මේ මගේ පළවැනි ආදරය නම් නොවෙයි-මාෂි චතුරිකා




මාෂි  චතුරිකා කුරේ මේ දිනවල අපට හමුවන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සම්මානිත අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සුසුම් රස්තියාදුව‘ ටෙලි නිර්මාණයේය. පී. නන්දසේනගේ ‘වෙස්ගත්තෝ‘ ටෙලි නිර්මාණයෙන් රංගනයට පිවිසි ඇය පළමු වරට ප්‍රධාන භූමිකාවකින් අප හමුවන්නේ ‘රහයි ජීවිතේ‘ ටෙලි නිර්මාණයේ කෞෂල්‍යා ලෙසිනි. ඉදිරියේ දී විකාශය වීමට නියමිත ‘මර්ඩර්‘හි ශේෂා නමැති දමිළ තරුණියක ලෙස අපූරු රංගනයක යෙදෙන මාෂී එය සාර්ථක කර ගන්නට වෙස්ගත්තෝහි අහිකුණ්ඨික රැහේ තරුණියක වූ මාලිනී ලෙස ලද අත්දැකීම් බෙහෙවින් උපකාරී වූ බව ද පැවසුවාය.


මාෂි මේ දවස්වල සුසුම් රස්තියාදුවෙ නේද ? කොහොමද ඒ අත්දැකීම?


සුසුම් රස්තියාදුව කියන්නේ සම්මානයට පාත්‍ර වුණු සකර්ම ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නවතම ටෙලි නිර්මාණය. මේකෙ තිර රචනය කොඩිගහ යට ටෙලි පිටපත රචනා කළ අරුණ ප්‍රේමරත්නගේ. මෝස්තර නිරූපණය සඳහා ගමෙන් කොළඹට එන යුවතියක් කොළඹ දී මුහුණ දෙන ගැටලු ගැන කියැවෙන කතාවක්. ටානියා විදිහට මං කතාවට සම්බන්ධ වෙන්නෙ ඒ ගමේ යුවතියගෙ (එරන්දතී) බෝඩිමේ යාළුවා විදිහට. නිරූපණ ක්ෂේත්‍රය ගැන වගේම ඒකෙ චරිතයක් වෙන හැටි එරන්දතීට කියල දෙන්නෙ ටානියා. නිශ්චිත ඉලක්කයක් නැතුව ගමෙන් නගරයට ඇවිත් අසරණ වෙන තරුණියන්ට යම් පණිවුඩයක් දෙන්න උත්සාහ කරන නිර්මාණයක්.


ඔබ මෙතෙක් ආ ගමන ගැන කතා කළොත්?


මුලින්ම මං ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළේ. ඒකෙන් අයින් වුණාට පස්සෙ විදෙස්ගත වෙලා රූපලාවණ්‍ය ගැන වැඩිදුර හැදෑරුවා. අවුරුදු 5ක් විතර විදෙස් රටවල සේවය කළා. ලංකාවට ආවට පස්සෙ මාත් එක්ක එකට හිටපු රූපලාවණ්‍ය ශිල්පීන් තමයි මාව හැඩගන්වලා මෝස්තර නිරූපිකාවක් කළේ. ඉන් පස්සෙ දිගටම මොඩ්ල් කෙනෙක් විදිහට ඉදිරියට ආවා. මගේ මොඩ්ල් ෆොටෝ දැකලා තමයි වෙළෙඳ දැන්වීම්වලට කතා කළේ. මහජන, එන්. ඩී. බී. කොමර්ෂල් බැංකුවල වගේම සපුමල් හඳුන්කූරු, ගෝල්ඩ් සුවඳ විලවුන් වගේ ගොඩක් ජනප්‍රිය වෙළෙඳ දැන්ව්මීවලට පෙනී හිටියා. වෙළෙඳ දැන්වීම් හරහා තමයි මට රංගනයට අවස්ථාව උදාවුණේ.


වෙස්ගත්තෝ වගේම මර්ඩර් නිසා මාෂි දමිළ භාෂාව ගැන අවබෝධයක් ලබාගත්ත නේද?


ඒ දෙකම මට අභියෝගයක් වුණු නිර්මාණ. මහේෂ් කරුණාරත්නගේ වෙස්ගත්තෝ එකේ මං අහිකුණ්ඨික කෙල්ලක්. ශ්‍රියන්ත මෙන්ඩිස්, මාදිනී මල්වත්ත වගේ ප්‍රවීණයන් ඒ චරිතය ගොඩනඟා ගන්න මට ලොකු ශක්තියක් වුණා. දෙමළ භාෂාව වගේම අහිකුණ්ඨික අයගෙ හැසිරීම් රටාව, භාෂාව මට අධ්‍යයනය කරන්න වුණා. මුලදී අපහසු වුණත් පස්සෙ ටික ටික හරි ගියා. ඒ ඉගෙන ගත්ත දේවල් ‘මර්ඩර්‘ කරද්දි මට ලොකු පහසුවක් වුණා. මර්ඩර් කියන්නෙ මොඩ්ලින් කරන්න ගමෙන් නගරයට එන දමිළ තරුණියක් නගරයෙදි නොයෙක් කරදරවලට මුහුණපාල අන්තිමේදී ඝාතනයට ලක්වෙන සිදුවීමක්.


පළමු රංගන අත්දැකීම අමතක නොවන අභියෝගයක් වුණා කියලත් ආරංචියි?


මගේ පළමුවෙනි රංගන අත්දැකීම වෙස්ගත්තෝ. මාලනී කියන්නේ අහිකුණ්ඨික රැහේ ඉන්න කෙල්ලක්. පාරවල් ගානෙ සාත්තර කිය කියා යන්න ඕන. යම්කිසි බන්ධනයකට අහුවෙලා ඉන්න මේ තරුණියගෙ ශරීරයට හිටපු ගමන් ආවේශයක් එනවා. ඒ වෙලාවට එයාගෙ ඇඟේ තව කෙනෙක් ඉන්නවා වගේ හැසිරෙන්න ඕන. එක අවස්ථාවකදී ආරූඪ වෙලා ශ්‍රියන්ත අයියටයි, සරත් අයියටයි හොඳටම ගහනවා. ගස්, ගල් මුල් උඩ නැඟල බිමට පනින්න, ෆයිට් කරන්න වගේම භූතාත්මයක් එක්ක පොර බදන එකත් ලොකු අභියෝගයක් වුණා.


මාෂිට සිනමාව ගැන තියෙන්නෙ මොනවගේ අත්දැකීමක් ද?


රොෂාන් පිලපිටියගේ කුණු කොල්ලා කියල ෂෝට් ෆිල්ම් එකකට සම්බන්ධ වුණා. ඒක ළමා කතාවක් ඇසුරු කරගෙන ෆිල්ම් ෆෙස්ටිවල් එකකට නිර්මාණය වුණු එකක්. මුඩුක්කුවක හැදෙන ළමයෙක් තමන්ගෙ උත්සාහය නිසා පාපන්දු ක්‍රීඩාවෙන් ජීවිතය ජයගන්න විදිහ ලොවට කියන පත්තර වාර්තාකාරියකගේ චරිතයක්. මෑතකදී ඉන්දියාවේ තමිල්නාඩුවේ දමිළ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒ අවස්ථාව මට ලැබුණේ වසන්තම් එකේ පී. එම්. නන්ද කුමාරගෙ (මාස්ටර්) වැඩකට සම්බන්ධ වෙලා හිටපු නිසා. කබාලි රාජා කියන ටැමිල් ඩාන්සර් එක්ක තෙළිඟු සහ ටැමිල්වලින් ඩාන්සින් මියුසික් වීඩියෝ ඇල්බම් එකක් කළා. ඒක දැකලා මට තෙළිඟු ෆිල්ම් එකකට ආරාධනාවක් ලැබුණා. ළඟදිම ඒකෙ ෂූටින් පටන් ගන්නවා. මට හින්දි වගේම උර්දුත් ටිකක් තේරෙනවා. ඒ නිසා ඒ භාෂාවලින් පිටපත ලබාදෙන්න පොරොන්දු වුණා.


ආදරේ ගැන මාෂිට මොන වගේ අත්දැකීමක් ද තියෙන්නෙ?


මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මේ ෆීල්ඩ් එකේ කෙනෙක් නම් නෙවෙයි. එයා ව්‍යාපාර පැත්තට සම්බන්ධ කෙනෙක්. මගේ රංගන කටයුතුවලට ලොකු සහායක් ලබාදෙනවා. එයා නිතරම කියනවා රංගනයේ නියැළෙන ගමන්ම තවත් මොනවහරි දේකට සම්බන්ධ වෙන්න කියලා. හැම දේකදිම ළඟින් ඉන්නවා. මේක මගේ පළමුවෙනි ආදරේ නම් නෙවෙයි. ඒත් ඒ ලබපු අත්දැකීම් එක්ක දැන් මං තෝරගෙන ඉන්නෙ සුදුසුම කෙනා කියල හිතනවා.


නාමලී ගමගේ




Previous Post Next Post