මගේ ගීතවලට වඩා ඉල්ලන්නේ පරම්පරාවේ ගීත සුප්‍රියා අබේසේකර




රඟන රැගුම් ගයන ගැයුම් සතුට සදාදේ ඇය අපට ගැයුවේ එලෙසිනි. එනිසාම රසික හදවත් තුළ නිරන්තරයෙන් ඇය වැජ‍‍‍‍ඹෙන්නේ ප්‍රසංග වේදිකාවේ ප්‍රමුඛ ගායන ශිල්පිනියක් බවට අද වන විට පත්වෙමිනි. ප්‍රසංග වේදිකාව පමණක් නොව සියලුම විද්‍යුත් මාධ්‍යයන් (රූපවාහිනි/ගුවන් විදුලි) තුළින් ඒ ගී හඬ නොඇසු කෙනෙක් නැතිතරම්ය. ආකර්ෂණීය වේග රිද්ම ඒ ගී හඬ පමණක් නොව රුවැති ඇය ප්‍රසංග වේදිකාව පුරා පිරීම ඉතිරී යන අයුරින් අපුරු නර්තනයක්ද දියත් කරයි එයින් ප්‍රේක්ෂක නෙත් සිත් කුල්මත් වන්නේය.එදා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ළමා පිටිය වැඩසටහන තුළින් ඇ ගායනයට එක්වුවාය.ඒ කීර්තිමත් සංගීත පරපුරකට නෑකම් කියන තෙවැනි පරම්පරාවේ ජනප්‍රිය ගායන ශිල්පීනියක් ලෙසිනි.එකිනෙකට බැදී ඇති දම්වැලක පුරුක් ලෙස සංගීත ලොව දැවැන්ත පවුල් රැසකටම ඇය නෑකම් ඇත්තියක් වීමද සුවිශේෂි වන්නිය.ලෝකයේ ලොකුම කලා පවුල ලෙස විරුදාවලිය ලැබීමද ඔවුන් ලැබූ භාග්‍යයකි.මෙවර අපේ කතා බහ ජනප්‍රිය ගායන ශීල්පිනි සුප්‍රියා අබේසේකර සමගයි.


 

සුප්‍රියා ඔබ පරම්පරාවෙන්මද ගායනයට එන්නේ?


ඔව්, මම ඒ තුන්වැනි පරම්පරාවේ ගායන ශිල්පිනියක් ලෙස තමා ක්ෂේත්‍රයට එන්නේ.


 

අපි ඒ මුල් පරම්පරාව ගැනත් මතක් කරමු,


ඔව්. මුලින්ම මගේ ආච්චි වන වසන්තා සදනායක ඊට පස්සේ මගේ අම්මා ගායන ශිල්පිනී දයා හේමන්තා අබේසේකර, තාත්තා ශාන්ති අබේසේකර යන ජ්‍යෙෂ්ට රංග ශිල්පියෙක්. මගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පදකවරයෙක්, මම දැකපු පිරිමි අයගෙන් ලස්සනම කෙනා තමා මගේ තාත්තා. එයාගේ ලස්සන කොහොමද කියනවනම් හරියටම ඉන්දියාවේ නළුවෙක් වගේ. දැන් මේ තුන්වෙනි පරම්පරාවේ තමා මම.


ඔබේ ගායන දිවියේ ආරම්භය ගැන මතක් කළොත්?


1980 විතර තමා මගේ මේ ගමනේ ආරම්භය සිදු වුණේ. ගුවන් විදුලියේ ළමා සිටිය වැඩසටහනෙන්. මගේ ආච්චි, ලොකු මාමා, ලොකු අම්මා, අම්මා, තාත්තා යන මේ අයගේ ජාතික ගුවන් විදුලියේ තිබුණු විවිධ සංගීත හා ගායන වැඩ සටහන් වලට මම අත්වැල් ගායනයෙන් එක්වුණා. මම පස්සේ දිගටම එවන් වැඩසටහන් වලට ගයනයෙන් දායක වුණා. මගේ ආච්චි ප්‍රවීණ ගායිකා (වසන්තා සන්දනායක) ගී ප්‍රසංගයක් ඇයට උපහාර ලෙස මම මුල් වෙලා පැවැත්තුව.එදා එයට ප්‍රධාන ආරධිතයා ලෙස ආවේ පණ්ඩිත් අමරදේව මාස්ටර් එතුමා එතනදි කිව්වා මගේ ආච්චි තමා ඔහුව ගායන ක්ෂේත්‍රයට ගෙනාවේ කියලා. ඒක විශේෂ සිදුවීමක්. ඒ ප්‍රසංගයේ මම ගීත ගායනා කළා. එදයින් පස්සෙ තමා විවිධ මාධ්‍ය වැඩසටහන්වලට ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයත් දිගටම කරගෙන යන්න වැඩි ඉල්ලුමක් ලැබුණේ ඉතින් අදටත් මම ක්ෂේත්‍රයේ රැදී ඉන්නවා.


 


ඒ කියන්නේ ඔබ ගුවන් විදුලියේ ශ්‍රේණීගත ගායන ශිල්පිනියක්ද?


ඇත්තටම මට එහෙම වෙන්න ඔඩිෂන් වලට අවස්ථා 2-3 කදිම කතා කළත් මොකක් හරි වැඩක් නිසා එය මග ඇරුණා. ඉතින් කොහොම හරි මට ඒකට යන්න බැරි වුණා.


 


සුප්‍රියා ඉගෙන ගන්න කාලේ ඉදලම ගායිකාවක් වෙනවා කියලා හිතුවද?


නැහැ එහෙම ගායිකාවක් වෙනවා කියලා හිතුවේ නැ.වෙද්‍යවරියක් වීමට තමා ඉගෙන ගත්තේ හැබැයි ඊට පස්සේ ගුවන් සේවිකාවක් වෙනවා කියන තැන තමා හිටියේ.


 


අද වෙද්‍යවරියක් නොවීම හෝ ගුවන් සේවිකාවක් නොවිම ගැන දුකක් තියෙනවද?


දුකකුත් තියෙනවා. හැබැයි ගායන ශිල්පිනියක් ලෙසින් මට ලැබෙන ප්‍රතිචාර ඒ වගේම අද මම ගායන ක්ෂේත්‍රයේ ඉන්න තැන ගැනත් ලොකු සතුටක් ලබනවා.


 


ඔබ වේග රිද්ම ගී ගයන ප්‍රසංග වේදිකා ගායන ශිල්පිනියක් ලෙසින් නේද වඩා ජනප්‍රිය?


ඇත්තටම මම ගායනයට ආවේ ගුවන් විදුලියෙන් අපේ පරම්පරාවේ ආභාසයත් එක්ක එහි වැඩසටහන් වලට දායක වෙමින් ඊට පස්සේ මට ප්‍රසංග වේදිකාවෙන් තමා වැඩි ඉඩ කඩක් ලැබු‍ණේ. මේ දවස්වල වැස්සත් එක්ක ප්‍රසංග කිහිපයක් කැන්සල් වුණා.


 


දවසකට වැඩිම ප්‍රසංග කීයක විතර ගීත ගායනා කරලා තියෙනවද?


උපරිම ප්‍රසංග නවයක, දහයක වගේ තමා දවසක් දහවල ප්‍රසංගයට යනකොටම නමො නමෝ මාතා කියලා අවසන් කරනවා. හැබැයි ඒකට පස්සෙත් මම ගීත ගායනා කළා.


 


මේ දවස්වල ඔබ ප්‍රසංග වේදිකාවේ කාර්යය බහුලම ගායන ශිල්පිනිය කිව්වොත් මම හරි නේද?


ඔව්, ටිකක් විතර කාර්යය බහුලයි ඔබ හරි


ඔබේම ගීත දැන් කීයක් විතර ගායනා කරලා තියෙනවද?


ගිත පනහක්, හැත්ත පහක් (50/75) විතර වගේ ඒවා අතර සරල ගීතත් තියෙනවා.


 


නමුත් අපි දැකලා තියෙන්නේ ඔබ වඩාත්ම ජනප්‍රිය ඔබේම නොවන ගීත වලින් කියලා?


ඇත්තටම ප්‍රසංග වේදිකාවේදී මගෙන් ඉල්ලන්නේ මගේ ආච්චිගේ හා අම්මාගේ,ලොකු අම්මගේ ගීත. උදාහරණ ලෙස කීව්වොත්, දොල ළග ගුරු පාර දිගේ ඒවි, රගන රැඟුම් ගයන ගැයුම්,සරිගම ප ප ප, මඳ සීත නල රැල්ල දැගලිල්ල පා, මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා,හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ, ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා, බොලං පොඩි නන්ගි ටිකක් හිට පන්, අද හවසට මා හමුවනු මැනවි, නෙත් වසා සවනින්, මන්දාරමේ....(මගේම ගීතයක්), වගේ ගීත කිහිපයක්ම ඒවා අතර තියෙනවා. ඔවුන් ඉල්ලන්නෙත් ඒ ගීත ඉතින් මට ප්‍රසංග වේදිකාවේ දී ඒ ගීත ගායනා කරන්නම සිදු වෙලා තියෙනවා. ඒක තමා ඇත්තම තත්වේ.


 


සුප්‍රියා වේදිකාවට එනකොට රසිකයින් ඔබ දිහා වශිවෙලා වගේ බලන් ඉන්නවා කෑ ගහනවා නේද?


මම ඉස්සර වෙලත් කිව්වේ අපේ පරම්පරාවේ ආච්චිගේ, ලොකු අම්මාගේ, අම්මගේ ඒ පැරණි ගී අහන්න මෑත පරපුරේ අයත් ගොඩාක් කැමතියි. ඊළගට වේදිකාව මත මම එය ඉදිරිපත් කරන ආකාරය නඥපටධපථ පැත්තටත් ගොඩක් අය ආසයි. ඒ නිසා වෙන්න ඇති රසිකයෝත් එහෙම වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ


 


තව ප්‍රශ්නයක් තියෙනවා ඔබ ප්‍රසංග වේදිකාවට එනවට ඒ ඒ ප්‍රසංග සංගීතවත් කරන මෙරට සංගීත කණ්ඩායම් ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා අද ෂෝ එකට සුප්‍රියා එනවා කියන්නේ ඇත්තද කියලත් ඔවුන් අහනවා


ම්ම්ම්, මම හිතන්නේ මම හැමෝමත් එක්ක හොදින් සුහදව කතා කරමින් වැඩ කරන නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ.අනික මම හොද පවුල් පසුබිමක් විනයක් එක්ක හැදුණු වැඩුණු කෙනෙක්.මගේ තාත්තා ඒ කාලේ ඉදලම ගොඩක් සැරයි.ඒ තත්වයත් එක්ක මම කාටවත් වැරැද්දක් නොකර හැමෝමත් එක්ක හොදින් වැඩ කරනවා ඒ ආභාසය පවුල් පසුබිම තුළින්ම ලැබුණ නිසා තමා අදටත් මං කිසිවෙකුගේ සිත නොරිදවා කටයුතු කරගෙන යන්නේ ඒ නිසා තමා ඔහොම හැමෝම මට කැමති.


 


සුප්‍රියා හැමදාමත් එකම විදිහට ලස්සනයි. වෙනස් නොවන අයුරින් එහෙම ලස්සනට සිටීමේ රහස මොකක්ද?


අපේ අම්මා තාත්තා ගොඩක් ලස්සනයි. තාත්තාගේ ඉන්දීය ආභාසය සහිත කෙනෙක් එයා හරිම ලස්සනයි.ඒ ආභාසය තමා මටත් ඇවිත් තියෙන්නේ. අනික මම හිත හොඳ කෙනෙක් මම කවදාවත් කිසිවෙකුට කැපිලි කෙටිලි වැනි අහිතකර දේවල් කිසිවක් කරලා නැ. මං හිතන්නේ ඒක තමා මෙහෙම හැමදාමත් එකම විදිහට ඉන්න එකේ රහස.


 


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුප්‍රියා හරිම ලස්සනයි. ඔය ලස්සන හැඩරුව නිසා ඔබට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?


ඇත්තටම එහෙම මීට පෙරත් මෑතකදීත් මට කතා කරලා තියෙනවා. මම ඒ කාලේ ඉදලම ඒකට කැමති නෑ. මොකද මගේ තාත්තා මටවත් මගේ පවුලේ ගෑනු අය එක්කෙනෙකුටවත් ඒකට ඉඩ දුන්නේ නෑ. එයා හරිම සැරයි තද නීති කාරයෙක්.


 


නැවතත් ඔබට එවැනි ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවද?


ඒ කියන්නේ රගපාන්නද,


 


ඔව්.රඟපාන්න,


ඇත්තටම මං රංගනය ගැන වැඩි දුර දන්නේ නැ.හැදෑරීමක් කරලත් නැ.ඒ හින්දා මං ඒකට සම්බන්ධ වෙන්න කැමත්තක් නැ. විශේෂයෙන් මගේ පියා ඒවට ඉඩ දුන්නෙත් නෑ. ඉතින් පියාට කරන ගෞරවයක් ලෙස මම කවදාවත් රගපාන්නෙනම් නෑ.


 


එදා සහ අද ගායන කලාව පිළිබඳ ඔබේ අදහස කිව්වොත්,


අද තාක්ෂණය පැත්ත ගොඩක් දියුණු වෙලා ඒක තමා මම දකින ලොකුම වෙනස. ඊළගට සංගීතවේදියා, පද රචකයා, ගායකයා තුන් දෙනාම එකට එකතු වෙලා තමා එදා මහන්සි වෙලා ගීතයක් හැදුවේ. අද ඒක වෙන වෙනම සිදුවෙනවා. එදා චිත්‍රපට ගීතයක වුණත් එයට පසුතල සෙවීම ආදියට පවා ඔක්කොමලා එකට එකතු වුණා. මට මතකයි මගේ තාත්තගෙ චිත්‍රපටියකටත් එහෙම හැමදෙනාම එකතු වෙලා තමයි වැඩේ සාර්තකව අවසන් කළේ. තව දෙයක් එදා ජාතික ගුවන් විදුලිය විතරයි තිබුණේ. (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) ඒකෙන් විතරයි මිනිස්සුන්ගෙ කනට ගීත ඇහුනේ. ඒ ගීත හරිම වටිනවා. ඒවා තමයි අදටත් මිනිස්සුන්ගේ මතකයේ රැඳිලා තියෙන්නේ.


අද රූපවාහිනිය ගායන රියැලිටි වැඩසහන්වල නවක ගායික ගයිකාවන් දක්ෂයින් ලෙස ක්ෂේත්‍රයට එනවා. ඔවුන් මුලින්ම ඒ වැඩසටහන් වලදි කියන්නේ මං අර මුලින් කිව්ව අපේ කනට ඇහුණ ගීත. පස්සේ ඔවුන් වේදිකාවට ගොඩවෙලා දිගටම කියන්නෙත් ඒ ශිල්පීන්ගේ ගීත. අද ගායකයන්ගේ ගීත ගැහැනු අය කියනවා. මං ඒ දෙකම අනුමත කරන්නේ නෑ.


උදාහරණ ලෙස කිව්වොත් එච්.ආර්.ජෝතිපාල, එම්.එස්.ප්‍රනාන්දු, සී.ටී.ප්‍රනාන්දු, ජිප්සීස් සුනිල් පෙරේරා වැනි මියගිය අයගේ ගීත. ජය ශ්‍රී කණඩායමේ ගීතත් ඒ අය වේදිකාවේ කියනවා.මම ඔවුන් හැමෝටම කියන්නේ තමන්ගේම අලුත් ගී නිර්මාණ ටිකක් හදාගෙන වේදිකාවේ ගීත ගායනයෙන් මේ ක්ෂේත්‍රයට රැදී ඉන්න වැඩ කර ගන්නවනම් හොඳයි කියලා. එතකොට හොඳ අනාගතයක් තියෙයි.


 


අපි සුප්‍රියාගේ පෞද්ගලික ජීවිතය දෙසට හැරෙමු,ඔබේ වයස කියන්න පුළුවන්ද?


සාමාන්‍යයෙන් කලාකරුවෝ වයස කියන්නේ නැ නේද


 


ඔබ විවාහකයි සැමියා ගැනත් විස්තර කියමු නේද?


ඔහු කලාවට ගොඩක් කැමතියි. මගේ වැඩකටයුතුවලට සහ මට නිරන්තරයෙන් අතහිත උදව් උපකාර ලබාදෙන අයෙක් අපේ පවුලේ ප්‍රසංගවලට මෙන්ම විවිධ වැඩසටහන්වලටත් ගීත ගායනයෙන් ඔහු දායක වෙලා තියෙනවා.


 


ඒ කියන්නේ ඔහු ඔබත් සමග පූර්ණ කාලීනව කලාවේ නිරත වන අයෙක්ද?


නැහැ ඔහු ව්‍යාපාරිකයෙක්.මගේ කලා වැඩ වලට උපරිම සහයෝගය ලබාදෙනවා.


 


අවසාන වශයෙන් සුප්‍රියාට කියන්න තියෙන්නේ මොනවද?


ගායන ක්ෂේත්‍රයේ මම මෙතෙක් ආ ගමනේදී මට නම් වශයෙන් සඳහන් කරන්න බැරි වුණත් නන් අයුරින් සහයෝගය ලබාදුන් හැමෝටම ස්තූතියි. ඉස්සරහට මගේ තව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ පවුලේ උදවිය සියලු දෙනාම එකට එකතු කරගනිමින් විශාල සංගීත ප්‍රසංගයක් පවත්වන්න.මගේ පවුලේ අය ගත්තාම ලොකු අම්මා සුජාතා (ප්‍රවීණතම ජනප්‍රියම ගායන ශිල්පිනි සුජාතා අත්තනායක මහත්මිය) මාමා (සරත් සන්දනයක) ඒ අයවත් ගෙන්න ගෙන ඊළට අනිත් පවුල් වලින් අපේ පවුලට එකතු වුණු රණතුංග පවුල (ප්‍රවීණ) ගායනවේදී සංගීත වේදී මහාචාර්ය දයාරත්න රණතුංග මහතා, ගායනවේදිනී ලතා වල්පොල මහත්මිය ගායන, වාදන, රංගනයට දක්ෂ ඒ අය ඔක්කොමලා එකතු කර ගෙන ප්‍රසංගය කරනවා. ඒත් ඒ ඔක්කොම එකතු කර ගන්න එක අමාරු වැඩක් ඒත් කොහොම හරි ඒ අයව ඔක්කොම එකට එකතු කරගෙන මම මේ ප්‍රසංගය කරන්න බලාපොරොත්තු වෙනවා.


 


ඒ ප්‍රසංගය ගැන අපිටත් කියනවද?


අනිවාර්යයෙන්ම නොකියා කොහොමද හේමන්ත අපි එදාටත් මේ වගේම ඒ ගැනත් කතා කරමු.




Previous Post Next Post