මට කවදාවත් එහෙම හීන තිබුණෙ නෑ-නෙත්මි සත්සරණි



නිළියක් වෙන්නම සිහින නොදැක්කත් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමත් එක්කම රංගනයට අවස්ථාව ලද කෙනෙක් නෙත්මි සත්සරණි. ටෙලි තිරයේ නිර්මාණ කිහිපයකින්ම නෙත්මිව සැරින් සැරේ ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණා. මේ දිනවල නම් නෙත්මි සැරි සරන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ “සුසුම් රස්තියාදුව” ටෙලි නිර්මාණයේ නෙතු ලෙසින්.


මුලින්ම නෙත්මි ගැන විස්තර ටිකක් කිව්වොත්


මගේ නම නෙත්මි සත්සරණි. ගම අවිස්සාවේල්ල. ඉගෙන ගත්තේ සීතාවක ජාතික පාසලෙන්. මගෙ පවුලෙ ඉන්නෙ අම්මා තාත්තා අයියයි මමයි


කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?


මුලින්ම සම්බන්ධ වෙන්නෙ නිරූපණ ක්ෂේත්‍රයට. ඉන් පසුව මට රංගනට එන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කසුන් තරින්ද අයියා අධ්‍යක්ෂණය කළ හිරු ටීවී හි විකාශය වුණු අකුරු මැකී නෑ ටෙලි නාට්‍යය හරහා.


කවදාහරි රංගනයට එන්න ද සිහින මැව්වෙ?


ඇත්තටම මට කවදාවත් එහෙම සිහිනයක් තිබුණේ නැහැ. ඒත් හිතුවෙවත් නැති වෙලාවක මට ඒ අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අවස්ථාව මගේ ජීවිතේ වෙනස් කරපු එක තැනක්.


මේ වෙද්දි සම්බන්ධ වෙන්න ලැබුණ නිර්මාණ මොනවද?


අකුරු මැකී නෑ, දිවිතුරා, හිරු ටෙලි සිනමා සිත්තම, සකර්ම , සිහින ගෙනෙන කුමාරියේ වැනි නිර්මාණවලට දායක වෙන්න අවස්ථාවක් ලැබුණා.


මුල්ම නිර්මාණය තුළින් ලැබුණු අත්දැකීම කොහොමද?


මුලින්ම කැමරාවක් ඉදිරියේ රඟපාන එක ලොකු අභියෝගයක්. ඒත් මට ඒ අවස්ථාවේ දී හැමෝම වගේ ගොඩක් උදවු කළා මගේ අඩුපාඩු හදා ගන්න. මම මේ ක්ෂේත්‍රයට තවම නවකයෙක්. මට ඉගෙන ගන්න තව ගොඩක් දේ තියනවා.


සුසුම් රස්තියාදුවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ දිනවල සවර්ණවාහිනියේ විකාශය වන නාට්‍යය අතුරින් ඉතාමත් ජනප්‍රිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබෙන නාට්‍යයක්. මට මේ වගේ අතිවිශිෂ්ට නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක්. මේ සඳහා මට අවස්ථාව ලැබෙන්නේ එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සර් හරහා. ඉතාමත් අාසාවෙන් සම්බන්ධ වුණු ටෙලි නාට්‍යයක්. එවැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ මෙවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීමම මට ලැබුණු ලොකු අවස්ථාවක්.


ගෙදරින් ඔබේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද?


ලෙකු සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගය මගේ ගමනට ලොකු ආශීර්වාදයක්.


චරිතවලදී සීමාවන් තියෙනවා ද


මට ලැබෙන චරිතය හොඳින් කරන්න පුළුවන් නම් ඒ චරිතය තුළින් වෙනස් දෙයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පුළුවන් නම් සහ ඒක මට සුදුසුයි කියලා දැනෙනවා නම් මම බාර ගන්නවා.


වැඩියෙන්ම කැමති මොනවගේ ඇඳුම්වලටද ?


එහෙම නෑ. මට ගැළපෙන ඕනෙම ඇඳුමක් මම අඳිනවා. ඒ ඇඳුම මගේ ඇඟට ලස්සනයි නම් මම ආසයි නම් මම අඳිනවා.


ආදරේ දකින්නෙ කොහොමද?


මම දකින්නෙ ආදරේ සුන්දර වෙන්න නම් තමන්ට තමන් වෙලා ඉන්න පුළුවන් කෙනෙක් ලැබෙන්න ඕනේ. පොඩිදේටත් දාලා යන කෙනෙක් නොවී. වෙන් වෙන්න හේතු තියෙද්දිත් අත්නොහරින ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන.


ආදරවන්තියක් ද?


ඇත්තටම ඔව්


ඔහු ගැන කිව්වොත්?


ඔහු මාව හොඳින් තේරුම් ගත්ත මගේ හැමදේටම හයියක් වෙලා මාව දරාගෙන මගේ ළඟින්ම ඉන්න කෙනෙක් කිව්වොත් හරි.


දිගටම රඟපාන්නද කැමැත්ත?


ඔව් රඟපාන්න වගේම නිරුපණ ක්ෂේත්‍රයෙනුත් තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


අනුෂා රණසිංහ




Previous Post Next Post