සම්මාන උළෙලවලදී ‘ගින්නෙන් උපන් සීතල’ හිතාමතා නොසලකා හැරියාද?




ඔහු ලාංකික සිනමාවෙහි තම අනන්‍යතාව රැකගත් විශිෂ්ට රංගධරයෙකි. අග්නි දාහය, වෙදහාමිනේ, ජුලියට්ගේ භූමිකාව, ඝරසර්ප වැනි සිනමාපට නාමකායන් ඇසුණු පමණින් ඔහුගේ රූපකාය මැවෙයි. පසුගියදා පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය උදෙසා දැක්වූ රංග ප්‍රතිභාව උදෙසා හොඳම නළුවාට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේය. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගධර කමල් අද්දරආරච්චි. ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වීම පිළිබඳ ඔබේ අදහස?


මොකක් හරි යහපත් දෙයක් හෝ නරක දෙයක් කළොත් ඒ දෙය සඟවන්න බැහැ. දියේ එබූ රබර් බෝලය වගේ ඒක ඉහළට එනවා. කිසිම දෙයක් සඟවා තබන්න බැහැ. මේ ‘ගින්නෙන් උපන් සීතල’ තරග වැදුණු දෙවැනි සම්මාන උළෙල. මීට කලිනුත් සම්මාන උළෙලකට ‘ගින්නෙන් උපන් සීතල’ තේරී පත් වී තිබුණා. හැම සම්මාන උළෙලක්ම එක ලෙස කටයුතු කරන්න අවශ්‍ය නැහැ. නමුත් කලින් පැවැති සම්මාන උළෙලේදී ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය නොසලකා හැරිය ස්වභාවයක් දකින්න පුළුවන් වුණා. ප්‍රමිතිය කියන දෙය නිර්මාණය වීමට එහි අඩංගු විය යුතු නිර්ණායකයන්


කිහිපයක් තිබෙනවා. සම්මානයක නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. සම්මානයට පාත්‍ර වීම මහා විශාල දෙයක් නෙවෙයි. රංගනය දෙස බලන විට එහි තිබෙන දෙය ඕනෑම කෙනෙක්ට දකින්න පුළුවන් වෙන්නෙ ඕන. පෙර පැවැති සම්මාන උළෙලේදී මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටියට වගේම මගේ රංගනයටත් කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැහැ. හොඳම නළුවා සම්මානය හිමි වුණේ පොඩි ළමයෙක්ට. ඒක නිකන් හරියට ඔයාට වඩා හොඳට අවුරුදු 12ක දරුවෙක් රඟපෑවා වගේ දෙයක්. මේවා ඉතා ද්වේශ සහගතද කියන්නත් බැරි, මරි මෝඩද කියලා කියන්නත් බැරි තීරණ. ජූරියට අපේ රංගනයන් පිළිබඳව නිසි කියවා ගැනීමක් තිබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්.


මෙය සිතාමතා කළ දෙයක් කියලද ඔබ සිතන්නේ?


එතැන ක්‍රියාත්මක වුණේ කාගෙ හෝ ද්වේශ සහගත සහ ඊර්ෂ්‍යාකාරී සිතුවිල්ලක්. ද්වේශ සහගතකමයි ඊර්ෂ්‍යාවයි එක් වුණාම ලේසියෙන් දෙවැනි වරටත් විජේවීරව ඝාතනය කරලා දන්න පුළුවන්. නිවැරදි දේවල් සම්මානයට පාත්‍රවෙලා තිබුණෙ නැති නම් මිනිසුන්ට හිතෙන්නෙ ගන්නවා මොකක්ද හොඳ රඟපෑමක් කියන්නෙ කියලා. මම මේ, මම කළේ අතිවිශිෂ්ට රඟපෑමක් කියලා කියනවා නෙවෙයි. ජනාධිපති සම්මාන උළෙලෙදී සුදුස්සාට සුදුසු තැන ලැබුණා. මේ සම්මාන උළෙලේදී අපිට සම්මාන 11ක් ලැබුණා. නමුත් පෙර කී සම්මාන උළෙලේදී කිසිදු සම්මානයක් ලැබුණෙ නැහැ. මේක අහසට පොළොව වගේ දෙයක්. මේක එම සම්මාන උළෙලේ වැරැද්දක් නෙවෙයි. විනිශ්චය මණ්ඩලයේ වැරැද්දක්. මිනිසුන්ගෙන් සත්‍ය වසන් කරන්න


බැහැ. ‘ගින්නෙන් උපන් සීතල’ කියන්නෙ අනෙක් රජ කාලෙ කතා වගේ නිර්මාණයක් නෙවෙයි. ඒවායෙහි පූර්වාදර්ශයක් නැහැ. නැවත රෝහණ විජේවීරව කවරෙක් හෝ සිනමාව හරහා ප්‍රතිනිර්මාණය කරනවා නම් ‘ගින්නෙන් උපන් සීතල’ සමඟ එකටෙක තැබිය හැකි ලෙස නිර්මාණය කළ යුතු වෙනවා. නිර්මාණයක් කරනවා නම් නැවත ප්‍රතිනිර්මාණය කළත් පරයා නොයන අයුරින්  නිර්මාණය කළ යුතු වෙනවා. Ben Hur, The Ten Commandments වැනි සිනමාපට එවැනි ගුණයකින් යුතු වෙනවා. මම මේ සිනමාපටය තුළ එම ගුණාංගය දකිනවා.


රෝහණ විජේවීර නම් ශ්‍රේෂ්ඨ පුරාවෘත්තය චරිතයක් ලෙස ප්‍රති නිර්මාණය කිරීමේදී ඔබට එල්ල වූ අභියෝග ගැන කතා කරමු?


පළමුවැනි දෙය තමයි රෝහණ විජේවීර කියන්නෙ තිරපිටපතේ සඳහන් වන විධියේ පුද්ගලයෙක්ද කියන එක සොයා බැලීම. රෝහණ විජේවීරට තිරපිටපත් රචකයා විසින් යම් චරිත ලක්ෂණ ආරූඪ කර තිබුණා. ඒ චරිත ලක්ෂණ සැබෑ රෝහණ විජේවීරගේ චරිත ලක්ෂණද කියන එකත් මම සොයා බැලුවා. මට ඇතිවුණ තවත් ගැටලුවක් තමයි මේ සිනමාපටයේ තිබෙන්නෙ රෝහණ විජේවීරගේ චරිතාප්‍රදානයමද කියන දෙය. මම රෝහණ විජේවීරව ඇස් දෙකට දැකලා නැහැ. අනෙක මම ඔහුගේ අනුගාමිකයෙක් නෙවෙයි. හැබැයි මම ඒ කාලෙ ඔහුව හ¾දුනා ගත්තා නම් මමත් ඔහුගෙ අනුගාමිකයෙක් වෙන්නෙ තිබුණා. ඔහු ශ්‍රේෂ්ඨ චරිතයක් ලෙස මම සලකනවා. මම ඔහු පිළිබඳව හැදෑරුවෙ පොතපත කියවීමෙන්.


ඔහු කළ යම් යම් දේශනවල, රැස්වීම්වල වීඩියෝපට මම නැරඹුවා. මම ඒවායෙහි ආවේගශීලී බව, යථාරූපී බව සහ කතාවල තිබෙන බුද්ධි ගෝචරභාවය මොනවගේද යන දෙය තුළින් තමයි ඔහුව හ¾දුන ගත්තේ. ඒ වගේම ඔහුගේ සාමාන්‍ය ජීවිතය මොනවගේ වන්න ඇත්දැයි පරිකල්පනය කළා. මම ඇතැම් වීඩියෝවල ඔහු ඇවිදින විධිය, කතා කරන විධිය පවා අධ්‍යයනය කළා. සාමාන්‍යයෙන් රෝහණ විජේවීර මෙහෙම වෙන්න ඇති කියලා හිතලා තමයි මම මේ චරිතයට පණ පෙව්වේ.


කලාකරුවා දේශපාලනික විය යුතුද?


කලාකරුවා පමණක් නෙවෙයි හැමෝම දේශපාලනික විය යුතුයි. අපි දේශපාලනය නොකරන තාක් මිනිසුන්ගෙ අනුවණකම්වලට අපිට වන්දි ගෙවන්න සිදු වෙනවා. මිනිසා කියන්නෙ දේශපාලනික ජීවියෙක්. අපි කන්න ගියත්, බොන්න ගියත්, බෙහෙත් ගන්න ගියත්, අධ්‍යාපනය ලබන්න ගියත්, ඇවිදින්න ගියත් දේශපාලනය කියන දෙය අපිට බලපානවා. අපිට දේශපාලනය මඟ හරින්න බැහැ. මිනිස්සු දේශපාලනය සම්බන්ධයෙන් අවබෝධයකින් සිටිය යුතුයි. කලාකරුවා අතිශයින් දේශපාලනික විය යුතුයි. මොකද කලාකරුවන් තමයි මිනිසුන්ව මෙහෙය වන්නෙ. නවකතාවකින්, කවියකින්, ගීයකින්, චිත්‍රයකින්, නාට්‍යයකින් දේශපාලනය සිදු කරන්න පුළුවන්. චාලි චැප්ලින් වැනි විශිෂ්ටයෙක් පවා තම නිර්මාණ තුළින් දේශපාලනය සිදු කළා. දේශපාලනය කියන්නෙ දේශපාලනඥයන් සමඟ කකා බිබී ඉන්න එක නෙවෙයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක.


ඔබ ජනාධිපතිතුමාගේ අතින් සම්මානය ලබා ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති වුණා ඒ ඇයි?


ඔව්. මම ඒක දැක්කා. කමල් ඝාතකයා අතින් සම්මානය ලබා ගත්තා කියලා එහි සඳහන් වුණා. මේක කාගෙවත් සම්මානයක් නෙවෙයි. මේක රාජ්‍ය සම්මානයක්. කාට වුණත් ඒ සම්මානය ලබන්න වෙන්නෙ රටේ නායකයා අතින්. කිසිදු දේශපාලනික සම්බන්ධයක් නැති සම්මාන උළෙලක දෙවැනි වරට ඝාතනය වුණු විජේවීර යම් තරමකට හෝ පණක් ලැබුවේ මේ සම්මාන උළෙලෙන්. මේ සම්මානය ලබාදීම පිළිබඳව මම අගය කළ යුතුයි. සමහර මිනිස්සු කතා කරන්නෙ පුදුමාකාර සමාජවාදියො වගේ. හරියට අතේ දෑකැත්තයි මිටියයි උපදින කොටම අරං ආවා වගේ. එහෙම නම් ඒ මහත්වරු, තමන්ගෙ සභ්‍යත්වය ගැන හිතලා කලිසම් අඳින්නෙ නැතිව, පිටි කන්නෙ නැතිව, අරක්කු සිගරට් බොන්නෙ නැතිව, බුලත් විටක් කාගෙන, අමුඩයක් ගහගෙන කුඹුරු කොට කොට ඉන්න එක වඩා හොඳයි.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මම වසර පහක නිහැ¾ඩියාවකට පසු තමයි ‘ගින්නෙන් උපන් සීතල’ සමඟ සම්බන්ධ වුණේ. තවම මම කිසිම සිනමාපටයකට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මම මගේ ආදරණීය රසික රසිකාවියන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්න කටයුතු සූදානම් කළා. එහි පළමු අදියර පසුගිය සැප්තැම්බරයේ පැවැත්වුණා. එහි දෙවැනි ප්‍රසංගය දෙසැම්බර් 23 වෝටර්ස් එජ්හි පැවැත් වෙනවා. මා සමඟ දිල්හානි, පබෝධා, වන්දනා වැනි ජනකාන්ත නිළියන් වගේම උරේෂා රවිහාරි සහ ඉන්ද්‍රාණි පෙරේරා වැනි ජනප්‍රිය ගායිකාවන් මේ ප්‍රසංගයට සහභාගි වෙනවා. මේ තුළින් මිනිසුන්ව අතීතයට රැගෙන යනවා. මම සින්දු විසි පහක් තිහක් ඒ ප්‍රසංගයේදී ගායනා කරනවා. ඉතින් මේ සමඟ ඔබටත් එක් වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔබයි, මමයි ප්‍රසංගය ඔබ වෙනුවෙන් බලා සිටිනවා.




Previous Post Next Post