ඉස්සර මම මයික් එකක් දැක්කත් අඬනවා-විමංෂා දිල්හානි




විමංෂා දිල්හානි සේනාරත්න කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන තාරුණ්‍යයේ ඉන්න දක්ෂතා සපිරි යොවුන් ගායිකාවක්. ඇයගේ සංගීත ගමන පටන් ගැන්ම මෙන්ම මේ වෙද්දී තියෙන අනාගත බලාපොරොත්තු ගැන කළ කෙටි කතාබහයි මේ…


ඔබේ පවුල් පසුබිමෙන් කලාවට සම්බන්ධකමක් තියෙනවද?


මම පාසල් ගියේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට. දැන් කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ. මගේ පවුලේ ඉන්නවා අම්මා අප්පච්චි, මමයි අක්කයි මල්ලියි.


අපේ පවුලේ කවුරුත්ම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. මම විවාහ වෙන්න ඉන්නේ රෝහණ බැද්දගේ මහතාගේ මුනුපුරා. ඔහු මලිත බැද්දගේ. ඒ පසුබිම තමයි තියෙන්නේ.


විමංෂා සංගීතයට නැඹුරු වුණේ කොයි කාලේ ද?


මම මොන්ටිසෝරි යන්නත් කලින් දහම් පාසල් ගියා. දවසක් මට තිබුණා සිරිත් මල්දමේ කවියක් කියන්න. ඉස්සර මම මයික් එකක් දැක්කත් අඬනවා. ඒ තරම් බයයි. කොහොම හරි මට එන්න කිව්වා ඉස්සරහට. මම බෑම කිව්වා. අම්මා ඉන්නවා දැකලා අම්මිගේ අතිනුත් අල්ලගෙන රැස්වීමට පිටුපාලා තමයි මම එදා කවිය කිව්වේ. ඊට පස්සේ මට සින්දු කියන්න ආසාවක් තියෙනවා කියන එක තේරුණේ මොන්ටිසෝරි කොන්සර්ට් එකේදී. මම එදා කිව්වේ නිල අහස් තලේ කියන සින්දුව. ඒක තමයි මම ස්ටේජ් එකක කිව්ව මුල්ම සින්දුව.


පාසලේදී සංගීතයද හැදෑරුවේ?


මම සාමාන්‍යය පෙළට කලින් නැටුම් කළේ. මට හොඳට උඩරට නැටුම් පුළුවන්. අපේ සංගීත පන්තියක් තිබ්බා ජයරත්න සර්ගේ. මම ඒකට ගියා. සර්ට තේරිලා තිබ්බා මට සංගීත පැත්තෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් කියන එක. මාව තරගවලට යොමු කළා. පාසලේදී මම නැටුම් කළත් සංගීත තරග වලට ගියා. ඒ නිසා මාව පාසලේ සංගීත විෂයට ගන්නවා. සාමාන්‍යය පෙළට සංගීතය කළා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න ඕනේ කියන අදහස තිබ්බා. ඒ නිසා උසස් පෙළටත් සංගීතය, නාට්‍ය සහ මාධ්‍ය කළේ.


විමංෂා රියැලිටි තරගවලත් දකින්න ලැබුණා?


ඔව්. මම රියැලටි තරග වලට යන්න ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. ටීවී එකේ යද්දී ඒ දේවල් බලනවා. ඒ බලලා ජජ්මන්ට් එක එන්න කලින් අපි ගෙදරදී ඒ ගායනය ගැන මම ගෙදර අයට කියනවා. ඊට පස්සේ ජජ්මන්ට් එකේත් ගොඩක් වෙලාවට කියන්නේ මම කියපු දේවල්මයි. ඒ නිසා ගෙදර අය උනන්දු කළා මටත් ඒ තරගයකට යන්න. ඒ අනුව සිරස වොයිස් ශ්‍රී ලංකා සීසන් 2 තරගයට ඉදිරිපත් වුණා.


කීවෙනි තැන දක්වා එන්න පුළුවන් වුණාද?


නොකවුට් වලින් පස්සේ කම්බැක් ස්ටේජ් වලට ඇවිත් ටීම් සුපුන්ගේ කණ්ඩායමට ගියා.


මේ කාලේ මොන වගේ දේවල් ද කරන්නේ?


නිර්මාණ දෙක තුනක්ම කරගෙන යනවා. කෝච් භාතිය, සන්තුෂ්ව ආදරෙන් මතක් කරන්න ඕනේ. එයාලා සෑහෙන සපෝර්ට් එකක් දෙනවා තාමත්. තරගය ඉවර වුණාට අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ලහිරු කොස්තා අයියා එක්ක අලුත් වැඩක් කරගෙන යනවා. ඊට පස්සේ ඩිල්ෂාන් සිල්වා අයියා එක්ක වැඩක් කරගෙන යනවා. මේ වසර අවසන් වෙද්දී අලුත් සින්දුවක් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.


කොහොමද මලිත බැද්දගේව හමුවෙන්නේ ජීවිතේට,


එයාව මට මුණගැහෙන්නේ උසස් පෙළ පන්තියේදී. මම හිටියේ මියුසික් ක්ලාස් එකේ. අපේ පන්ති භාරව හිටියේ කමනි මිස්. මිස් එදා පන්තියේ ඔක්කොටම කිව්වා මේ පන්තියේ ඉන්න හැමෝටම මොකක්ම හෝ දක්ෂතාවක් තියෙනවනේ. ඒ නිසා කට්ටිය ඉස්සරහට ඇවිත් කරන්න කියලා. ඔය අතරේ මලිත ඉස්කෝලෙට ආවේ එයාගේ මාමත් එක්ක. ඒ වෙද්දී ස්කෝලෙට ළමයි අරගෙනත් ඉවරයි. මලිතව හඳුන්වා දුන්නා. මම හිටියේ ටීචර් ගාවම ඉස්සරහම පේළියේ. මලිත වාඩි වුණේ මගේ පිටුපස පුටුවේ. මලිතව ඉස්සරහට ගත්තා සීයාගේ සින්දුවක් කියන්න කියලා. මලිත කියපු සින්දුව මමත් මුමුණ මුමුණ ඉඳලා තියෙන්නේ. මලිත එදා මුල්ම දවසෙ නිසා බය වෙලාද කොහෙද වර්ස් එකේ එක පේළියක් අමතක වේගෙන එනකොට මම මුමුණපු නිසා තමයි මතක් වෙලා තියෙන්නේ. අපි කතා කරන්න ගත්තෙත් ඒ ගැන කියලා. එහෙම පටන් ගත්ත කතාව තමයි ආදරයක් වුණේ.


දෙන්නා එකතු වෙලා අලුත් දෙයක් කරන්න අදහසක් නැද්ද?


මලිතගේ අදහසක් තියෙනවා සීයාගේ සින්දුවක් අලුත් විදියට කරන්න. ඒක තවම පටන් අරගෙන නැහැ. ලහිරු කොස්තා අයියා එක්ක අපි යුග ගීතයක් කරන්න අදහසක් තියෙනවා. යුග ගීතයක් වුණාට වෙනස්ම අලුත් අමුතු වැඩක් වෙයි ඒක.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මලිත ලංකාවේ නෙවෙයි ඉන්නේ ඩුබායි වල. මේ ටිකේ නම් වැකේෂන් ඇවිත් ඉන්නවා. මලිත නැති නිසා මා එක්ක හැම තැනම යන්නේ අම්මා සහ අප්පච්චි.


 අනුෂා රණසිංහ




Previous Post Next Post