ඉන්දියානු සිනමාව තුළ මේ දිනවල ෂාරුක් ඛාන් තරම් කතාබහට ලක්වන චරිතයක් නැතැයි කිවහොත් කවුරුවත් එයට විරුද්ධ වෙන එකක් නැහැ. වසර හතරක නිහැඬියාවකට පසු ඔහු රඟ පෑ ‘පතාන්’ සහ ‘ජවාන්’ යන සිනමාපට අතිශයින් ජනප්‍රිය වීමත් සමඟ ඔහු නැවතත් බොලිවුඩයේ රජු බවට පත්ව සිටිනවා. මේ අතර ඔහුගේ රසික රසිකාවියන්ට තවත් සතුටුදායක ආරංචියක් මේ දිනවල අසන්නට ලැබෙනවා. ඒ, ෂාරුක් සහ ඔහුගේ එකම දියණිය වන සුහානා එකට රඟපාන සිනමාපටයක් නිර්මාණය වීමට යන බවයි. මෙය හින්දි සිනමා ලෝලීන් අතර මහත් උද්යෝගයක් ඇති කරන ආරංචියක් වනවාට කිසිදු සැකයන් නැහැ.
මෙම සිනමාපටයට තවමත් නමක් තබා නැති බවක් පසුගිය දිනවල සඳහන් වුණත් ගිය සතියේ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ එය The King යනුවෙන් නම් කර ඇති බවයි. සුජෝයි ගෝෂ් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ සිනමාපටයේ රූගත කිරීම් ළඟදීම ආරම්භ කරනු ඇති බවයි මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ. ත්‍රාසය, කුතුහලය ගැබ් කරගත් ක්‍රියාදාම සිනමාපටයක් වන මෙහි රූපගත කිරීම් මාස හයක පමණ කාලයක් සිදු වනු ඇති බවත්, ඉන්දියාව තුළ මෙන්ම විදෙස් රටවල ද එම රූපගත කිරීම් සිදුවනු ඇති බවත් පැවසෙනවා.
මෙහි කතා පුවත ගැන තවමත් පැහැදිලි විස්තරයක් ප්‍රසිද්ධියට පත්ව නැහැ. ඇතැම් වාර්තාවලින් පැවසෙන්නේ එය පියෙකු සහ දියණියක පිළිබඳ කතාවක් රැගත් සිනමාපටයක් වනු ඇති බවයි. The King රහස් ඔත්තු නිලධාරිනියක පිළිබඳ කතාවක් රැගත් නිර්මාණයක් බව ද සුහානා රඟපාන්නේ එම රහස් ඔත්තු නිලධාරිනියගේ චරිතය බව ද ඇතැම් වාර්තාවලින් පැවසෙනවා. ෂාරුක් රඟපාන්නේ ඇයට උදව් කරන කෙනෙකුගේ චරිතයක් බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
සුහානාගේ වයස මේ වන විට අවුරුදු 23 ක්. ඇය ෂාරුක් පවුලේ දෙවැනි දරුවායි. ඇය කලකට පෙර ඇමරිකාවේ නිව්යෝක් සිනමා ඇකඩමියේ සිනමා රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඉන්දියාවට පැමිණ පියාගේ අඩි පාරේ යාමට පටන් ගත්තේ එයින් පසුවයි.
කෙසේ වෙතත්, The King සුහානා රඟපාන පළමු සිනමාපටය නොවෙයි. මෙයට පෙර ඈ The Archies නැමැති තවත් සිනමාපටයක රඟපෑවා. එය ලබන මාසයේ 7 වැනි දින ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි. The Archies චිත්‍රපටයේ ඇති විශේෂත්වයක් වන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සිනමා පවුල් කිහිපයකම අලුත් පරපුරේ සාමාජිකයන් කිහිපදෙනෙකු මෙහි රඟපෑම යි. එයින් එක් අයකු වන්නේ වසර කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගත් ශ්‍රී දේවිගේ බාල දියණිය කුෂි කපූර්. ඇයගේ පියා වන බොනී කපූර් ද බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ චරිතයක්. 22 වැනි වියෙහි පසුවන කුෂිගේ වැඩිමල් සොහොයුරිය වන ජන්විත් මේ වන විට ඉතා ජනප්‍රිය නිළියක්.
බොලිවුඩයේ තවත් ප්‍රසිද්ධම සිනමා පවුලක් වන බච්චන් පවුලේ කෙනෙකුත් The Archies චිත්‍රපටයේ රඟපානවා. ඒ අමිතාබ් බච්චන්ගේ මුනුපුරෙකු වන අගස්ත්‍ය නන්ද. 22 හැවිරිදි ඔහු අමිතාබ්ගේ දියණිය වන ශ්වේතාගේ පුතණුවන්.
කෙසේ නමුත් The Archies සිනමා ශාලාවල තිරගත වන සිනමාපටයක් නොවෙයි. එය ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ නෙට්ෆ්ලික්ස් ස්ට්‍රිම් සේවාව ඔස්සේ බවයි සඳහන් වන්නේ. ඒ අනුව සිනමා ශාලාවල තිරගත වන සුහානා ගේ පළමු සිනමාපටය වනු ඇත්තේ ඉහත සඳහන් කළ The King චිත්‍රපටය යි.
සුහානා මෙන්ම ෂාරුක්ගේ වැඩිමල් පුත්‍රයා වන ආර්යන් ද දැන් කලාවට සම්බන්ධයි. නමුත් ආර්යන් කැමැත්ත දක්වන්නේ රඟපෑමට නොවෙයි. ඔහු ගේ ප්‍රියතම ක්ෂේත්‍ර වී ඇත්තේ අධ්‍යක්ෂණය සහ තිර රචනයයි. ඔහු මේ වනවිට වෙබ් මාලා නාටකයක් (Web Series)අධ්‍යක්ෂණය කරමින් සිටින අතර, එහි ෂාරුක් ඛාන් ද චරිතයක් රඟපාන බව සඳහන් වෙනවා. Stardom නැමැති මෙම මාලා නාටකයේ ෂාරුක් රඟපාන ජවනිකා කිහිපයක් පසුගිය දිනවල රූපගත කෙරුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. රන්වීර් සිං, රන්බීර් කපූර් වැනි ජනප්‍රිය නළුවන් ද මෙහි කෙටි චරිත රඟපාන බව සඳහන්. Stardom බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ සිදුවන විවිධ හැල හැප්පීම් පසුබිම් කර ගත් නිර්මාණයක් බවයි පැවසෙන්නේ.
කෙසේ හෝ වේවා, මේ සියල්ල තුළින් පෙනෙන්නේ මේ වසර ෂාරුක් පවුලට ඉතා කාර්ය බහුල සහ ප්‍රතිඵලදායක වසරක් බවයි. ෂාරුක්ගේ තවත් සිනමාපටයකුත් මේ වසරේ තිරගත වීමට නියමිතයි. ඒ සුප්‍රකට චිත්‍රපට අධ්යක්ෂ රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ ‘දුන්කි’ සිනමාපටයයි. එය දෙසැම්බර් 22 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි