සිනමාවට ආරාධනාවක් ආවොත් එක පයින් කැමැති වෙනවා - දුලංජය දිල්ෂාන්



 මේ දිනවල විකාශය වන සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ කාගේත් අවධානය දිනාගත් චරිතයක් තමයි ලැම්බට් කියන්නේ. වේදිකාවෙන් පුංචි තිරයට පිවිසෙන මේ දක්ෂ රංගන ශිල්පියා නමින් දුලංජය දිල්ෂාන්. ඔහු මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


කොහොමද මේ දිනවල ගෙවන ජීවිතේ?


ගොඩක් හොඳින් කාලය ගෙවිලා යනවා. වෘත්තීයමය වැඩකටයුතුත් කරගෙන, රංගන වැඩකටයුත් කරගෙන පාඩුවේ ඉන්නවා.


ඔබ මේ දිනවල නිරතවන කලාකටයුතු ගැන කතා කළොත්?


සල්ලි පොකුරු ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒත් එක්කම අලුත් ටෙලිනාට්‍යයක වැඩකටයුතු ආරම්භ වෙලා තිබෙනවා. වේදිකාවේත් යම් යම් වැඩ කිහිපයකුත් කරගෙන යනවා.


සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ ලැම්බට්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම මේ ලැම්බට්ගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ඒ වගේ හොඳ ප්‍රතිචාර ලැබීම සතුටට කරුණක්.


කලාව පිළිබඳව හොඳ හැදෑරීමකින් අනතුරුවයි ඔබ කලාවට අත්පොත් තබන්නේ. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


ඇත්තටම මට ඒ පිළිබඳව ගොඩක් සතුටුයි. මගේ පාසල් කාලයේ සිටම මම කලාව හැදෑරුවා. පසු කාලයේදී විශ්වවිද්‍යාලයෙන් සහ තවත් අවස්ථා කිහිපයකදීම කලාව පිළිබඳව හැදෑරීම් කළා. ඉතින් මට ලොකු සතුටක් තිබෙනවා කලාව හැදෑරීමත් එක්ක රංගන ක්ෂේත්‍රයේ මෙවන් ගමනක් යන්න ලැබීම ගැන.


දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔබ ටෙලිනාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ මතකය අවදි කළොත්?


මම මුලින්ම කලා ක්ෂේත්‍රයට ආවේ හාරකෝටිය ටෙලිනාට්‍යයෙන්. මේ ටෙලිනාට්‍යයෙන් මගේ රංගන හැකියාව හ¾දුනගත්ත ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්මයා සහ සද්ධාමංගල මහත්මයා ඔවුන් අධ්‍යක්ෂණය කළ බොහෝ නිර්මාණවලට මාව දායක කරගන්නවා. පසු කාලීනව අමුතු රසිකයා, පැණි කුරුල්ලෝ, අග්නි පියාපත්, නාඩගම්කාරයෝ, සල්ලි පොකුරු වැනි ටෙලිනාට්‍ය රැසකින්ම මම ප්‍රේක්ෂකයන් අතරට එනවා. මීට අමතරව ප්‍රියන්ත ප්‍රනාන්දු  මහත්මයා අධ්‍යක්ෂණය කළ සුසුම් රස්තියාදුව, සකර්ම වැනි ටෙලිනාට්‍ය කිහිපයකටත් මම රංගනයෙන් දායක වෙනවා.


වේදිකාවෙන් රංගන ක්ෂේත්‍රයට එන ඔබට දැන් වේදිකාව මඟහැරිලද?


වේදිකාව අතහැරලා නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලටත්  වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ටෙලිනාට්‍ය වැඩකටයුතු සහ රැකියාවේ වැඩකටයුත් නිසා ටිකක් කාර්යබහුලයි කිව්වොත් නිවැරැදියි. වේදිකා නාට්‍ය බලන එකනම් ගොඩක් මඟහැරිලා තිබෙනවා. නමුත් වේදිකාව අතහරින්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.


රංගනයට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?


මම කලාව හැදෑරීම ආරම්භ කරන්නේ මගේ පාසල් කාලයෙන්. ඉතින් ඒ  කාලේ ඉඳලම මගේ අම්ම, තාත්තා, අයිය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා කලා කටයුතුවලට. දැන් මගේ බිරියත් මගේ වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒත් එක්කම මගේ බිරියගේ අම්මා, තාත්තත් මේ වෙලාවේ මතක් කරන්න අවශ්‍යයි. මොකද මගේ වැඩකටයුතු කරගෙන යන්න පහසු වෙලා තියෙන්නේ ඒ අයගේ උදවු නිසා.


ඔබ රංගනයේදී චරිත තෝරා ගැනීමක් කරනවාද?


සද්ධාමංගල මහත්මයා, ජයප්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්මයා වගේම ප්‍රියන්ත ප්‍රනාන්දු  මහත්මයා මම ගැන දන්න නිසා ඔවුන් මට ලබා දෙන්නේ ගැළපෙන චරිතමයි. ඉතින් වෙනත් ආරාධනා ලැබුණොත් චරිතය ගැන ටිකක් හොයලා බලනවා. නමුත් එහෙම තෝරා ගැනීමක් කරන්න තරම් ලොකු අවස්ථාවක් මට ලැබිලා නැහැ.


කලා කටයුතු අතරතුර ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීමක් මතක් කළොත්?


ගෙවන සෑම මොහොතකම සිදුවන්නේ අමතක නොවන සිදුවීම්. ඒවා අතර හොඳ මතක වගේම අමිහිරි මතකත් තිබෙනවා. දවසක් එක් චරිතයක් මට රඟපාන්න අවස්ථාව ලැබෙනවා. මේ නාට්‍යයේ එක සීන් එකක් තියෙනවා තරුණියක්ව වඩාගන්න වෙන. නමුත් මේ තරුණියට රඟපාන නිළිය මේ සීන් එකට කැමැති වෙන්නේ නැහැ මොකද එයාගේ ආදරවන්තයා අකැමැති නිසා. නමුත් මම නම් දකින්නේ පෞද්ගලික ජීවිතය එකක්, රංගන ජීවිතය තව එකක්. මේක තමයි මගේ රංගන ජීවිතයේ සිදු වූ  ආසන්නතම අමතක නොවන සිදුවීම.


වර්තමාන කලා ක්ෂේත්‍රය සහ නවක නළු නිළියන් ගැන මොකද හිතන්නේ?


ඇත්තටම ගොඩක් දක්ෂ නළු නිළියෝ ඉන්නවා. මමත් මේ වර්තමාන පරම්පරාවේ නළුවෙක්. ඉතින් ඒ වගේම කිසිම අවබෝධයක් නැතිව, කිසිම හැදෑරීමක් නැතිව කලාවට පිවිසෙන අයත් අද ඕනෑතරම් ඉන්නවා. සෙල්ෆි ගහල නළු නිළියෝ වෙන්න දඟලන ගොඩක් අයත් ඉන්නවා. ඉතින් මම නම් දකින්නේ කලාව හැදෑරීමකින් පසුව කළ යුතු දෙයක් කියලයි.


ඉදිරියේදී එන්න තිබෙන අලුත් නිර්මාණ ගැන කතා කළොත්?


ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ අලුත් ටෙලිනාට්‍යයක් මහව ප්‍රදේශයේ  රූගත වෙනවා. මේ දවස් ඒ නිර්මාණයේ වැඩකටයුතුත් එක්ක තමයි ඉන්නේ. නොබෝ දිනකින් ප්‍රේක්ෂකයන් අතරට මේ නිර්මාණයත් එයි.


සිනමාවට යොමුවෙන්න අදහසක් නැද්ද?


ඇත්තටම ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස සිනමාවට එන්න ගොඩක් කැමැතියි. ශාන් ප්‍රනාන්දු මහත්මයාගේ අලුත් ෆිල්ම් එකේ පොඩි රෝල් එකකට මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සිනමාවට ආරාධනාවක් ලැබුණොත් මම එක පයින් කැමැති වෙනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


සතුටින් ඉන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම වැඩ කරනවා. ඒ වගේම මට දක්ෂ නළුවෙක් වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. වෘත්තියෙන් මම ගුරුවරයෙක්. ඒ නිසා හොඳ ගුරුවරයෙක් වෙන්නත් උත්සාහ කරනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post