ජනප්‍රිය වෙච්ච පලියට හැමෝටම රඟපාන්න බෑ... - ජගත් මනුවර්ණ




මේ දිනවල විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන 'කොඩිගහ යට' අධ්‍යක්ෂකවරයා ඔබයි. මෙවැනි නිර්මාණයක් කිරීම සඳහා පාදක වුණේ කුමක්ද?


මට ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න මේ කාලෙදි උවමනාවක් තිබුණේ නැහැ. ලංකාවේ විකාශය වන ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් දන්න නිසාම මගේ මිතුරන් කිහිප දෙනෙක් ''ටෙලිනාට්‍යයක් කරමු'' කියලා යෝජනා කරලා තිබුණා. මේවායේ තියෙන සමහර ප්‍රශ්න නිසා මම කාලයක් තිස්සේ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් පවා ඈත්වෙලයි හිටියෙ. මීට අවුරුදු දෙක තුනකට කලින් මගේ යාළුවෙක් නිෂ්පාදකවරයෙකුත් හොයාගෙන ''අපි වැඩක් කරනවනම් කරමු'' කියලා මට යෝජනා කළා. ඒවාට යන වියදම් වගේම ලංකාවේ ඇති ඇතැම් රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැතිකම නිසාම මේක මට කරන්න ලොකු උවමනාවක් තිබුණේ නැහැ. නමුත් යාළුවන්ගේ උනන්දුව නිසාම අපි රූගත කිරීම් පටන් ගත්තා. නමුත් පෙර හිටපු නිෂ්පාදක මේකට අවශ්‍ය විදිහට මුදල් වියදම් කළේ නැහැ. ඒ නිසා ටික දවසකින් මෙහි නිෂ්පාදන කටයුතු නතර වුණා. නමුත් අවසානයේදී අපිට ටෙලිනාට්‍ය ආයෙත් කරන්න අවස්ථාව ලැබුණා. මගේ ඔළුවේ තිබුණු අදහස කිව්වාම අරුණ ප්‍රේමරත්න මහතා මට මේ පිටපත ලියලා දුන්නා. ඒකට විශේෂ පාදක වීමක් නැහැ. අපි එදිනෙදා ජීවිතේ ප්‍රවෘත්තිවලින් දකින දේවල් තමයි 'කොඩි ගහ යට' ටෙලිනාට්‍යයෙන් පෙන්වන්නෙ.


ජගත්.. කොඩි ගහ යට ටෙලිනාට්‍යයට දායක වෙන සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම ඔවුන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. මේ චරිතවලට ඔවුන් තෝරාගත්තෙ කොහොමද?


ඒකෙදි විශේෂත්වයක් තිබුණේ නැහැ. ලංකාවේ ඕනෑ තරම් රඟපාන්න පුළුවන් නළු නිළියෝ ඉන්නවා. බොහෝ රූපවාහිනී නාලිකා, අධ්‍යක්ෂකවරුන්ට ජනප්‍රිය අයව ටෙලිනාට්‍යවලට සම්බන්ධ කර ගන්න කියලා කියනවා. ටෙලිනාට්‍යයක් විකුණන්න ජනප්‍රිය අය ඉන්න ඕනෙ කියලයි ඔවුන් කියන්නෙ. හැබැයි එහෙම එකක් නැහැ. ජනප්‍රිය වුණු පලියට හැමෝටම රඟපාන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. හැම ජනප්‍රිය නළු නිළියෙකුටම රඟපාන්න බැහැ කියලත් මම කියන්නෙ නැහැ. හැබැයි ජනප්‍රියත්වය කියන දේ මට වැදගත් නැහැ. මම දන්න කියන, වේදිකාවේ, විශ්වවිද්‍යාලවල දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ඒ නිසා අපිට නිර්මාණයක් කරන්න එච්චර අමාරු නැහැ.


මෙහි ප්‍රධාන චරිතයක් වන 'කලූ' මේ දිනවල හරි ජනප්‍රියයි. ඇතැමුන් කලූ වැනි සංක්‍රාන්තික ලිංගිකයන් දෙස වෙනත් ප්‍රතිරූපයකින් බලද්දි කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ කලූට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගත්තා. ඔහු මිනිසුන්ට සමීප චරිතයක් වුණා?


ඔව්... හැබැයි එහෙම චරිත කොන් කිරීමක් අද සමාජයේ සිදුවෙන්නෙ නැහැ. ඒ අයව කොන් කිරීමක්වත්, විශේෂ සැලකිල්ලක්වත් සිදුවෙන්න ඕනෙ නැහැ. මොකද අපි හැමෝම එකම මිනිස්සු කොට්ඨාසයක්. අපි මහ ජාතිය විදිහට සුළු ජාතීන් බලාගන්න ඕනෙ කියලා කියනවා. හැබැයි එහෙම වෙන්න බැහැ. අපි හැමෝම එක වෙන්න ඕනෙ. අපි හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. එතනින් එහාට කවුරුත් කාවවත් බලාගන්න ඕනෙ නැහැ. ඒ අයව විශේෂ කොට සැලකීම අවශ්‍ය වෙන්නෙ නැහැ. ඉතින් කලූ කියන්නෙ කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ ඉන්න තවත් එක් චරිතයක් විතරයි.


කොඩි ගහ යට මේ වෙද්දි රූගත කිරීම් අවසන් කරලද තියෙන්නෙ?


නැහැ. තාම අවසන් කරලා නැහැ. කොටස් කීයකින් අවසන් වේවිද කියලා තවම අපිට කියන්න බැහැ. හැබැයි කොඩි ගහ යට ටෙලිනාට්‍ය මිනිසුන්ට එපා නොවෙන්න වැඩ කරන්න අපි හැම මොහොතකම උත්සාහ ගන්නවා. ඒ නිසා ඒක දීර්ඝ ටෙලිනාට්‍යයක් වෙන එකක් නැහැ.


අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් 'කොඩි ගහ යට'ට ලැබෙන ප්‍රතිචාර ගැන අද ඔබට මොකද හිතෙන්නෙ?


ඒ ප්‍රතිචාර, ජනප්‍රියත්වය ගැන මම මාර විදිහට සතුටු වෙන්නෙ නැහැ. මම රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. මුලින්ම මගේ කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ දැනට අවුරුදු දහයකට පහළොවකට විතර කලින්. ඒකට මට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඊටපස්සේ මම රඟපෑ, අධ්‍යක්ෂණය කළ නිර්මාණවලට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. අද 'කොඩි ගහ යට' ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයත් එක්ක විශාල ජන ප්‍රසාදයක් හිමිවෙමින් තියෙනවා. මේ නාට්‍ය ඉවර වුණාට පස්සේ ඒ ජන ප්‍රසාදය යට යන බව මම දන්නවා. ඒක හරියට රුලි වගෙයි. ඒක තේරුම් අරගෙනයි මම වැඩ කරන්නෙ. මේ ජන ප්‍රසාදය වැඩ කරන්න එක්තරා උත්තේජනයක්. හැබැයි ඒ මතම මම පවතින්නෙ නැහැ. මම වැඩ කරන විදිහක්, වැඩ කරන ශෛලියක් සහ ක්‍රමවේදයක් තියෙනවා. ඒ විදිහට මම සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ජනප්‍රියත්වය ඇති වෙන්න පුළුවන්. නැතිවෙන්න පුළුවන්.


මේ දිනවල ජගත් දායකවෙලා ඉන්න නිර්මාණ මොනවද?


මේ දවස්වල 'කොඩි ගහ යට' නාට්‍යයම තමයි. වෙන නිර්මාණවලට දායකවෙලා නැහැ.


දිශානි





Previous Post Next Post