බංකොලොත් වුණු රටක චිත්‍රපටයක් කරන එක හීනයක් -ඩබ්ලිව්. ජයසිරි




ඔහු හෙළ කලාකෙතෙහි තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය මතු නොව සාහිත්‍ය තුළද ඔහු තම අනන්‍යතාව තහවුරු කළ විශිෂ්ටයෙකි. අද  එක්වන්නේ ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි. 


මුරුගසං නිර්මාණය වුණේ කොහොමද?


සුපුන් රත්නායක කියන මගේ මිත්‍රයා තමයි මට මෙය නිර්මාණය කරන්න ආරාධනා කළේ. නිශාන්ත ඩයස් සහ තනුෂ්කා ජයවර්ධන සමඟ එක්වෙලා සුපුන් රත්නායක ආරම්භ කළා A For Apple Mini Series Head Quaters කියලා Company එකක්. ඒ අනුව තමයි මේ එපිසෝඩ් අටකින් යුතු මුරුගසං කියන මිනි සීරීස් එක හැදෙන්නේ. මුරුගසං විකාශය වීමට පෙර ධනුෂ්ක රේමන්, බූඩි කීර්තිසේන සහ සුපුන් රත්නායක කියන අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ විකාශය වී අවසන් වුණා. මුරුගසං විකාශය වෙන්නෙ එහි හතර වැනි නිර්මාණය විධියට.


රංගන ශිල්පියෙක් වීම අධ්‍යක්ෂවරයෙක් වීමට කරන බලපෑම මොන වගේද?


ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මට රංගන ශිල්පියෙක් විධියට අවුරුදු පනහක විතර අත්දැකීම් තිබෙනවා. ඒ කාලය තුළ මම චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය බොහෝ ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය සැපයුවා. මම සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රේමසිරි කේමදාස, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි ප්‍රබුද්ධ පිරුණු මිනිස්සු ඇසුරු කළා. එම ඇසුරෙනුත් රඟපෑමෙනුත් ලත් පරිචය මට අධ්‍යක්ෂවරයෙක් වීම සඳහා සැහැල්ලුවක් ලබා දුන්නා.


මුරුගසං තුළ තිබෙන්නෙ ගොතික් නිර්මාණයක තිබෙන අ¾දුරු ස්වභාවය, මේ ගැන කතා කරමු?


ඒක ගැන දැන්ම මොකුත් කියන්න බැහැ. ඉවර වෙන කල් බලන්න ඕනෑ. අවසානයේදි තමයි බලන කෙනෙක්ට මේ මොකක්ද බැලුවෙ කියන එක තේරෙන්නෙ. බලන්න ඉස්සර වෙලා ඒක ගැන මොකුත්ම කියන්න බැහැ. මේක නරඹන ප්‍රේක්ෂකයාට හෝ ඔබට මෙහි යම් අ¾දුරු ස්වභාවයක් තිබෙනවා කියලා පෙනෙනවා නම් එය මගේ නිර්මාණයෙහි සාර්ථකත්වය පෙන්වන ලකුණක් කියලා මට කියන්න පුළුවන්.


නිධානයේ පටන් අද දක්වාම ලාංකිකයාගේ විඥානය තවමත් සැඟවී තිබෙන්නේ ඉපැරැණි අ¾දුරු වලව්ව තුළද?


මම ඒ ගැන ඒ තරම් විශාලෙට හිතන්නෙ නැහැ. මොකද වලව් කියන්නේ එක්තරා කාලයක මේ රටේ ජීවත් වුණු, මුදල් හදල් තිබෙන කුල ගෞරවයෙන් ඉදිමෙච්ච, සාමාන්‍ය මිනිස්සු පාගපු මිනිසුන් ජීවත් වුණු නිවාස ඒකකයක්. ඒ ගැන මොකුත් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒවායෙහි දිවි ගෙව්ව අය හැමදාම අහිංසක මිනිසුන්ට අඩන්තේට්ටම් කරමින් ඒගොල්ලන්ගෙ සුඛවිවරණය සඳහා ජීවත් වුණා.


වත්මන් ටෙලිවිෂනය තුළ ට්‍රාන්ස්ග්‍රෙසිව් නිර්මාණ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා. මේ පිළිබඳව ඔබේ අදහස?


මම ඇත්තටම ටෙලිනාට්‍ය පිළිබඳව විශේෂයෙන් තදින් හිතන්නෙ නැහැ. මට මේ නාට්‍ය කරන්න ආරාධනා කළාම මම විමල් කැටිපෙ ආරච්චිට කිව්වා මට තිරපිටපතක් ලියලා දෙන්න කියලා. ඒ තිරපිටපත අධ්‍යක්ෂවරයෙක්ට තමන්ගේ යම් යම් විභවයන් උලුප්පා පෙන්වන්න පුළුවන් තරමේ විශිෂ්ට පිටපතක් වුණා. මම ඒ පිටපතින් මට අවශ්‍ය කරන ටෙලිනාට්‍ය නිර්මාණය කළා.


ඔබ දේශද්‍රෝහී බල්ලා, සිරිසේන තෙපානිස් සමඟ වැඩිහිටියන්ගේ කතා වැනි කෙටිකතා පොත් ලියා තිබෙනවා. කෙටිකතාව ඔබට මඟහැරුණාද?


කෙටිකතා ලියන්න ආසයි. දැන් මේ රටේ සිද්ධ වෙන යම් යම් කරුණු කාරණා දෙස බලන විට එතරම් ශිෂ්ට සම්පන්න කතා ලියන්න බැහැ. ලියන්න වෙන්නෙ බොහොම අසභ්‍ය දේවල්. ඒ දේවල් මෙහෙ මිනිස්සු ලියන්න දෙන්නෙ නැහැ. ඒ දේවල් ගණන් ගන්නෙ නැහැ. මගේ ජීවිත කාලය තුළ අපේ භාෂාව පොහොසත් වුණු දවසකට මම ලියනවා. ඉංග්‍රීසි භාෂාවේ තුළ ඕනෑම අසභ්‍ය වචනයක් ලියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව තුළ නව දේවල් නිර්මාණය වීමත් සිදු වෙනවා. අපේ භාෂාව එහෙම වෙන්නෙ නැහැ. මොකද අපි භාෂාව හංගගෙන ඉන්නෙ. ලියන භාෂාව කියලා අමුතු පණ්ඩිත භාෂාවකින් තමයි අපි ලියන්නෙ. එළියට බැස්සම මේ රටේ මිනිස්සු කතා කරන සාමාන්‍ය භාෂාව අපිට නිතර දෙවේලෙ ඇහෙනවා. ඒවා පදනම් කරගෙන කතාවක් ලියන්න බැහැ. මං දන්නෙ නැහැ ඒ මට හිතෙන විධිය. මට වඩා වෙනස් විධියට හිතන අය ලියනවා ඇති.


කලාකරුවා දේශපාලනික විය යුතුද?


ඔව්. දේශපාලනය කියන්නෙ පක්ෂ දේශපාලනය නෙවෙයි. පොලිටික්ස් කියලා දෙයක් තිබෙනවා. මිනිසා කියන්නෙ දේශපාලන සත්ත්වයෙක්. ඉතින් කලාකරුවත් දේශපාලනය කරන්න ඕනෑ. දේශපාලනය කරනවා කියලා එක එක පක්ෂවලට කඩේ යන එක නෙවෙයි මම කියන්නෙ. මේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්නය හ¾දුනාගෙන තමයි කලාකරුවා තමන්ගෙ නිර්මාණය කරන්න ඕනෑ.


මතක සමඟ ලට්ට ලොට්ටවලින් පසුවත් පොතක් එනවාද?


මතක සමඟ ලට්ට ලොට්ටවලින් පසුව මම ඉතුරු බිතුරු මතක සමඟ මා ලියූ ගී කියලා පොතක් ලිව්වා. මතක සමඟ ලට්ට ලොට්ටවල මට ලියාගන්න අමතක වුණු බොහෝ දේ එහි ලියැවුණා. එහි තිබෙන්නේ මගේ ජීවිතයේ මට වරින් වර මුණගැසුණු සහ මම කළ කී දෑ පිළිබඳ මගේ මතකයේ තිබෙන දේවල්. මගේ මතකයේ තිබෙන දේවල් මම මේ හරහා කොළවලට දා ගත්තා. සමහර දේවල් අමතක වෙලා තිබෙනවා. ඒ වගේම තව දේවල් ගොඩක් ලියන්නත් තිබෙනවා. මේ හිතේ තිබෙන දේවල් කොහේවත් කටුසටහන් ගහලා නැහැනෙ.


සිනමාපටයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?


මම චිත්‍රපටයකට තිරපිටපතක් ලියලා වසර ගණනාවක් තිස්සෙ බලාගෙන සිටිනවා. මම එය කිහිප දෙනෙක්ට දුන්නා. නමුත් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. මේ කාලයේ කිසිම කෙනෙක් ලෙහෙසියෙන් චිත්‍රපටයකට මුදල් වියදම් කරන්නෙ නැහැ. මේ කාලයේ අපේ රටේ ආර්ථිකය තිබෙන්නෙ බංකොලොත්භාවයක. බංකොලොත් වුණු රටක ඔය වගේ වැඩ කරන එක හීනයක්.


ගිහාන් සචින්ත



Previous Post Next Post