මගේ ජනප්‍රියත්වය තවමත් එදා වගේමයි-පියුමි බොතේජු



මේ දිනවල විකාශය වන “කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ වින්ද්‍යාගේ චරිතයට සහ “අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යයේ ලලිතාගේ චරිතයට පණපොවන මේ අපූරු රංගන ශිල්පිනිය නමින් පියුමි බොතේජු. නිතර ප්‍රහසනය දනවන චරිත තුළින් ඔබ හමුවට එන පියුමි බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය  අදහස් බෙදා ගත්තේ මෙලෙසින්. 


කොහොමද මේ දිනවල ගෙවෙන ජීවිතේ?


මේ දිනවල ටිකක් කාර්යබහුලයි. මොකද නත්තල වගේම අලුත් අවුරුද්දත් ළඟ එනවා. ඒත් එක්කම ටෙලිනාට්‍ය දෙකක වැඩ කටයුතුත් කරගෙන යනවා. ඉතින් මේ ගෙවෙන්නේ ටිකක් කාර්යබහුල කාලයක්.


ඔබ දායක වන නිර්මාණ ගැන කතා කළොත්?


මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වින්ද්‍යාගේ චරිතය වගේම, හිරු නාළිකාවේ විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ ලලිතාගේ චරිතයට මම රංගනයෙන් දායක වෙනවා.


වින්ද්‍යාට සහ ලලිතාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ලලිතාගේ චරිතයට බොහෝ පිරිසක් කැමැතියි. මම ආසයි මිනිසුන්ට මතක හිටින දේවල් කරන්න. පසුගිය කාලයේ කඨින වැඩකටයුතුත් එක්ක මම පන්සලේ වැඩි කාලයක් රැ¾දුණා. ඉතින් උපාසක අම්මලා ඇවිත් ඉණ අතගාලා අහනවා තුවක්කුව ගෙනාවේ නැද්ද කියලා. ඇත්තටම මම කරපු චරිතයකට ඒ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනකොට ගොඩක් සතුටුයි.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


අලුත් නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු භාර අරගෙන තිබෙනවා. එකක් තමයි බුද්ධිනී ජයවර්ධනගේ නිර්මාණයක් වන කවීතා නාට්‍යය. තවත් ටෙලි නාට්‍යකට ආරාධනාවක් ලැබිලා තිබෙනවා. වේදිකා නාට්‍යවලටත් නිතරම ආරාධනා ලැබෙනවා. නමුත් ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය කියන දෙකටම කාලය යොදා ගැනීම අපහසුයි.


පියුමි සිනමාවට සහභාගී වන එක අඩු වෙලාද?


ඇත්තටම නැහැ. මේ දිනවලත් කතුරු මිතුරු චිත්‍රපටය තිරගත වෙනවා. අලුතෙන් සිනමා නිර්මාණවලට නම්  ආරාධනා ලැබිලා නැහැ. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.


ඔබ රංගනයේදී ප්‍රහසනය උපදවන චරිත නිතරම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


අපි එක චරිතයක්  හොඳට කළොත් ඊළඟ චරිතවලදී අධ්‍යක්ෂවරුන් හිතනවා පියුමි මේ චරිතය හොඳට කරයි කියලා. පබා ටෙලි නාට්‍යයේ හිමාලිගේ චරිතයෙන් පස්සේ ප්‍රහසනය දනවන චරිතවලට මට ආරාධනා ලැබුණා වැඩියි. ඒකයි පියුමි විකට චරිතවලට වැඩිපුර ඉන්නවා නේද කියලා අහන්නේ. අපේ රටේ එක් චරිතයක් හොඳට කළොත් ඒ චරිත රාමුවට අපිව කොටු වෙනවා. ඒකයි තිබෙන ගැටලුව.


පියුමි බොතේජු ප්‍රහසනය දනවන නිළියක් කියන රාමුවෙන් මිදෙන්න අදහසක් නැද්ද?


මේ වෙනකොට මම ටිකක් වෙනස් චරිත භාර අරගෙන තිබෙනවා. කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වින්ද්‍යා කියන්නේ මම මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස්ම චරිතයක්.


නත්තල සහ තිස් එක රෑ වෙනුවෙන් පියුමිට විශේෂ ආරාධනා ලැබිලා නැද්ද?


මේ වන විට සිහින රැයක් වෙනුවෙන් ආරාධනා ලැබිලා තිබෙනවා. ඊට අමතරව ක්‍රිස්මස් පාටි මේ ටිකේම තිබෙනවා. ඒ වගේ වැඩවලට මේ දිනවල සහභාගි වෙනවා.


මේ ක්ෂේත්‍රයේ ඔබට ලැබුණු අභියෝග ගැන මතක් කළොත්?


මේ ක්ෂේත්‍රයේ නිතරම මට අභියෝගයක් වුණේ මාව. මට නිතරම අවශ්‍ය වුණේ කලින් කරපු චරිතයට වඩා ඊළඟ චරිතය හොඳින් කරන්න. මම වෙන අය අභියෝගයක් කර ගන්නේ නැහැ කිසිම වෙලාවක. මම මට ලැබෙන චරිතය උපරිම හොඳින් කරන්න උත්සාහ දරන කෙනෙක්. ඉතින් ඊළඟ චරිතය උපරිම හොඳට කරන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන එකම අභියෝගය.


ඔබ පුංචි තිරයේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි වූ නිළියක් වීම ගැන මොකද හිතන්නේ?


මම හිතන්නේ ඒක ජීවිතේ මම ලබන ලොකුම වාසනාවක්. මොකද මේ අවස්ථාව හැම කෙනකුටම ලැබෙන්නේ නැහැ. ජනප්‍රියයි කියන්නේම ජනයාට ප්‍රියයි කියන එක. ප්‍රසිද්ධ කියන්නේ වෙන එකක්. ඉතින් මට ලැබුණ ජනප්‍රියත්වය එදා වගේම අදත් තිබෙනවා කියන්නේම ඒක මගේ වාසනාව.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


ඇත්තටම මම ජීවිතයේ එහෙම ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. ඒත් මගේ ජීවිතයේ මම හිතාගෙන ඉන්න ඉලක්කවලට මම යනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post