ඔබ නැතුව ඔබ එක්ක , ක්ෂීර සාගරය කැළඹුවෙමු - හරිනි කාව්‍යාංජනී

 


හඬා වැටෙන සිත දරාගෙන එලෙසින්ම හඬා වැටෙන තවත් සිතක් සමග කතාබහ ඇරඹූ වෙලාව මට නිනව් නොවේ. එහෙත් ඒ කතාවේ අවසානය සටහන් වූ වෙලාවත් තරු කැටත් අැස්වසන මැදියම් රාත්‍රියත් ඉක්ම ගිය වෙලාවක් වී තිබුණි. වචන අතරෙහි හැඬුම්ය. වචන අතරෙහි සුසුම්ය. ඒ හැඬුම්, ඒ සුසුම් ළෙන්ගතු ආමන්ත්‍රණයක නොකියූ වචනය. අප්‍රමාණ ආදරයක සහ සෙනෙහෙබර ගෞරවයක සාක්ෂිය. ජැක්සන් ඇන්තනී රංගධරයා රංගනය මුසු කළ සිනමා රූපකාරකයන් අතුරින් මෙතෙක් තිරගත වූ අවසන් චිත්‍රපටය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයයි. එහි තිර පිටපත අකුරු කළ නිර්මාණශීලී තිර පිටපත් රචකයා ද ජැක්සන් ඇන්තනීමය. කළ දෑ සුවිසල් වග කියනුම කුමටද? කළ හැකිව ශේෂ වූ දෑද සුවිසල්මය. එහෙත් අතරමඟ ඔබ සියල්ල හැරගොස් හමාරය. ක්ෂීර සාගරය කැළඹිණ නැරඹූ දවසේ මා ද මොහොතකට කැළඹිණ. ඒ ක්ෂීර සාගරයේ රඟපෑ අමුතු හැඩයක්, අමුතු වර්ණයක් ඇති දැරියක වූ පුංචි කෙල්ල කවුදැයි සොයන්නට ඇතිවුණු කුහුල නිසාමය. ජැක්සන් නම් මහා රංගධරයාට කරට කර හයියක් වෙමින් අති ස්වභාවික ආලවන්ත රංග හුස්මක් තුළ දැරියගේ රංගනය තුළින් සොඳුරු සේ සැරිසැරූ ඒ දුඹුරු පාට පුංචි කෙල්ල හරිනි කාව්‍යාංජනීය. 


හරිනි.. ආදරණීය ඔබේ ආමන්ත්‍රණය තුළ ජැක්සන් සර්... ක්ෂීර සාගරය තුළ ඔබ ඔහුට හමුවීම ඉතුරු කළ මතක බොහෝ ඇති. ඒ මතකය දිගේ ඇවිදින්න දවස අදයි?


මට පුදුම හිතෙන්නෙ අපි මොනවද අහන්නෙ, අපි මොන විෂය ද කතා කරන්නෙ, අපි මොනවද ඉල්ලන්නෙ, ඒ හැමදේම ජැක්සන් සර් තුළ තියෙනවා. නිර්ලෝභීව ඒ දැනුම දෙනවා. අපිට මොකක්ද තියෙන ප්‍රශ්නෙ.. ඒ හැම ප්‍රශ්නයකටම සර් ගාව උත්තරයක් තියෙනවා. මම සර්ව ඉස්සෙල්ලම දැක්කෙ මුහුරත් උළෙලකදි. එදා සර් කළු ඇඳුමක් ඇඳලා හිටියෙ. සර් මා එක්ක හිනා වුණා. 


අනිත් නළු නිළියන් ඉස්සරහ ඇහුවා මෙයා කොහොමද කියලා. මහපටැඟිල්ලයි දබරුඟිල්ලයි පාවිච්චි කරලා මට ෆිට් කියන සංඥාව දුන්නා. කෙල්ලේ අපි එකතුවෙලා ලස්සනට වැඩේ කරමු කිව්වා. එච්චරයි කතා කළේ. ඊටපසු දවසක මට හමුවුණේ සර් කහ පාට ටීෂර්ට් එකක් ඇඳලා සුනිල් ආරියරත්න සර්ගේ ගෙදරදි. එදා තමයි මම සර් එක්ක ඉස්සෙල්ලම කතා කළේ. සර් මගේ දිහා බලන්නෙ ඔළුව උස්සලා බෙල්ල චුට්ටක් ඇද කරලා අමුතු විදිහකට. හරියට මාව ස්කෑන් කරන්න වගේ. සර් මට කිව්වා බය වෙන්න එපා ඔයාට මේ චරිතය තුළ කරන්න පුළුවන් දේ මාත් එක්ක කතා කරලා කරමු කියලා. මම කිව්වා සර් මට පොඩි චකිතයක් තියෙනවා මම අලුත් නිසා සර් වගේ කෙනෙක් එක්ක රඟපාන්න කියලා. මම කිව්වා සර් මම නවකයෙක් නිසා මගේ අතින් වැරදි අඩුපාඩු වුණොත්, ටේක් වැඩියෙන් ගියොත් මට සමාවෙන්න කියලා. සර් සෙට් එක මැදදිම මාව අලුත් කෙනෙක් කියලා හිතන්නෙ නැතුව මාව අගය කළා. එක අවස්ථාවක එක ෂොට් එකක් තිබුණා ගල උඩ මම දිගාවෙලා මාළු අල්ලනවා වගේ දර්ශනයක්. සර්ගේ ඩයලොග් එකෙන් පස්සෙ මම කඳුළු අරගෙන කියන්න ඕනෑ මමත් ඔබත් එක්ක යන්න එනවා වගේ ඩයලොග් එකක්. ඒ ෂොට් එකේදි මට එකපාරටම ඇත්තටම කඳුළු ආවා. ඒ ෂොට් එක කට් කියද්දිම කැමරාව කට් කළා. මගේ ඇහෙන් කඳුළු බිඳුව වැටුණෙ කැමරාව කට් කරද්දි. එදා සර් කිව්වා අධ්‍යක්ෂකවරයා කට් කිව්වට කැමරමන් කට් නොකර කැමරාව තව ටිකක් වෙලා තියාගෙන ඉන්න ඕනෙ. එහෙම හිටියනම් හරිනිගෙ ඇහෙන් කඳුළු වැටෙන එක ගන්න තිබුණා කියලා. ඒ දර්ශනය ආපහු ගත්තා ඊටපස්සෙ. එදා ජැක්සන් සර් කිව්වා දර්ශනයක් ආපහු කරද්දි බොහෝ විට කෙනෙක්ට ඒ විදිහටම කරන්න බෑ. ඒත් ඔයා ඒක ඒ විදිහටම කළා කියලා. මම රඟපාලා ඉවර වුණාම සර් සුනිල් සර්ටයි අනිත් අයටයි කියනවා මේ කෙල්ල මරු කෙල්ලක්. සර් කොහෙන්ද මෙයාව හොයාගත්තෙ කියලා. රඟපාද්දි ජැක්සන් සර්ට පුදුම ඉවසීමක් විනයක් තියෙන්නෙ. සර් මට කිව්වා රංගනයේ තියෙන්නෙ හරි පුංචි දෙයක්. ඒත් ඒක හරි බැරෑරුම්. ඒක හැමෝටම කියලා දුන්නට කරන්නත් බෑ. ඒක රහසක් කියලා. 


එකම දේ තමයි ඉවසලා ඉවසලා අන්තිමට තමයි බ්ලාස්ට් කරන්න ඕනෙ කියලා. හදිස්සි වෙන්න එපා කිව්වා. ඇක්ෂන් කිව්වා හෝ කට් කිව්වා කියලා පටන් ගන්න හෝ ඉවර කරන්න හදිසි වෙන්න එපා කිව්වා. සර් ඒ විදිහට පාඩම් ගොඩක් මට කියලා දුන්නා. සර් පුදුමාකාර නිහතමානී මනුස්සයෙක්. මට දවසක් කිව්වා ඒ චිත්‍රපටයේ දුවන තැන්, වැටෙන තැන් හුඟක් රූගත කළාට පස්සෙ, ගල්වල බඩගාන දර්ශනවලින් පස්සෙ මහ වැස්සෙ ගස් උඩ නඟින බහින දර්ශනවලට පස්සෙ කෙල්ලෙ උඹ දන්නවද මම මෙච්චර උඹට 'සපෝට්' කරන්නෙ ඇයි කියලා. එකක් උඹ හරි අමුතු කෙල්ලෙක්. 


මට උඹ වගේ කෙල්ලෙක් මගේ ජීවිතේදි හමුවෙලා නෑ කියලා. මම වැඳුම් පිදුම්වලට බර කෙනෙක් නිසා රඟපාන්න ගියත් ආගම සිහි කරනවා. මට කිව්වා උඹ දේවදාසියක් කියලා. මට බයයි උඹ සිනමාව දාලා යයි කියලා. උඹට සිනමාව එපා වුණොත් ඒක අපරාධයක් කිව්වා. සර් එහෙම කියද්දි මාව හිරිවැටිලා ගියා. ඇඟේ හිරිගඩු පිපුණා. මම හිතුවෙ නෑ සර් වගේ රූස්ස ගහක් වගේ දැවැන්ත මනුස්සයෙක් මගේ ගැන එච්චර හිතයි කියලා. මම රඟපාද්දි සුනිල් සර්ටයි ජැක්සන් සර්ටයි වැඳලා තමයි රඟපාන්න ගත්තෙ. 


මට එක දර්ශනයක් තිබුණා මම සර්ගෙ පිට උඩ යන්න තියෙන. මම ඒක කරද්දි සර්ගෙන් වැඳලා සමාව ගත්තා සර්ගෙ පිට උඩ නගින හින්දා. සර් කිව්වා උඹ පොඩි කෙල්ලක්. උඹ මට බරක් නෙවෙයි නැඟපන් කියලා. මම අඬන සමහර දර්ශනවලදි සර් කැමරාවට පිටිපස්සෙන් ඉඳගෙන ඒ මූණ හදාගන්න ඕනෙ හැටි, ඉරියව් ඒ හැමදේම කරලා පෙන්නුවා. මම හරි වාසනාවන්තයි ඒ වගේ දැවැන්තයෙක් එක්ක සිනමා ගමන පටන් ගැනීම. ඒත් සර් නෑ නේද කියලා හිතද්දි දැනෙන වේදනාව වචනවලින් අහන්න එපා. මගේ ජීවිතේ හමුවුණු දෙවි කෙනෙක් වගේ ගුරුවරයෙක් මට අහිමිවුණා. මහ පුස්තකාලයක් වගේ කෙනෙක් මේ රටට අහිමිවුණා. ඉන් එහා කියන්න දෙයක් මම දන්නෙ නෑ. සර්ට සුව වෙන්න කියලා දවස ගාණෙ ප්‍රාර්ථනා කරපු මට ඇයි සර් මේ තරම් ඉක්මනින් ගියේ කියලා හැර අහන්න වෙන දෙයක් නෑ. මේ සමුගැනීම ඒ තරම් වේදනාවක්.


I සංජීවිකා




Previous Post Next Post