සම්මාන බලාගෙන රඟපෑවේ නැහැ – සුලෝචනා වීරසිංහ




වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් හැඩ වැඩ කරන නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිණියක් තමයි සුලෝචනා වීරසිංහ. ඇය මේ දිනවල ‘ඇතුල්වීම තහනම්’ ටෙලි නාට්‍යයේ සරෝජනීගේ චරිතය හරහා ඔබට වඩාත් සමීප වෙලා. ඔය අතර වේදිකාවට ගොඩවෙන්නත් ඇය අමතක කරල නැහැ. වැඩි විස්තර අපි සුලෝචනාගෙන්ම අහමු.


 සුලෝචනා, මොකද වෙන්නෙ මේ දවස්වල?


මේ දවස්වල නම් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ ‘ඇතුල්වීම තහනම්’ ටෙලි නාට්‍යයේ සරෝජනීගේ චරිතය සඳහා රංගනයෙන් එකතු වෙනවා. මුල් කාලෙ ටෙලි නාට්‍ය එතරම් ජනප්‍රිය නොවුණත් දැන් මිනිස්සු ටෙලිනාට්‍ය බලනව කියන දේ මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට දැනෙනව. ඒ වගේම දිවිතුරා ටෙලි නාට්‍යයේත් වැඩකරනව. නමුත් නිතර දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි.


වේදිකාවේ වැඩකටයුතු කොහොමද?


වේදිකාවේ කටයුතු ගැන කතා කළොත්, ධනංජය කරුණාරත්නගේ ‘සිහින රඟහල’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වන විට එහි දර්ශන වාර හයක් හතක් වේදිකාගත කරල තියෙනවා. ලබන 19 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී තවත් දර්ශන වාරයක් වේදිකාගත කරන්න කටයුතු සූදානම් කරල තියෙනවා. ඊට අමතරව මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලට සුදුසුකම් ලබා තිබෙන චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ යන වේදිකා නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් 23 වැනිදා වේදිකාගත වෙනවා. මේ නාට්‍යයත් එක්ක අපි රට වටා යනවා.


 ‘සඳුද වැටෙන්නෙ සිකුරාදට’ රාජ්‍ය නාට්‍ය උළෙලට සුදුසුකම් ලැබීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?


බ්ලැක් කොමඩි ශානරයට අයත් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ නාට්‍ය, චාලක රණසූරියගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. මේ නාට්‍ය නරඹපු පිරිසගෙන් ලැබුණ ප්‍රතිචාරය ඉතාමත් හොඳයි. දෙවැනි වටයට අපි නාට්‍ය වේදිකාගත කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ. එහිදීත් ඉතාමත් හොඳ ප්‍රතිචාර වගේම හොඳ පිරිසක් නාට්‍ය නරඹන්න එකතුවෙලා හිටියා. ඇත්තම කිව්වොත් බොහෝ දෙනෙක් නාට්‍ය බැලුවෙ හිටගෙන.


මේ අත්දැකීම ම අපි පේරාදෙණිය වළේදීත් ලැබුවා. එදානම් හොඳටම වැස්ස. නමුත් කවුරුවත් නැගිටල ගියේ නැහැ. ඒක අපිටත් හොඳ අත්දැකීමක් වුණා. දර්ශන වාර විස්සකට අධික ප්‍රමාණයක් මේ වන විට වේදිකාගත කරල තියෙනව වගේම ඉදිරියටත් බොහෝ ප්‍රමාණයකට ආරාධනා ලැබිල තියෙනවා.


 මේ නාට්‍ය කළේ රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන්ද?


නාට්‍යය පටන්ගන්න කාලයේ අධ්‍යක්‍ෂවරයාගේ එහෙම අදහසක් තිබුණෙ නැහැ. බොහෝ දෙනාගේ ඉල්ලීම මත තමයි ඒ දේ සිදු වුණේ.


සම්මානයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවාද?


වේදිකාවේ වත්, පුංචි තිරයේ වත්, රිදීතිරයේ වත් මම සම්මාන වෙනුවෙන් රඟපෑවේ නැහැ. නමුත් ඒ තුනෙන්ම මේ වන විට මට සම්මාන ලැබිල තියෙනවා. මේ නාට්‍යය මොනයම් හෝ අංශයකට නිර්දේශ වෙනවා නම්, සම්මාන ලැබෙනවා නම් මට පෞද්ගලිකව නොලැබුණත් එයට සම්බන්ධ කෙනෙක් හැටියට මට ඒක ලොකු සතුටක්.

 ඔබේ වැඩි කැමැත්ත?


මම මේ ගමන පටන්ගත්තෙ වේදිකාවෙන්. අදටත් මම ඒක අතහැරල නැහැ. අතහරින්න අදහසකුත් නැහැ. අපි නිරන්තර පුහුණුවක් ලබන්නෙ වේදිකාවත් එක්ක. ඒ අප්ඩේට් එක වෙනත් මාධ්‍යයකින් අපිට ලබන්න බැහැ. නමුත් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ සිනමාවට.


 නාට්‍ය භාරගන්නෙ සීමාසහිතවද?


ඔව්, මම නාට්‍ය ගොඩක් භාරගන්නේ නැහැ. දැනටමත් දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවනෙ. රිහර්සල්වලට යන කාලය වැඩියි. ලංකාවේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ලොකු ගෙවීමක් බලාපොරොත්තු වෙන්නත් බැහැනෙ.


සිනමාවේ වැඩකටයුතු?


දැනට මම කරපු නිර්මාණ තියෙනව. ඒ අතර තියෙන ඉලංගේරාම් අධ්‍යක්‍ෂණය කළ ‘නෙළුම් ක-ුළුණ’ මේ වන විට අන්තර්ජාතික සිනමා උළෙලකට නිර්දේශ වෙලා එහි තිරගත කරන්න සූදානමින් ඉන්නවා. ඊට අමතරව මීට අවුරුදු දහයකට පෙර කරපු නිර්මාණයකුත් තියෙනවා. ඒකට ගිය වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවැති ටයිටේන් ෆිල්ම් ෆෙස්ටිවල් එකකදී සම්මානයක් සඳහා තෝරාගෙන තියෙනවා. තවත් නිර්මාණ දෙකක් සඳහා ආරාධනා ලැබිල තියෙනවා.


 වේදිකාවේ, පුංචි තිරයේ, රිදී තිරයේ වැඩකටයුතු සහ ගෙදරදොර කටයුතු කොහොමද සමබරව කරගන්නෙ?


ඒක කාලයක් පුරා කරපු නිසා මට දැන් හුරු වෙලා. මගේ දුවට වයස දැන් අවුරුදු හතහමාරයි. දුව බිහිවෙලා මාස හයෙන් මම ඇයවත්, අම්මාවත් අරගෙන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ රූගතකිරීම්වලට සහභාගී වෙනවා. ඒ 2007 අවුරුද්දෙ. දුවට වයස අවුරුදු දෙකහමාරක් පමණ වනතුරු මගේ අම්මා මං එක්ක හිටියා. මම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයට බැඳිල මේ වන විට වසර නවයහමාරක් වෙනව. දැනට මාස දෙකක පටන් නිවාඩු අරගෙන ඉන්නෙ.


කලාවට දුවගෙ තියෙන කැමැත්ත මොන වගේද?


දුව වේදිකාවට ඉතාමත් කැමතියි. සඳුද වැටෙන්නෙ සිකුරාදට නාට්‍ය ළමා නාට්‍යයක් නොවුණත් ඇය දැනට තුන් වතාවක් පමණ නරඹල තියෙනව. ආයෙත් මම ෂෝ එකකට යනව කිව්වොත් බලන්න ඕන කියනව. 2014 අවුරුද්දෙ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය ඇතුළුව සම්මාන හතඅටක් ලබාගත්ත ‘මකරෙක් ඇවිත්’ කියන නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනය පූජන දන්දෙනිය විසින් මීට මාස කිහිපයකට කලින් සිදුකරනව. මම දුව නිසාම මේකට සම්බන්ධ වෙනව. මම ‘ගිනිගිනි මාලේ’ ළමා නාට්‍යයට සම්බන්ධ වන විට ඇයට වයස අවුරුදු තුනයි. ඒ කාලෙත් මං එක්ක රිහර්සල්වලට යනව. මේ නිසාම වගේම ජාන වලින් එන දේවල් නිසාත් මගේ දුවත් කලාව පැත්තට ගොඩක් නැඹුරු වෙනව ඇති.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post