චරිත තෝරන්න දෙයක් නෑ මට ගැළපෙන ඒවමයි ලැබෙන්නේ- සංගීත් ප්‍රභූ



මේ දිනවල පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ නළුවෙක් ලෙස සංගීත් ප්‍රභූ හ¾දුන්වන්නට පුළුවන්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියාගේ චරිතයෙන් බොහෝදෙනා අතර ජනප්‍රිය වූ සංගීත් ප්‍රභූ මේ වන විට ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන චරිතයක් වී හමාරයි. තරුණ නළුවෙක් ලෙස ටෙලි නාට්‍ය සහ මියුසික් වීඩියෝ රැසකටම සිය රංගන දායකත්වය ලබාදෙමින් බොහොම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබන්නට තරම් සංගීත් සැබැවින්ම වාසනාවන්තයෙක්. සිය දක්ෂතාව සහ කැපවීම මත තම රංගන දිවිය හැඩ කරගන්නා මේ නිරහංකාර රංගන ශිල්පියා මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


කොහොමද මේ දිනවල ගෙවන ජීවිතේ?


මේ දිනවල මම ටිකක් කාර්යබහුලයි. කලා නිර්මාණ කිහිපයකම වැඩ මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. ඒවාත් කරගෙන ව්‍යාපාර කටයුතුත් කරගෙන ශේප් එකේ ඉන්නවා.


මේ දිනවල නිරත වන කලා කටයුතු ගැන කතා කළොත්?


මේ දිනවල භාරගත්තු කලා නිර්මාණ කිහිපයකම වැඩ ආරම්භ වෙලා තිබෙනවා. සික්ස් පැක්, බයිස්කෝප්කාරයෝ, ඇතුළුවීම තහනම් කියන ටෙලි නාට්‍ය කිහිපයේම  ෂූටින් වැඩ මේ දිනවල කරගෙන යනවා. ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.


ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් නේද?


ඇත්තටම ඔව්. සද්ධාමංගල මහත්මයාගේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කවඩියාගේ චරිතයෙන් තමයි මාව බොහෝදෙනා හ¾දුනා ගත්තේ. ඇත්තටම මේ කවඩියාගේ චරිතයත් වෙනස් ආකාරයේ චරිතයක්. බොහෝ පිරිසක් ඒ චරිතයට ආදරය කළා. ඉතින් සජිත් ඇන්තනී අයියත් එක්ක රඟපාපු හොඳ නිර්මාණයක් නාඩගම්කාරයෝ කියන්නේ. නොබෝ දවසකින් නැවතත් අපි දෙන්නා වෙනස්ම ආකාරයේ චරිත තුළින් ඔබ හමුවට එන්නත් බලාපොරොත්තු වෙනවා.


වර්තමානයේදී රංගනයට අමතරව නිරූපණ කටයුතුත් කරනවාද?


නිරූපණ කටයුතු කියලා වෙනමම කරන්නේ නැහැ. නමුත් වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා. ඒත් එක්කම මියුසික් වීඩියෝ කිහිපයකුත් කළා. රංගනයට අමතරව ව්‍යාපාර කටයුතු සහ මේ දේවල් අතරේ තමයි මගේ වැඩකටයුතු බෙදිලා තිබෙන්නේ.


ඔබේ අලුත් නිර්මාණ ගැන කතා කළොත්?


සජිත් අයියයි මමයි රංගනයෙන් දායක වෙන අලුත් නිර්මාණයක් ඉදිරියේදී එන්න තියෙනවා. මම දැනටමත් නිර්මාණ හතරක පහකම වැඩ භාර අරගෙන කරගෙන යනවා. ඉතින් තවත් අලුත් නිර්මාණවලට වෙන් කරන්න කාලයක් මට දැනට නම් නැහැ.


රිදී තිරයට එන්න අදහසක් නැද්ද?


තවම නම් ආරාධනාවක් ලැබිලා නැහැ. වෙලාව ආවම ආරාධනා ලැබෙයි. බලමු ඉතින් මට ගැළපෙන චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.


රංගන ජීවිතයට අත්පොත් තැබුවේ කොහොමද?


මම රංගනයට එන්න අවශ්‍ය වූ දැනුම, අත්දැකීම් ලබාගත්තේ සිනමා පාසලෙන්. ඉතින් එතැනින් ලබාගත්තු සුන්දර මතක එක්ක තවමත් මම ජීවත් වෙනවා. මේ ගමනේදී විශේෂයෙන් මම මතක් කරන්න අවශ්‍යයි රවීන්ද්‍ර විජේරත්න සර් වගේම තරංග දිසානායක සර්ව.


 කලා ක්‍ෂේත්‍රයේදී ඔබට ආව අභියෝග මොනවාද?


ඇත්තටම මට තිබෙන අභියෝගය තමයි චරිත තෝරාගැනීමේදී ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්නේ කොහොමද සහ ඒ ඒ චරිතවලට වෙනස් වෙන්නේ කොහොමද කියන එක. සෑම අලුත් නිර්මාණයකදීම මට ඒ අභියෝගය නම් එනවා.


කලා කටයුතු අතරතුර ඔබ මුහුණදුන් අමතක නොවන සිදුවීමක් පිළිබඳව මතක් කළොත්?


විශේෂයෙන් එකක් කියන්න බැහැ. මට නම් ගෙවෙන හැම මොහොතක්ම සුන්දර මොහොතක්. සුන්දර අත්දැකීම්, සුන්දර මතක නිතරම එකතු කරගනිමින් හැමෝම එක්ක සුහදව ඉදිරියට යනවා.


 ඔබ චරිත තෝරාගැනීමක් කරනවාද?


නැහැ. මට ලැබෙන බොහෝ චරිත මට ගැළපෙන ඒවා. ඉතින් චරිත තෝරාගැනීමට වඩා ඒවා කරගෙන යෑම පිළිබඳව මම ගොඩක් හිතනවා. ඒ අවස්ථාවලදී ඩිරෙක්ටර් මහත්මයා වගේම පිටපත් රචකයන් මට ගොඩක් උදවු කරනවා.


වර්තමාන රංගන ක්‍ෂේත්‍රය ඔබ දකින්නේ කොහොමද?


සෑම දෙනාම බොහෝ කාර්යබහුල වෙලා. නළු නිළියන් ලෙස අපිත් බොහොම කාර්යබහුලයි. උදේ පාන්දරම ෂූටින්වලට යනවා. රෑ වෙලා එනවා. ඉස්සර වගේ  විනෝද වෙමින් මේ කලාව කරගෙන යන්න බැහැ. මුදල් මත දිවෙන කලාවක් වෙලා තිබෙන්නේ දැන්.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවේ වෙනස්ම තැනකට යන්න. ඒ වගේම මගේ ජීවිතේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගෙන හොඳ ගමනක් යන්නත් බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතයේ සියලුම බලාපොරොත්තු දවසක ඉෂ්ට වෙයි කියලා මම විශ්වාස කරනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post