක්. ඇතැම් පුද්ගලයන් හිතාගෙන ඉන්නවා මේක මේ කාලේ වාහන සීස් කරන එකත් එක්ක දෙන එකක් කියලා. ඇත්තටම ඒකෙ ප්ලොට් එක එහෙම එකක් නෙවෙයි. ඒක ලියලා තිබෙන්නේ ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න මිනිසුන්ට රෑ නවය හමාරට මේ ටෙලි නාට්‍ය බලලා හිනාවෙලා නින්දට යන්න සලස්වන්න. ඒ වගේම මේ වෙද්දි මේ ටෙලි නාට්‍යයට වගේම මටත් බොහොම හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඉතිං බොහොම සන්තෝසයි.


පුංචි තිරයේ හිටපු ජනප්‍රියම පෙම්වතෙක් ඔබ, දැන් පෙම්වතාගේ භූමිකාවට සමුදීලද?


ඇත්තටම එහෙම දෙයක් නැහැ. පෙම්වතාගේ චරිතය ආවොත් බලලා භාර ගන්නවා. නමුත් මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ වසර තුනක් ඉගනගත්ත කෙනෙක්. මට ආසයි දැන් එකිනෙකට වෙනස් චරිත කරන්න. සීසර්ලා නිර්මාණයේ මගේ චරිතයත් ඒ වගේ එකක්. ඒ වගේම ඉදිරියට එන්න තිබෙනවා චිත්‍රපටයක් ‘වර්ණ’ කියලා. අජිත් ධර්මසූරිය මහත්මයාගේ තිර පිටපතක්. ඒකෙ මගේ චරිතය වයසින් වැඩි චරිතයක්. මොකද මම දැන් තීරණයක ඉන්නවා එකිනෙකට වෙනස් චරිත කළ යුතුයි කියලා. පෙම්වතාගේ චරිතය කියන්නෙත් හොඳ එකක්. එහෙම චරිතයක් නැවත ආවත් මම බලලා භාරගන්නවා. නමුත් මම දන්නවා මට හැමදාම ඒ තැන ඉන්න බැහැ. මට වඩා ලස්සන, මට වඩා රඟපෑමෙන් දක්ෂ, තව තරුණයෝ එනවා ඔවුන්ට ඒ අවස්ථාව දිය යුතුයි. මගේ පූර්ණ සහාය එතැනදී ඔවුන්ට ලැබෙනවා.


රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් එකම රාමුවක චරිතවලට කොටු කර තිබීම මොන තරම් අවාසිදායකද?


අපේ රටේ ඒ ගැටලුව තිබෙනවා. චරිතවලදීත්, නිර්මාණවලදීත් ඒක දකින්නට ලැබෙනවා. කවුරුන් හෝ කොමඩි නිර්මාණයක් කළොත් හැමෝම රැල්ලට ඒ වගේ නිර්මාණ කරනවා. කවුරුන් හෝ අන්ඩර් වර්ල්ඩ් එක සම්බන්ධ නිර්මාණයක් කළොත් ඔන්න දිගටම ඒ ආකාරයේ නිර්මාණ කරනවා. ඒක වෙනසක් වෙන්න අවශ්‍යයි. ප්‍රේක්ෂකයාට පවා බලන්න ගියාම නිර්මාණ පැටලෙනවා. ඒ වගේම රංගන ශිල්පීන්ව ඒ වගේ එකම රාමුවකට කොටු කරන්න සුදුසු නැහැ. ඒක වෙනස් කිරීමේ හැකියාව තිබෙන්නේ අධ්‍යක්ෂවරයාට හා තිර පිටපත් රචකයාට. එතැනදී එකම චරිතයකට කොටු නොකර රංගන ශිල්පීන්ට විවිධ ආකාරයේ චරිත ලබාදීම කළ හැක්කේ ඔවුන්ට.


රංගනය සම්බන්ධයෙන් ඔබේ පියාගෙනුත් උපදෙස් ලැබෙනවා ඇති?


මොන චරිතයක් කරන්න ගියත් මම ඔහුගෙන් අහනවා. සීසර්ලගේ චරිතයේදි වුණත් මම තාත්තට කිව්වම, ඔහු කමක් නෑ භාර ගන්න කිව්වම තමයි මම විශ්ව ලංකා අයියට කතා කරලා චරිතය භාර ගන්නවා කියන දේ කිව්වේ. මගේ පියා තමයි මම අද මේ ක්ෂේත්‍රයේ ඉන්න තැනට එන්න සියයට අනූවක දායකත්වය දුන්නේ. මාව ගෙනාවේ, මාව මහේන්ද්‍ර අයියගේ වර්ක් ශොප් එකට දැම්මේ ඔහු. එතැනින් පස්සේ ඔහු මට කිව්වේ දැන් ගමන යන්න කියලා. ඔහුගේ ඒ උපදෙස අනුව තමයි මම අද මෙතැන ඉන්නේ. මාව මෙතැනට ගෙනැල්ල, මට රංගනය සම්බන්ධයෙන් උපදෙස් දීලා, අධ්‍යාපනය ලබා දීලා, මේ ක්‍ෂේත්‍රයේ ඉන්න විධිය ගැන ඉගැන්වූයේ ඔහු. ඉතුරු කොටස තමයි මගේ හැකියාව.


අධ්‍යක්ෂණයට යොමු වීමේ අදහසක් නැද්ද?


අධ්‍යක්ෂණය කරනවා කියන්නේ වෙන එකක්. සීන් එකක් අරගෙන ඒකෙ ශොට් ටික ප්ලෑන් කරගන්න මට පුළුවන්. ඒක මම දන්නවා යම්තාක් දුරකට. නමුත් ඒක නෙවෙයි අධ්‍යක්ෂණය. මම කැමැතියි තව ටිකක් මේක ඇතුළේ ඉඳලාම ඒ දේට යොමු වෙන්න. ඒ සම්බන්ධයෙන් මගේ පියාගේත් අදහස ඒකමයි. ඔහුත් මට කිව්වේ හරියට දන්නේ නැතිව අධ්‍යක්ෂණයට යොමු වෙන්න එපා. ඒක මට ලොකු බලපෑමක් වෙයි කියන දේ.


ඔබ මූල පද්ධතියෙන්ම කලාවට සම්බන්ධයි, කුඩා කාලේ ඉඳන්ම රංගනයට යොමු වෙන්නද සිහින දැක්කේ?


රංජන් අයියට  තිබෙන ආදරෙත් එක්ක නළුවෙක් වෙන්න පොඩිම කාලේ ලොකු ආසාවක් තිබුණා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් කැඩුණා. කොලේජ් බෑන්ඩ් එකේ හිටියා. කෙඩෙට් කළා. අවසානයේ මගේ යාළුවයි මායි දෙන්නම එයාර්ෆෝස් ඇප්ලයි කරන්න හිතාගෙන ඉද්දි රෝසි සිල්වා මහත්මයයි, ගාමිණී සමරසිංහ මහත්මයයි අපේ තාත්තට කියලා තිබුණා මාව සදාදර ජෝති චිත්‍රපටයට සම්බන්ධ කරගන්න කියලා. ඒ හරහා තමයි එයාර්ෆෝස් යන අදහස නැති වුණේ. නමුත් කලාවට පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණා. මම පොඩිම කාලෙත් නොහඬන් ළ¾දුනේ චිත්‍රපටයේ වගේම සුපිරි බලවතා චිත්‍රපටයෙත් කුඩා චරිත දෙකකට එක් වෙලා තිබෙනවා.


දුවයි පුතයි දෙන්නත් දැන් ටිකක් ලොකුයි, ඔවුන්ව රංගනයට යොමු කරවීමේ අදහස තිබෙනවද?


ඇත්තටම මම හරිම කැමැතියි මගේ දරුවෙක් කලාවට යොමු වෙනවට. දෙන්නම හෝ කමක් නැහැ. හැබැයි ඒක ඔවුන්ගේ අයිතිය. මම ඒ දේට වචනයකින් වත් බලපෑමක් කරන්නේ නැහැ. මොකද මගේ පියාත් මට කිසිම දවසක බලපෑමක් කරලා නැහැ මම මොනාද කරන්න අවශ්‍ය කියන දේ සම්බන්ධයෙන්. ඉතින් මමත් මගේ දරුවන්ට ඒ සම්බන්ධයෙන් කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඔවුන්ට කැමැති දෙයක් ඔවුන්ට කරන්න පුළුවන්. මම ඔවුන්ට ඒ අවස්ථාව දීලා තිබෙනවා.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


ඉදිරියට වර්ණ චිත්‍රපටය තිරගත වෙන්න තිබෙනවා. ඒ වගේම අජිත් ධර්මසූරිය මහත්මයාගේ තවත් නිර්මාණයක් ආරම්භ කරන්න නියමිතයි. ඒ වගේම තව විකාශය නොවුණු ටෙලි නාට්‍යයකුත් තිබෙනවා. ඊට අමතරව මේ දිනවල ජාතික නාළිකාවේ හවස 6.30ට කෝරලේ මහත්මයා 2 විකාශය වෙනවා. මගේ තාත්තගේ නිෂ්පාදනයක්. ඒ නාට්‍යත් බලන්න කියලා බොහෝම ආදරෙන් ආරාධනා කරනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post