මගේ අම්මා සමුද්‍රා හික්කඩුව – ප්‍රවීණා අංජලී




ප්‍රවීණ රංගන ශිල්පිණී සමුද්‍රා හික්කඩුව ඔබට මතක ඇති. නමුත් මේ කියන්න යන්නෙ ඇය ගැන නම් නෙමෙයි” ඇගේ දියණිය ප්‍රවීණා අංජලී ගැන. මේ දිනවල විකාශය වන ‘කළු රෝස. ටෙලි නාට්‍ය තුළින් ඇයගේ රංගනය ඔබට දැකබලාගන්න පුළුවන්. රංගන ශිල්පිණියක් පමණක් නොවෙන්න හිතපු ඇය අලුත් වැඩකටත් අතගහල. ඒ ගැන අපි ප්‍රවීණාගෙන්ම අහමු. මේ ඇය මාධ්‍යයකට කතාකරන පළමු අවස්ථාව.


 මුලින්ම ඔබව හඳුන්වා දෙමු?


මම ප්‍රවීණා අංජලී ද සිල්වා” මගේ අම්මා සමුද්‍රා හික්කඩුව” තාත්තා ශ්‍රීනාත් ද සිල්වා සහ මම තමයි අපේ පවුලේ ඉන්නෙ. ඉගෙනුම ලැබුවෙ ලයිසියම් ජාතන්තර පාසලේ. මේ වන විට කොහුවල ලයන් ඉන්ස්ටිටියුට් අධ්‍යාපන ආයතනයට සම්බන්ධවෙලා නීතිය පිළිබඳව හදාරනවා.


මේ දිනවල ‘කළු රෝස. ටෙලියේ දකින්න ලැබෙනව. ඒ ගැන කතා කළොත්?


කළු රෝස ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නෙ මගේ තාත්තා. මින් පෙර නිර්මාණවලට සම්බන්ධ වුණත් පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න මෙතනදි මට අවස්ථාව ලැබෙනවා.


 මොනවද ඔබ මින් පෙර සම්බන්ධ වුණ නිර්මාණ?


මුලින්ම චුට්ටි ටෙලි නාට්‍යයේ ජගත් මනුවර්ණගෙ අක්කාගෙ දූගෙ චරිතය කළා. ඉන් පස්සෙ ජාතික රූපවාහිනියේ විකාශය වුණ කාසි සහ ස්වර්ණවාහිනියේ විකාශය වූ තුරුම්පු ආසියා යන ටෙලි නිර්මාණ දෙකට සම්බන්ධ වුණා


ඔබට මේ අවස්ථාව ලැබෙන්නෙ ඔබේ මව රංගන ශිල්පිණියක් වගේම පියා නිෂ්පාදකවරයෙක් වන නිසාද?


ඔව්” කෙනකුට එහෙම කියන්නත් පුළුවන්. ඇත්තටම ඒ සම්බන්ධතාව හේතුවක් වෙන්න පුළුවන්නෙ. නමුත් මම කැමතියි රඟපාන්න.


පාසල් කාලයේ කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?


පාසල් කාලයේ කලා අංශයෙන් කළේ නර්තනය-. රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.


 කළු රෝස ටෙලියේ චරිතය වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ගොඩක් හොඳයි. බලාපොරොත්තු වුණාට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. පාසලේ යහළුවන් මම සම්බන්ධ වන නිර්මාණ අනිවාර්යයෙන්ම බලනව. ඔවුන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනව වගේම ලොකු සහයෝගයකුත් ලබා දෙනවා.


 මේ චරිතය ගැන කතා කළොත්?


මට ලැබිලා තියෙන්නෙ සුජීවාගේ චරිතය. ඇය අසීරුවට පත්වුණ තමන්ගේ යහළුවාට ශක්තියක් වෙමින්” සහයක් වෙමින් ජීවිතයට මුහුණ දෙන අයුරු තමයි මේ චරිතයෙක් නිරූපණය කරන්නෙ.


පාසල් කාලයේ ක්‍රීඩාවලටත් සම්බන්ධ වුණා?


ඔව්” මම මලල ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. ඒ වගේම පිහිනුම් තරගවලට සහබාගි වුණේ බොහොම කැමැත්තෙන්.


 අම්මාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


රංගනය පැත්තෙන් ගත්තාම අම්මාට ඒ පිළිබඳව අත්දැකීම් තියෙන නිසා මගේ වැරදි අඩුපාඩු හදාගන්න නිතරම උපදෙස් දෙනවා. මගේ හොඳම රසිකාවිය වෙන්නෙත් මගේ අම්මා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුවලදිත් ඇයගන් ලැබෙන්නෙ මිල කළ නොහැකි සහයෝගයක්.


ඔබ ටෙලිනාට්‍ය නිෂ්පාදනයටත් යොමු වෙලා?


ඉස්සර මගේ අම්මායි තාත්තායි තමයි ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු කළේ. එයාල කටයුතු කරන ආකාරය දකිනකොට මටත් ආසා හිතුනා නිෂ්පාදනය පැත්තට යොමු වෙන්න. ඒ ආසාවත් එක්ක තාත්තාගේ උපදෙස් අරගෙන ‘කළු රෝස. එක්ක ටෙලි නාට්‍යය නිෂ්පාදන කටයුතු ඇරඹුවා.


 මේ වගේ වැඩකට අතගහන්න බයක් දැනුණෙ නැද්ද?


ලොකු බයක් දැනුණෙ නැහැ. මොකද තාත්තා පිටිපස්සෙන් ඉන්නවනෙ. ඒ සහයෝගයත් එක්ක තමයි මේ ගමන යන්නෙ.


ක්‍ෂේත්‍රය ගැන ඔබේ අදහස මොන වගේද?


මේක බොහෝ අය මුණගැහෙන තැනක්. ඒ වගේම හරිම විනෝදජනක ලෙස” සාමූහිකත්වයෙන් වැඩකරන්න පුළුවන් තැනක් තමයි කලා ක්‍ෂේත්‍රය කියන්නෙ. මේ ගැන මට තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.


 ප්‍රවීණාට සිනමාවට එන්නත් අදහසක් ඇති?


ඔව්” ආසාවක් තියෙනව. හොඳ කතාවක් එක්ක ගැළපෙන චරිතයක් ලැබුණොත් භාරගන්නවා.


ගෙදර තිබුණ පරිසරය කලාවට ලොකු පිටිවහලක් වෙන්න ඇති?


ඔව්” ඇක්ෂන්” කට් කියන වචන දෙක පුංචි කාලෙ ඉඳලාම මට ඇහෙනව. ඒ වගේම කලාකරුවො නිතරම දකින්න ලැබෙනව. ඔවුන්ගේ ඇසුර ලැබෙනව. කැමරා වගේ කලාවට සම්බන්ධ උපකරණ අලුත් දේවල් නෙමෙයි. ගෙදර තිබුණ මේ පරිසරය නිසා කලාවට ආසා වුණා වගේම කැමරාවට තිබුණ බයත් නැති වුණා. රංගනයට වගේම නිෂ්පාදනයට අතගහන්නත් ගෙදර පරිසරය ලොකු පිටිවහලක් වුණා කිව්වොත් නිවැරදියි.


 දර්ශනතලයේ අත්දැකීම් මොන වගේද?


ඇත්තටම මගේ සහෝදර ශිල්පීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. ඒ වගේම මම නොදන්නා කරුණු කියල දෙනව. අපි සහෝදරයො වගේ තමයි ඉන්නෙ. ඒ වගේම ලොකු සහයෝගයක් අපි අතර තියෙනව.


ජනප්‍රියත්වය ඔබට කොහොමද දැනෙන්නෙ?


ජනප්‍රියත්වය කියන්නෙ තාවකාලික දෙයක්. නමුත් යුනිවර්සිටි එකේ යාළුවො මේ නිර්මාණ නරඹලා මගේ රංගනය හොඳයි කියල කියනකොට ඇත්තටම ලොකු ආසාවක් වගේම තවත් හොඳට වැඩ කරන්න හිතට ලොකු ශක්තියක් දැනෙනව වගේම ලොකු සතුටක් දැනෙනව.


 අම්මා මොකද කියන්නෙ?


මගේ අම්මා තමයි ගොඩක් වැරදි අඩුපාඩු පෙන්නල දෙන්නෙ. ඒ අතර හොඳ අතරන් තිබුණොත් හොඳයි කියල කියනව. නැත්නම් තව ටිකක් මෙහෙම වුණා නම් හොඳයි කියල කියනව.


 ගෙදරින් විරුද්ධ වුණේම නැද්ද?


නැහැ. මොකද මගේ අම්මයි තාත්තයි කලාවට සම්බන්ධ නිසා එයාලගෙ අඩිපාරෙ මමත් යන එක ගැන සතුටු වුණා. නමුත් මගේ ප්‍රධාන ඉලක්කය මීඩියා. ඒකත් එක්ක තමයි මේ වැඩකටයුතු කරන්නෙ.


 අනාගතය ගැන ප්‍රවීණාට තියෙන්නෙ මොන වගේ බලාපොරොත්තුවක්ද?


බොහෝ දුරට මම ලෝයර් කෙනෙක් වේවි.


 ප්‍රවීණා ආගම දහමට බොහොම ලැදියි?


ඔව්” අපි බුදු දහම අදහන්නෙ. අපේ ගෙදර බොහෝ දේවල් සිදුවෙන්නෙ එහෙම පරිසරයක. ඉතිං මමත් ආගම දහමට නිතැතින්ම ලැදි වුණා.


 ෆැෂන් කියන්නෙ ඔබේ කැමතිම දෙයක්?


ඇත්තටම ෆැෂන් කරන්න මම පොඩිකාලෙ ඉඳලම කැමතියි. දැනුත් මට සුදුසු විදිහට” ගැළපෙන විදිහට ෆැෂන් කරනව.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post