මිනිස්සු අවලාද නගපු හැටියට ජීවත් වුණත් මොකටද කියලා ජැකාට හිතෙයි - කමල් අද්දරආරච්චි

 



කාලයක පටන් ජැක්සන්, ශ්‍රියන්ත, කමල් අතරේ අපූරු මිත්‍රකමක් පැවතුණා. ඒ අතීතය ආයෙත් මතක් කළොත්?


ඔව්.. ඒ කාලය හරි සුන්දරයි. වේදිකා නාට්‍ය කරන අතරතුරේදී තමයි අපේ ඒ මිත්‍රකම පටන් ගත්තෙ. ජයන්ත චන්ද්‍රසිරිගේ 'සරස්වතී' නම් නාට්‍යයේ අපි රඟපෑවා. එතැන තමයි ජැකාගෙත් මගෙත් මුල්ම හමුව වුණේ. ඊටපස්සෙ අපි ආයෙමත් ජයන්ත චන්ද්‍රසිරිගේ 'අත්' වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඉතින් මේ වෙද්දි ඒක අවුරුදු හතළිස් ගණනකට එහා මිත්‍රත්වයක්. ඉතින් එතැනදි වුණු හඳුනාගැනීම තමයි අදටත් නොවෙනස්ව මේ දක්වා පැවතුණේ.


ජැක්සන් රංගධරයෙක් විතරක් නෙවෙයි. විවිධාකාර පැතිකඩ ඔස්සේ ගවේෂණය කළ අපූරු කලාවේදියෙක්. ඔහුගේ අධ්‍යක්ෂණ භූමිකාව කමල්ටත් සුවිශේෂී වුණා?


ඔව්... ඔහුගේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයේදී වගේම මුල්ම සිනමා අධ්‍යක්ෂණයේදිත් ප්‍රධාන භූමිකාව ඔහු මට ලබා දුන්නා. ඒක ජැක්සන් මට දැක්වූ ගෞරවයක් විදිහටයි මම දකින්නෙ. ඔහුගේ තෝරාගැනීම ගැන මම හැමදාම ජැකාට මගේ ගෞරවය ලබා දුන්නා. 'ජුලියට්ගේ භූමිකාව' රඟපාන්න අවස්ථාව දුන්නා. ඒ වගේම 'ඇඩ්‍රස් නෑ චිත්‍රපටයටත් මම දායක වුණා. ඒක මට සම්මානයක් ලබාගන්නත් ලොකු පිටිවහලක් වුණා. ඒ වගේම හැම අවස්ථාවකදීම ජැකා මාව පෙරමුණේ තියාගෙන හිටියා.


ජැක්සන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මොන වගේ කෙනෙක්ද?


අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහුටම ආවේණික ශෛලියක් ඔහුට තිබුණා. කතාන්දර කියන ශෛලයත් එක්ක එකට බැඳිච්ච, මානව බැඳීම් ඉදිරිපත් කරන නිර්මාණ තමයි ජැකා හැම මොහොතකම ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තෙ. පසුගිය කාලෙදි ඔහු කරපු නිර්මාණවලට මට දායකත්වය ලබා දෙන්න බැරිවුණා. ඒ කොහොම වුණත් අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම ඔහුගේ තියෙන ජවය වගේම නිර්මාණ කිරීමේ හැකියාව හොඳට දැකලා තියෙනවා. ඔහු රචකයෙක් හැටියට තමන්ගේ තිර රචනය නළුවාට හෝ නිළියට ග්‍රහණය කර ගන්න හැකි විදිහට ඉතාමත් හොඳින් සිදු කළා. ඒ නිසා ඒක නළුවාට සෑහෙන්න අත්වැලක් වුණා. ඒ වගේම ඔහු අධ්‍යක්ෂකවරයෙක් හැටියට නළුවාටත් ඒ චරිතය රඟපාන්න නිදහස ලබා දුන්නා. ඔහුගේ අදහස් ප්‍රකාශනය අනුව නියම මාර්ගයේ නළුවා හෝ නිළියව සම්බන්ධ කර ගැනීමට, හැසිරවීමට හැකියාවක් ඔහුට තිබුණා. ඇත්තටම ජැකා කියන්නෙ සාර්ථක අධ්‍යක්ෂකවරයෙක්.


ඔහු අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් කටයුතු කළ නිර්මාණවල රූගත කිරීම් අවසාන කළ පසු ඒ සැඳෑව හරි අපූරු ඇති නේද?


ඔව්.. ටෙලි නිර්මාණයක් හෝ සිනමා නිර්මාණයක් හෝ වේවා ඒවා එක්ක බැඳුණු පොඩි උප සංස්කෘතියක් තිබුණා. රූගත කිරීම් අවසන් වුණු පසු ඒ හැම සැඳෑවක්ම සුහද හමුවක් විදිහට විනෝදයෙන් ගත කරන්න අපි බලාගෙන හිටියා. හැබැයි අපි ඕනෑවට වඩා විනෝද වෙන්නෙත් නෑ. ඒකට හේතුව ආයෙමත් පහුවදා අපිට රූගත කිරීම් කරන්න තියෙන නිසා. නමුත් ඒ බොහෝ සැඳෑවන් හරි අපූරුයි. ජැකාට හරි අපූරුවට සින්දු කියන්න පුළුවන්. අපි සින්දු කිව්වා. විනෝද වුණා. ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නෙ නෑ. 


ජැක්සන් එක්ක කමල්ට කතා කරන්න ලැබුණු අවසන් දවස කවද්ද?


මම විදෙස් ගතවෙලා ඉඳලා ලංකාවට ඇවිත් ඔහුව බලන්න රෝහලට ගියා. මම ඔහුගේ අත අල්ලාගෙන හිටියා. ''ජැක්සන් මහත්තා කමල් මහත්තයගෙන් අපිට රට ගිහින් මොනවද ගෙනාවේ කියලා අහන්න'' කියලා නර්ස්ලා ජැක්සන්ට කිව්වා. ඒ වෙලාවේ ජැකා තොල්වලින් ඒකට උත්තරයක් දෙනවා මම දැක්කා. ''දැක්කද ජැකා ඔය කිව්වෙ.. මම එයාට ආදරේ ගෙනල්ලා තියෙනවා'' කියලා මම කියද්දි නර්ස්ලා පුදුම වුණා. ''ඒ කිව්වෙ එහෙම කියලා කමල් මහත්තයා කොහොමද දන්නෙ?'' කියලා නර්ස් කෙනෙක් මගෙන් ඇහුවා. රංගනයේදි තොල්වල චලනයන් එක්ක ඒ කියන දේ ගැන අවබෝධයක් අපිට තියෙනවා.  ජැක්සන් එදා මම එයාට ආදරේ ගෙනල්ලා කියලයි කිව්වා කියලා මට තේරුණා.


ඊට පෙරත් කමල් ඔහුව බලන්න රෝහලට ගියා?


ඔව්.. ජැකා රෝහල්ගත කෙරුණු මුල් කාලෙදි මම ඔහුව බලන්න ගියා. ඔහු බොහොම අසීරුවෙන් මාත් එක්ක කතා කළා. නමුත් ඔහුගේ හඬ හරියට පිටවුණේ නැහැ. හැබැයි ඔහු මාව හොඳට හඳුනා ගත්තා. මම ඒ ලැබුණු අවස්ථාවෙන් ජයන්තටයි ශ්‍රියන්තටයි ඔහුට දුරකථනයෙන් කතා කරන්න සම්බන්ධ කරලා දුන්නා. අමාරුවෙන් ජැකා අපිත් එක්ක කතා කළා. ජැකා වචනවලින් මාත් එක්ක ආයෙත් කතා කළේ නෑ.


Qඅද ඒ සුන්දර මිනිසා, කමල්ගේ ආදරණීය සඟයා නික්ම ගොස් අවසානයි. ඒ හැර යාම දුකක්. නමුත් අපි එයට මුහුණ දිය යුතුමයි?


ඔව්. ලොකු දුකක්. නමුත් එක්තරා විදිහකට හිතට සහනයක් කියලා කියන්න පුළුවන්. අවුරුදු එකහමාරකට අාසන්න කාලයක් ජැකා රෝහල් ගතවෙලා ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කළා. ඔහුට වචනයක්වත් කතා කරන්න බැරි වුණත් ඔහු ඇස් ඇරියා. ඔහුගේ ඇස්වලින් කඳුළු ආවා. යම් යම් හැඟීම් ප්‍රකාශ කළා. නමුත් ඒ කරපු හැම දේකින්ම ඔහු යම්කිසි දෙයක් විෙඳව්වා. ඒක වේදනාවක්. ඒ වේදනාවත් එක්ක ඔහුගේ මුහුණ වුණත් වේදනාබරයි. ඒ ගත කරපු වේදනාත්මක කාල පරිච්ඡේදයේදී මිනිසුන්ගේ අවලාද, ගැරහුම්, විවේචන හා මනුෂ්‍යත්වයට නිගා දෙන ප්‍රකාශ මැද්දේ ඒ කාලය නිමා කරලා ඔහු නිදහස් වුණා. ඔහුගේ වේදනාත්මක ජීවිතයෙන් ඔහු නිදහස් වුණා. ඔහුට වක්‍රව හෝ ඍජුව කරපු අපහාසවලට දැන් තවත් ඉඩක් නෑ. ඒ වගේ නිර්දය විදිහට විවේචනය කරන, මනුෂ්‍යත්වය නොහඳුනන සමාජයකට ඔහු නැවත සුවපත් වෙලා ආවත් ඒක වේදනාබර වේවි. ජැකා එහෙම රෝහලින් සුවපත් වෙලා ආවත් ඔහුට ඒක වේදනාබර වේවි. ජැකා එහෙම ආවත් ඔහුට ආබාධිතයෙක් හැටියට එන්නයි බොහෝ ඉඩ තිබුණෙ. එහෙම ආබාධිතව සමාජයකට ඇවිත් ඔහුට මිනිසුන්ගේ කටින් එවැනි අවලාද අහන්න ලැබුණොත් ඔහුට ''මොකටද මම ජීවත් වුණේ කියලා හිතේවි.


බෞද්ධයන් හැටියට ජීවිතයක් නිමා වුණා කියන්නෙ අලුත් ජීවිතයක ආරම්භයක්. භෞතික විද්‍යාවට අනුවත් කිසිම දෙයක් නැති කරන්න බෑ. ඒක වෙනත් දෙයකට පරිවර්තනය වෙනවා. අපි ගිනිකූරක් පිච්චිලා යනකම්ම පත්තු කරගෙන ඉඳලා ගිනිකූර නැතිවුණත් වාතයට එයින් එකතු වන දුම වගේම අළු ටික ඉතිරි වෙනවා. ජැකාගේ ආත්මය දැන් වෙනතකට යනවා. ඒ දුක් විඳපු ශරීරයට තව දුකක් නෑ. ඒ මොනවා වුණත් ජැකා හොඳ පුද්ගලයෙක්. ඔහු කළ දේවල් මෙනෙහි වුණා නම් ඒ ටිකම ඇති ඔහුට නැවත සුගතියක ඉපදෙන්න. මේක තමයි අපේ සංසාරික ගමන. මේක නොනවතින ගමනක්. ජැකාගේ තවත් එක ඉතාම අවාසනාවන්ත කාලයක් නිමා වුණා.


දිශානි




Previous Post Next Post