කෙටි කාලයකට ලංකාවෙන් යනවා – නයනතාරා වික්‍රමආරච්චි




බොහෝ දෙනා ඇයව දන්නෙ දෙව්මි කිව්වාම. නමින් නයනතාරා වික්‍රමාරච්චි වන ඇය මේ දිනවල ඔබට මුණගැහෙන්නෙ ‘ජීවිතයේ එක දවසක්. ටෙලි නාට්‍යයේ ශාරදාගේ චරිතය තුළින්. මේ අතර ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්ගෙ ‘සර්කස්කාරයෝ. ටෙලි නාට්‍යයේ සහස්‍රාගේ චරිතය තුළින්ද පසුගිය සතියේ සිට ඔබේ ආලින්දයට ඇය ගොඩවැදුණා. අලුත් වැඩ ගැන කතා කරන්න නයනතාරා  මේ විදිහට එකතු වුණා.


ලලිත් රත්නායකගේ ජීවිතේ එක දවසක් ගැන මුලින්ම කතාකරමු?


ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. ඒ කාලේ මම වෙන කිසිම නිර්මාණයක් භාරගන්නෙ නැතිව ශාරදා වෙනුවෙන්ම කැප වුණා. ගම්පහ පැත්තේ තමයි ෂූටිං තිබුණෙ. ලලිත් රත්නායක වගේ දැවැන්තයකුගෙන් ලැබුණු ආරාධනය ගැන ඇත්තටම සතුටුයි.

මේ දවස්වල ශිවගුරුනාදන්ගේ සර්කස්කාරයෝ එක්කත් වැඩ නේද?


මේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ සහස්‍රා කියන චරිතය. සහස්‍රා කියන්නෙ රංගන ශිල්පිණියක් වෙන්න සිහින දකින යුවතියක්. මේ කැමරාව පිටුපස එක්තරා කතාවක්.



ශාරදා ගැන කිව්වොත්?


ශාරදා කියන්නෙ හරි ආදරණීය චරිතයක්. එකදිගට මාසයක් ශූටිං කළා. ඇත්තටම ශූටිං අවසන් වෙන දවසේ මට ඇඬුණා. මොකද සෙට් එකේ හැම දෙනාම එක පවුලක් වගේ හිටියෙ. ශාරදා කියන්නෙ හදවතට කතාකරන චරිතයක්.


ශාරදා නිසා දෙමළ කතාකරන්නත් ඉගෙනගත්තද?


ෂූටිං පටන්ගන්නකොට නම් දමිළ භාෂාව කතා කරන්න පොඩ්ඩක්වත් බැහැ. මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත දමිල භෂාව ඉගෙනගත්තා. දැන්නම් පොඩ්ඩ පොඩ්ඩ කතා කරන්න පුළුවන්.


දැන් නයනතාරාට හම්බවෙන්නේ මෙගා වැඩ නෙමෙයිනෙ?


ඔව්. ඇත්තටම කොටස් 40” 50 නිර්මාණවලට වැඩිපුර ආරාධනයන් ලැබෙනවා. පසුගිය කාලයේ ගොඩක් මෙගා නාට්‍යවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ කිසිම දෙයක් භාරගන්න වුණේ නැහැ.


මෙගා වැඩ එපාද?


එහෙම වාරණයක් දාගෙන නැහැ. නමුත් මම මේ ක්‍ෂේත්‍රයට හරි ආදරෙයි වගේම ආසයි. ඉතිං මම ආසයි එක දිගට කාලයක් වැඩ කරන්න පුළුවන් නිර්මාණවලට. දැන් දැන් මට කෙටි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් ආරාධනා ලැබෙනවා.


චිත්‍රපට කිහිපයකම වැඩ කියලත් ආරංචියි?


මගේ අළුත්ම චිත්‍රපටය සඳහා ළඟදීම විදෙස්ගත වෙන්නත් සූදානමින් ඉන්නවා. මේ දවස්වල මූලිකත්වය දීලා තියෙන්නෙ ඒ වෙනුවෙන්.


ඒක ජාත්‍යන්තර වැඩක්ද?


අපි බලමු මම හිතාගෙන ඉන්නවා ඒ වගේ වැඩක් වේවි කියල.


ළඟදීම ලංකාවෙන් යනව?


ඔව්. කෙටි කාලයකට තමයි ලංකාවෙන් යන්නෙ. මොකද චිත්‍රපටයේ රූගත කිරීම් තියෙන්නෙ ලංකාවේ නෙමෙයි.


කෙටි කාලයක් කිව්වෙ?


මාස එකහමාරක වගේ කාලයකට මේ ගමන යන්නෙ. මේ ගමනෙන් පස්සෙ තවත් වැඩක් තියෙනවා. ඒකට නම් මාස තුනකට විතර විදෙස් ගත වෙන්න වෙයි.


මොනවද ජීවිතයේ සැලසුම්?


අනේ මා ළඟ ලොකු සිහින” සැලසුම් නැහැ. ලැබෙන්නෙ මොකක්ද ඒ ලැබෙන දෙයක් එක්ක ජීවිතය හරි ස්ලෝ එකේ යනවා. නමුත් ලැබෙන දේට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.


 තිරගත වීමට නියමිත චිත්‍රපට තියෙනවද?


ක්‍රිස් ඇන්තනීගේ පාස්පෝට් සහ මෙරීන් ඩ්‍රයිව් යන චිත්‍රපට දෙක තිරගත වීමට නියමිතව තියෙනවා.


 ජනප්‍රියත්වය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?


ඒක ෂල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්” නමුත් ජනප්‍රිය වෙන්න අමාරුයි. මම හිතන්නේ ජනප්‍රියත්වය මගේ වෘත්තීය ජීවිතයට විතරක් නෙමෙයි” පෞද්ගලික ජීවිතයටත් ලැබුණු ලොකු ආශීර්වාදයක්.


 ජනප්‍රිය නිළිය සම්මානය වාර ගණනාවකදි ඔබට හිමි වුණා?


මට මතක විදිහට දොළොස් වතාවක් පමණ ජනප්‍රිය නිළිය සම්මානය මට හිමි වුණා.


 දැන් කැමැත්ත හොඳම නිළිය සම්මානය ගන්නද?


ඒක ඉතින් හැම රංගන ශිල්පියෙක් ශිලිපිණියකගෙම හිතේ තියෙන අහිංසක බලාපොරොත්තුවක්. මගේ හිතේත් ඒ බලාපොරොත්තුව තියෙනවා.


 එදා තිබුණ ජනප්‍රියත්වය අඩු වෙලාද?


නැහැ” අදටත් කොහේ ගියත් එදා ජනප්‍රියත්වය ඒ විදිහටම තියෙනව කියල මට දැනෙනවා.


 මේ සම්මාන ගන්න කූපන් පුරවලා” එස් එම් එස් යවන්න සිදු වුණාද?


අනේ නැහැ. මුල් කාලයේ මම දන්නෙ නැහැ මොහොමද මේ දේවල් සිද්ද වෙන්නෙ කියල. නොසිතූ මොහොතක තමයි මට ජනප්‍රිය නිළිය සම්මානය මුලින්ම ලැබෙන්නෙ. අදටත් මම ඒක දකින්නෙ ආශීර්වාදයක් විදිහට.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post