හොඳ දේවල් එන්නෙ ප්‍රමාද වෙලා අපි කාලයට ඉඩ දෙමු- ශිරෝෂි රෝමේෂිකා




මීට වසර ගණනකට පෙර ලක්ෂ ගණනක් වූ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් පායා ආ දීප්තිමත් නර්තන තාරකාවක් වූ ඇය පසුකාලීනව අපට හමු වන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසිනුයි. සුන්දර වුවන, මන බඳිනා හැඩැති සිරුර මේ සියල්ල සමඟින් මෙරට වැසියන් තමා වසඟයට ගන්නට සමත් වූ ඇය ඇගේ ගමන ආරම්භයේ පටන් මේ දක්වාම තම සතු දක්ෂතා මැනවින් ප්‍රේක්ෂකයා හමුවේ පෙන්වීමට සමත් වූ අයෙක්. මේ දිනවල විකාශය වන සර්කස්කාරයෝහි කාංචනා චරිතයට පණ දෙන ඇය, ඔබ අපි කවුරුත් හ¾දුනන ශිරෝෂි රෝමේෂිකායි. මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු? මේ දවස්වල රූගත කිරීම් එක්ක තරමක් කාර්යබහුල වෙලා ජීවිතේ.


සර්කස්කාරයෝ කාංචනාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?


ඉතාමත් ඉහළයි. ඉහළයි කිව්වෙ ලැබෙන විවේචනාත්මක ප්‍රතිචාර ගැන පවා සතුටක් තිබෙනවා හිතේ. සමහර මිනිස්සු කාංචනාට කැමැතියි. සමහර මිනිස්සු අකැමැතියි. ඒ දිහා බලද්දි මම කාංචනාගෙ චරිතයට සාධාරණයක් කරලා කියලා දැනෙනවා. ඒ සාර්ථක රංගනයට ඉඩ හදලා දුන්න මුල්ම කෙනා ශිවගුරුනාදන් මහත්මයා. එතුමන් ගෞරවනීය ඉතාමත් විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඔහු තමයි  මෙම නිර්මාණයේ අධ්‍යක්ෂවරයා. ඔහු මට මේ නිර්මාණයට ආරාධනය කළේ ‘දුවේ ඔයා එනවද’ කියලයි. ඒ  වගේම ඒ නිර්මාණයේ සාර්ථකත්වයට දෙවනුව සවිය වෙන්නෙ තුසිත අනුරාධ මහත්මයා. ඔහු තමයි මෙම නිර්මාණයට කැමරාකරණයෙන් දායක වෙන කෙනා. කැමරාකරණයට එහා ගිය ඔහුගේ සහයෝගයත් මතක් කරන ගමන්ම  අනෙකුත් රංගන ශිල්පිනියන්, ශිල්පීන්ටත් වගේම කාර්ය මණ්ඩලයටත් ගෞරවය ලැබිය යුතුයි කාංචනා චරිතයට ලැබෙන ප්‍රතිචාර වෙනුවෙන්.


කාංචනා වගේ චරිත කරපු අයිකොනික් ආර්ටිස්ලා කොච්චර හිටියත් ඒ චරිතේ හරියටම කරන්නේ ශිරෝෂි කියලා ඇතැම් ප්‍රේක්ෂකයන් කියනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒක ගැන මට අදහසක් දෙන්න අමාරුයි සහ මම එහෙම කරන එක සදාචාරාත්මක නැහැ කියලා හිතනවා. හැම රංගන ශිල්පිනියක්ටම, ශිල්පියෙක්ටම මම ගරු කරනවා. ඔබ කිව්වා වගේ මාව ඒ විධියට අගය කරන අයට මගේ හිත පතුලෙන්ම ආදරය සහ ගෞරවය පුද කරනවා.


ඕකේ බොස්හි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඒකත් වෙනස්ම චරිතයක්. ඒකට මට ආරාධනා ලැබුණෙ අරුණ ජයවර්ධන මහත්මයාගෙන්. ඔහු තමයි එම නිර්මාණයේ අධ්‍යක්ෂවරයා. ඒ වගේ චරිතවලට මම කලින් පණ පොවලා නැති නිසාත් අරුණ ජයවර්ධන සහෝදරයාගෙ නිර්මාණාත්මක හැකියාව ගැන මට විශ්වාසයක් තිබුණු නිසාත් මම ඒ චරිතය භාර අරගෙන ඉතා කැමැත්තෙන් සහාය දුන්නා. ඒ සහයෝගයේ ප්‍රතිඵල සතුටුදායකයි. ප්‍රේක්ෂකයන් ඒ චරිතයත් ආදරණීයව වැලඳගෙන තිබෙනවා මේ වෙද්දි.


ශිරෝෂිව ලංකාව දැනගන්නේ බොහොම සුන්දර අහිංසක හැඩකාර, ලස්සනට නටන්න පුළුවන් යුවතියක් විධියට. ඒ තැනින් කාංචනා වගේ චරිතයකට අනුගත වීම මොන වගේ අත්දැකීමක්ද?


ඇත්තටම මම  මං ගැනම කතා කරන්න  ලොකු කැමැත්තක් තිබෙන කෙනෙක් නෙවෙයි. ඒත් මේ කියනවා වගේ මම අනෙකාට කරදරයක් නැතිව ජීවත් වෙන්න කැමැති කෙනෙක් සහ මගේ කලා ජීවිතේදී තෝරා බේරාගෙන වැඩ කරනවා වගේම කරන නිර්මාණය වෙනුවෙන් උපරිම සහාය දෙන්න වුවමනාව තිබෙන කෙනෙක්.  හැම කෙනෙක්ගෙම ඇතුළාන්තයේ නපුරු හෝ අහිංසක චරිත දෙකම ජීවත් වෙනවා. මම මේ කාංචනා චරිතයට මගේ ඇතුළේ ඉන්න නපුරු ගැහැනියගේ භාවයන් මුසු කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මම මිනිසා කියන සත්ත්වයාව නිරීක්ෂණය කරන කෙනෙක් නිසා මම දැකපු ඇත්ත චරිතවල භාවයනුත් එක්ක මේ කාංචනාට පණ දෙනවා කියලා හිතනවා. ඒ කෙසේ වෙතත් මේ රංගනයේ ප්‍රතිඵල සතුටුදායකයි.


කාලයක් නොපෙනී හිටපු එකෙන් හොඳ වැඩ මඟ හැරුණා කියලා හිතෙන්නේ නැද්ද?


ඔබ වැඩ කියලා අදහස් කරන්නෙ රංගන වැඩකටයුතු ගැන නම් මේ ප්‍රශ්නයට උත්තරය ‘ඔව්’. නමුත් මගේ ජීවිතය සම්බන්ධයෙන් සහ අනෙකුත් පෞද්ගලික වැඩ සම්බන්ධයෙන් මම කාර්යබහුල වුණා. ප්‍රධානම හේතුව මගේ ආදරණීය දියණිය. එයා දැන් තරමක් වැඩුණු කෙනෙක් නිසා මට මේ විධියට කලා කටයුතුවලට සහාය දෙන්න පුළුවන් වෙලා තිබෙනවා.  අනෙකුත් වැඩ සියල්ලටම වඩා මගේ දුව එක්ක ගත කරන ජීවිතය වටිනවා. ඒ නිසා වැඩ මඟඇරුණා කියන පසුතැවීම මගෙ  හිතේ නැහැ.


අපිට ආයේ ශිරෝෂි කියන දක්ෂ නර්තන ශිල්පිනියව බලාගන්න බැරි වෙයිද?


අනිවාර්යයෙන්ම පුළුවන්. අපි කාලයට ඉඩදෙමු. සමහර හොඳ දේවල් එන්නෙ ප්‍රමාද වෙලා.


දුව ගැනත් පොඩ්ඩක් කියමු?


කෙටියෙන්ම එයා මගේ හැමදේම.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන වැඩකටයුතුත් මතක් කරමු?


ඉදිරියේදී තව නිර්මාණ කිහිපයක මාව වෙනස් විධියට දැකගන්න පුළුවන් වේවි. මම තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක් නිසා වැඩ ගොඩක් බදාගෙන අපහසුතාවට පත්වෙන එක මගෙ විධිය නෙවෙයි.




Previous Post Next Post