අහිමිවීමේ වේදනාවෙ බර මම හොඳටම දන්නවා-අයේෂා දිසානායක




අයේෂා දිසානායක මේ නම මතක නැතත් මේ රුව බොහෝ දෙනෙකුට අමතක නැතුව ඇති. වේදිකාවට නැතුවම බැරි ඈ දැන් පුංචි තිරයත් ආක්‍රමණය කරලා. මේ දිනවල විකාශය වෙන ජනප්‍රිය ටෙලි නාට්‍ය තුනකින් හැමදාම දකින්න ලැබෙන ඈ ගැනයි මේ.


අයේෂා කියන්නේ රංගනයට අද ඊයේ සම්බන්ධ වූ කෙනෙක් නෙමෙයි , ඔබව වේදීකාවෙන් සොයාගත් නිළියක් ..?


ඇත්තටම මම අද ඊයේ රංගනයට සම්බන්ධ වුණු කෙනෙක් නෙමෙයි , 2002 කොළඹට ඇවිත් වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වෙමින් ඉන්න කාලේ වේදිකාවේ මගේ රංගනය දැකලා මට පුංචි තිරයට ආරාධනා ලැබෙන්නෙ. කම්පිත විල, මායා රූ, උඩුවියන්, වගේ දැවැන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා ප්‍රධාන චරිතවලට මට අවස්ථාව ලැබුණා. ඇත්තටම කිව්වොත් මට වේදිකාවේ පන්නරය තමයි ටෙලි නිර්මාණ සඳහා අවකාශය ලැබෙන්නේ.


ඔබ කොළඹ ප්‍රධාන බාලිකාවක ගුරුවරියක්..?


මම රංගනයට අවතීර්ණ වුණාට පස්සේ තමයි ගුරුවරියක් වෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ. මම ගුරුවරියක් වෙනකොට ස්වර්ණවාහිනීයේ නිවේදිකාවක්. නර්තන රියැලිටි වැඩසටහනක හිටියා , හොඳ නිර්මාණ කරමින් ඉන්න වෙලාවක ලැබුණු රැකියාවක් ගුරු රැකියාව. ඒ වෙද්දී මගේ ගෙදරින් කිව්වා රංගනය රැකියාව කර ගන්න එපා වැඩ තියෙන වගේම වැඩ නැති කාල තියෙනවා. ඒක ජීවිතේ ගෙනියන්න අපහසුයි. ස්ථිර රැකියාවක් තියෙන එක වටිනවා කියලා. අද මගේ අදහස් වෙනස්. දැන් හිතෙනවා රංගනයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ගුරුවරියක් විදිහට වැඩ කරන්න මම ආසයි. ඒ වගේම ඒ වෘත්තියට ගරු කරනවා.


දෙකෙන් එකක් තෝරා ගන්න වුණොත් ..?


රංගනය හෝ ගුරු රැකියාවෙන් එකක් තෝර ගන්න වුණොත් ගුරුවරියක් විදිහට තෝරා ගන්නවා. ඒත් දෙකටම සාධාරණයක් කරන්න මම වෙහෙස ගන්නවා. මේ දෙකටම ආදරෙයි. එහෙම තීරණයක් ගන්න වුණු දවසට මම අපහසුතාවට පත් වෙයි හා ඒක දෛවයේ සරදමක් කියලා තමයි හිතන්න වෙන්නේ.


හිමින් ගමනක් ගියාට රංගනයේදි ඔබට විවිධ චරිත ලැබිලා තියෙනවා ..?


ඒක හරි වාසනාවක්. කාලයක් කලාව එක්ක හිටියට ගුරු රැකියාව නිසා හරිම හිමින් මේ ගමන යන්නේ. මගේ සමකාලිනයින් මාව පහු කරන් ගිහින්. ඒත් මට එකිනෙකට වෙනස් චරිත ලැබුණා. නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒ තුනම ජනප්‍රියයි. සල්ලි පොකුරු නාට්‍යයේ දරුවෝ ඉන්න ස්කීම් එකක ඉන්න අම්මා කෙනෙක්. ඉතිං ඇදුම් මාරු කරන එක නෙමෙයි කරන්න ඕන චරිතවලට සමවැදෙන්න ඕන. කැමරාවේදී මාව අමතක කරලා ලැබුණු චරිතේ ගොඩනඟන්න ඕන. මම හිතනවා මට ඒ දේ කරන්න අවස්ථාව ලැබුණා කියලා. වේදිකා තමයි මාව හැදුවේ. මාව පොලිෂ් කළේ.


බදුල්ලෙන් කොළඹට ආවේ රඟපාන්න හිතාගෙනමද..?


මම ගෙදර රේඩියෝ එක අහගෙන ඉන්න මොහොතක ගියා ටවර් හෝල් නාට්‍ය පාසලට ශිෂ්‍යයින් බඳවා ගන්නවා කියලා. එතකොට මම උසස් පෙළ කරලා. ඉතිං මම අයැදුම් කරා. ඒ වෙද්දී අපේ පවුලෙන් කොළඹ ඇවිත් තිබුණේ මාමගේ පුතා විතරයි. අයියා මට උදව් කළා බෝඩිමක් හොයාගෙන ටවර් හෝල් පාසලෙන් ඉගෙන ගන්න. ඒත් එක්ක සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරි පත් වුණා. කැම්පස් එකේ වැඩ අතපසු කරගෙන නාට්‍ය පාසලට ගියා. මුල් කාලේ දෙක බැලන්ස් කර ගන්න අපහසු වුණා . කොහොම හරි ඇදගෙන ගියා. මට ලොකු උවමනාවක් තිබ්බා කොළඹ ට එන්න. ඒත් හේතුව දන්නෙ නැහැ. හේතුව තවම මම හොයනවා.


ජනප්‍රියත්වය මේන්ටේන් කරන නළු නිළියෝ ඉන්න යුගයක ඔබ ජනප්‍රියත්වය අමතක කරලා ජීවත් වෙන නිළියක්..?


මම දන්නෙත් නැහැ මම ජනප්‍රිය ද කියලා , මේ දවස්වල තමයි මට දැනෙන්නේ මම මිනිස්සු අතරේ ඉන්න කෙනෙක් කියලා , හේතුව පාරට බහිද්දි ලැබෙන ප්‍රතිචාර නිසා . ඒත් මම ජනප්‍රියත්වය ඔළුවට ගන්නෙ නැහැ. මම ගෙදරින් එළියට යන්නෙත් සාමාන්‍ය විදිහට ඇඳගෙන මේකප් දාන්නෙත් නැහැ. මගේ නංගී මගෙන් අහනවා ඔයා ඔහොමද යන්න හදන්නෙ කියලා. නංගි කියනවා පොඩ්ඩක් පිළිවෙළට අඳින්න කියලා. මම මට ලැබෙන චරිත මේන්ටේන් කරනවා. ඒත් මම සාමාන්‍ය කෙනෙක් විදිහට හිතලා ජීවත් වෙන්නෙ. ඒක පහසුයි. අමාරුම දේ බොරුවට මේන්ටේන් වෙන්න දඟලන එක තමයි. කොච්චර අපහසුද කියනවා නම් මම කලාකරුවන්ගේ වෙඩින් පාටිවලට යන්නෙ නැහැ. හේතුව ඒ තරගෙට යන්න අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕන නිසා.


අයේෂා දිසානායක කියන නම අමතක කරලා චරිතවලින් කතා කරන රසිකයන් පිරිසක් ද ඔබට ඉන්නෙ..?


මගේ නම කියලා කතා නොකරන තරම් කිව්වොත් හරි. නම ජනතාව අතරේ තියෙන්න කාරණා කිහිපයක් තියෙනවා. එකක් නිරන්තරයෙන්ම පෙනී සිටීම. චැනල්වල යන වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න ඕන නිතරම. ගොසිප් හැදුනම නම කියැවෙනවා මේ දෙකේම නැහැ , වැඩසටහන්වලට යනවා හරි අඩුයි, චරිතවලින් මාව දන්නේ, මම ඒකට ආසයි. නදීශා කිව්වම කවුද ඒ කියලා කල්පනා කරනවා. ඒත් අහවල් නාට්‍යයේ අහවලා කිව්වම දන්නවා. පුංචි දරුවෝ හරි ආසයි මාත් එක්ක ඡායාරූප ගන්න. මාත් එක්ක කතා කරන්න. ඔයා ළමයි අතරේ ඉන්නවා කියලා මගේ යාළුවෙකුත් කිව්වා. හේතුව දන්නෙ නැහැ, සල්ලි පොකුරු නිසා වෙන්නත් ඇති.


පාසලේදි ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?


ප්‍රතිචාර හොඳයි. ඒත් මම ඒ ප්‍රතිචාරවලට වැඩිය උනන්දුවක් පෙන්නන්නෙ නැහැ. හේතුව මම පාසලේදි ගුරුවරියක් නිසා. මුලින්ම හදන්න ඕන ළමයින්ගේ අධ්‍යාපන මට්ටම නිසා මම පාසලේදී මහන්සි වෙන්නෙ දරුවන්ට හරි දෙයක් කරන්න. දක්ෂ ළමයින්ට පාසලේදී නාට්‍ය පැත්තෙන් උදව් කරනවා. ඒ හැරුණම එයාලට රඟපෑමෙ උනන්දුව දෙන්න යන්නෙ නැහැ.


ප්‍රවීණයන් කුහකයි කියනවා. රංගනයට අවතිර්ණ වුණු මුල් කාලේ ප්‍රවිණයින්ගෙන් ලැබුණේ සහයක් ද, එහෙම නැත්තම් කැපිලි කෙටිලි ද..?


මම මුලින්ම රඟපෑව වේදිකා නාට්‍යයේ ප්‍රවීණයින් එක්කම තමයි මට ලැබුණු ටෙලි නාට්‍යවලත් රඟපාන්න අවස්ථාව ලැබුණේ. මුල් කාලේදි ප්‍රවීණයන්ගේ සහාය ඕන. ඔවුන් එක්ක තමයි ඉගෙන ගනිමින් මේ ගමන යන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම තමයි ප්‍රවීණයින් අලුතෙන් එන අයව මානසිකව වට්ටන්න උත්සාහ ගන්නෙ. කැපිලි කෙටිලි කියන ඒවා එන්නෙ අලුතෙන් පිවිසෙන අයට. මටත් ඔය දේවල් වුණා. මාව ඇදලා දාන්න උත්සාහ ගත්ත අය හිටියා, හැමෝම නෙමෙයි එක්කෙනෙක් දෙන්නෙක්. ඒත් මට ලැබුණු ප්‍රබල චරිත නිසා ඒ අයට ඒක කරන්න බැරි වුණා. ඒ අය අද මට හිතවත්. අපි යාළුවෝ. එදා කරපුවා මතකත් නැහැ . මම ඒවා හිතන්නේ නැහැ දැන් .


ඇතැම් අයට එන අයුතු යෝජනා ඔබට ආවේ නැද්ද , දක්ෂ නිළියක් හැටියට ඔබ කොහොමද ඒවාට මුහුණ දුන්නේ..?


මම වේදිකාවෙන් ආ නිළියක්. ඒක තමයි මගේ ආරක්ෂාව. ආතක්පාතක් නැති වුණාම හරි ලේසියි ඒ වගේ යෝජනා කරන්න. නමුත් මම වේදිකාවෙන් ආ නිසා නිර්මාණ මට ලැබුණේ දක්ෂතාවයට හිතවත්කමට නෙමෙයි. ඒ නිසා කාටවත් එහෙම යෝජනා ගෙනැත් මට වැඩ දෙන්න මට්ටමක මම එදත් අදත් හිටියේ නැහැ . මට ලැබුණෙත් හොඳ චරිත ඒ වගේම ප්‍රධාන චරිතත් මට ලැබුණා.


අහිමි වීම මුලින්ම දැනෙන්න පටන් ගන්නේ කවුරු නිසා ද කියලත් කියමු..?


මගේ පවුලේ ඉන්නේ අම්මයි නංගියි. නංගි විවාහකයි. ඇයට දරුවෙක් ඉන්නවා. මාස දෙකකට කලින් මගේ තාත්තා නැති වුණා. එදා තමයි මට මුලින්ම අහිමි වීම කොයිතරම් වේදනාවක් ද කියලා දැනුණේ. තාත්තගෙ මතක මාව මානසිකව වට්ටනවා. මට දැන් ඉන්නේ අම්මා විතරයි. එයාගේ හැම ආසාවක්ම මම නොපිරිහෙලා ඉටු කරනවා. මට තාත්තා වෙනුවෙන් තව ගොඩක් දේවල් කරන්න තිබ්බා නේද කියලා දැන් හිතෙනවා.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post