මේ තරගයේ මෙතරම් දුරක් එන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ -අංජලී හේරත්




විශාරද නන්දා මාලනියන්ගේ ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයෙන් රියැලිටි වේදිකාවම තම වසඟයට නතුකර ගත් මේ අපූරු ගායිකාව නමින් අංජලී හේරත්. කුඩා කල පටන්ම සංගීතයට වැඩි කැමැත්තක් දැක්වූ අංජලී සිය රැකියාව වශයෙන් තෝරා ගන්නේත් එමටයි. තරගයක ජයග්‍රහණය සඳහා දක්ෂතාව පමණක් නොව වාසනා මහිමයත් තිබිය යුතු යැයි විශ්වාස කරන අංජලී හේරත් මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


ඔබේ පෞද්ගලික තොරතුරුවලින් කතාව පටන්ගමු?


මගේ ගම තඹුත්තේගම. මම අධ්‍යාපනය ලැබුවේ ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයෙන්. මගේ පවුලේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නා ජීවත් වෙනවා. මම පවුලේ වැඩිමල් දරුවා. මම ගුවන්හමුදා නිලධාරිනියක් ලෙස සේවය කරනවා.


මේ ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ගොඩක් සතුටුයි. මේ තරගයේ මෙතරම් දුරක් එන්න ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් වැඩිම  මනාපවලින් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ කිරුළ හිමිකර ගන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තිබෙනවා.


කුඩා කල ලැබුණු අත්දැකීම ඩ්‍රීම් ස්ටාර් තරගයේ ජයග්‍රාහකයා වෙන්න හේතු වුණාද?


මම ලිට්ල් ස්ටාර් සීසන් 2 තරගයට සහභාගි වෙන්නේ 2007 වසරේදී. නමුත් අවසන් විසිදෙනාගේ වටයෙන් මම ඉවත් වෙනවා. නමුත් රියැලිටි තරගයකට නැවතත් එන්න කැමැත්තක් තිබුණා. නමුත් මගේ රැකියාවත් එක්ක මේ වගේ තරගයකට එන්න අපහසු නිසයි කාලයක් හිටියේ. ඉතිං මට මේ තරගයට එන්න ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිතුමා මට අවස්ථාව ලබා දුන්නා. ඒ වෙනකොට මට මේ ජයග්‍රහණය ලබාදුන් තරගයේ ඔඩිශන් තිබුණා. අනෙක පුංචි කාලයේ තිබුණ අත්දැකීම සහ විශ්වාසයත් එක්ක මම මේ තරගය තෝරා ගත්තා.


තරගයේ ජයග්‍රහණය දක්වා ඔබම රැගෙන ආවේ “ඔබයි රම්‍ය සඳ කිරණ” ගීතයද?


ඔව්, මේ ගීතය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මේ ගීතය තෝරා ගත්තේ මගේ අම්මාගේ බල කිරීමට. නමුත් ගීතය ගායනා කරගෙන යද්දී මට එක පද පේළියක් අමතක වුණා. මම හිතුවේ එදා මම තරගයෙන් ඉවත් වෙයි කියලා. මට තවමත් හිතා ගන්න බැහැ ඒක වුණේ කොහොමද කියලා. නමුත් මේ සිදුවීමත් එක්ක මගේ මේ ගීතය වයිරල් වෙන්න පටන් ගත්තා. ඒකෙන් තමයි ගොඩක් අය මට ආදරය කරන්න පටන් ගත්තේ.


අංජලීට බයිල ගීත ගායනා කරන්න විශේෂ හැකියාවක් තිබෙනවා කියන්නේ ඇත්තද?


ඇත්තටම මම බයිලා ගීත ගායනා කරන්න ගොඩක් කැමැතියි. නමුත් මම ඕනෑම ශෛලියක ගීත ගායනා කරනවා.


ඩ්‍රීම් ස්ටාර් තරගයේදී ඔබ විවිධ ශෛලීන්ගේ ගීත තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම මට මේ තරගයේදී විවිධ ගීත ගායනා කිරීමේ වුවමනාවක් තිබුණා. මම එක රාමුවකට කොටුවෙලා නැහැ කියන දේ ඔප්පු කරන්න අවශ්‍ය වුණා. ඒ නිසයි විවිධ ශෛලීන්ගේ ගීත තෝරා ගත්තේ.


අවසන් තරගයේදී ගායනා කළ පිටකවරේ ගීතයට සංජීව් ලෝන්ලියස්ගෙන් ලැබුණ ප්‍රතිචාරය කොහොමද?


ඇත්තටම මම ගීතය ගායනා කරද්දී දැනගෙන හිටියේ නැහැ ඔහු ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා කියලා. ගීතය අවසාන වෙද්දී ඔහු ආසනයෙන් නැඟිටලා මට චියර් කරනවා. ඒ වෙලාවේදී තමයි මම ඔහුව දැක්කේ. ඇත්තටම මම ඒ වෙලාවේදී ගොඩාක් සතුටු වුණා.  ගීතයේ හිමිකරු ඉදිරියේදීම මට ඒ ගීතය ගායනා කරන්න ලැබීමම මට ලොකු සතුටක් වගේම ආඩම්බරයක්.


අවසන් වටයට තේරුණු අනෙක් තරගකාරිනියන් ඔබට අභියෝගයක් වුණේ නැද්ද?


විශාල පිරිසක් අතරින් අපි තුන්දෙනා අවසන් වටය දක්වා එන්නේ. අවසන් තුන්දෙනාට අපි තේරුණාට පස්සේ  අපි කතා වුණේ දැනටමත් අපි තුන්දෙනා දිනුවා හා සමානයි කියන එක. ඉතින් අපි අතරින් කවුරුන් ජයග්‍රාහකයා වුණත් කමක් නැහැ කියන තැන අපි තුන්දෙනාම හිටියා. ඇත්තටම මම ජයග්‍රාහකයා වුණත් අනික් දෙදෙනාත් ගොඩක් දක්ෂයි. ඉතින් තරගයේදී දක්ෂතාව වගේම වාසනාව කියන දේත් බලපානවා කියන එක මම විශ්වාස කරනවා.


අවසන් වටයේදී විවිධ ගීත තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?


විශේෂයෙන්ම මම අවසන් වටයේදී ඔබයි රම්‍ය සඳ කිරණ ගීතය තෝරා ගත්තා. මොකද මට මේ ගීතය කලින් අවස්ථාවක වරදිනවා. නමුත් මට ආදරය කරන මාව විශ්වාස කළ පිරිස එදා දෙවැනියට වැඩිම වෝට්ස් ලබා දීලා මාව තරගයේ ඉදිරියට අරගෙන එනවා. ඒ අයට වගේම මේ ගීතයට සාධාරණයක් කරන්න අවශ්‍ය නිසා මම ඒ ගීතය තෝරා ගත්තා. ඒත් එක්කම මගේ කැමැත්ත නිසා පිටකවරේ ගීතය සහ බයිලා ගීතයක් තෝරා ගත්තා.


ඉදිරියේදී ඔබේම ගීත එකතුවක් අපට අසන්නට ලැබෙයිද?


අනිවාර්යයෙන්ම. බොහොම ඉක්මනින්ම මගේම ගීත නිර්මාණ එකතුවක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.


අංජලීට මේ තරගය ජයග්‍රහණය කරන්න සැලැස්මක් තිබුණා වගේම ඉදිරි අනාගතය පිළිබඳව සැලැස්මක් තිබෙනවාද?


ඇත්තටම මේ තරගයේ ජයග්‍රහණය දක්වා පැමිණීමම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ගොඩක් මහන්සිවෙලයි මේ තැනට ආවේ. විවිධ හැලහැප්පීම් එක්ක මෙතරම් දුරක් ඇවිත් මේ ගමන මෙතැනින් නතර කරනවාද? නැතිනම් ඉදිරියට යනවාද කියන තීරණය තියෙන්නේ අපේ අතේ. පෞද්ගලිකව මම බලාපොරොත්තු වෙනවා ලැබුණ දේ නැතිකර ගන්නේ නැතිව ඉදිරියටම යන්න.


ඔබේ රැකියාවත් එක්ක මේ ලැබුණ අවස්ථාව ගැන මොකද හිතන්නේ?


ඇත්තටම ඒ ගැන නම් ගොඩක් සතුටු හිතෙනවා. මේ තරගයේදී ගුවන් හමුදාව මාව රැකියාවෙන් නිදහස් කරනවා. මේ ජයග්‍රහණයට ලොකුම හේතුව ඒක. කිසිම අවස්ථාවක වෘත්තීමය ජීවිතයෙන් ඔවුන් මාව හිර කරන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ දෙකම සමබරව කරගෙන යන්න මට පුළුවන් කියලා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


තවදුරටත් මට සංගීතය හදාරන්න අවශ්‍යයි. ඒ වගේම මට මාව හොයාගෙන යන්න පුළුවන්  තරමට, මිනිස්සු මට ආදරය කරන තරමටම මට මාව ගොඩනැඟෙන්න ඕනේ. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව.




Previous Post Next Post